තාත්තාට අවු. 75යි තවමත් කුඹුරේ වැඩ

තාත්තාට අවු. 75යි තවමත් කුඹුරේ වැඩ පුතාට අවු. 40යි ප්‍රෙෂර්- කොලෙස්ටරෝල්-ෂුගර්

බෝවන රෝග පාලනය කරගැනීම සම්බන්ධයෙන් අද වනවිට අප ප්‍රශස්ත ජයග්‍රහණයන් රැසක් ලබා ඇති බව දනිමු. බෝවන රෝග 11 කට විරුද්ධව කුඩා අවධියේදීම එන්නත් ලබාදීම සිදුවන අතර එමඟින් ජීවිත කාලය පුරාම ඉන් වැලකීමට හැකියාවක් පවතී. නමුත් අපට ඇති ගැටලුව වන්නේ බෝ නොවන රෝග සම්බන්ධයෙන් අපට ඇති අභියෝග ගණනාවයි.

පැරණි පරම්පරාව හොඳින් ඒත්......

අපේ පැරණි පරම්පරාව ඉතාමත් ප්‍රශස්ත ජීවන රටාවක් ගතකර ඇති බව අපට රහසක් නොවේ. නමුත් ඔවුන්ගෙන් පසු පැවතෙන පරම්පරාවලට අද අත්වී ඇති ඉරණම ඉතාමත් අභාග්‍යසම්පන්න බව පාලනය කරගත නොහැකි බෝනොවන රෝග පිළිබඳ විමසා බැලූ කළ පෙනී යයි.

අවුරුදු 30 - 40 පැන්න පසු ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගත්තාම හරිද.........?

එය නිවැරදි පිළිවෙත නොවේ. එවැනි අවධියකදී එකවර ඇවතුම් පැවතුම් වෙනස් කර ගැනීමෙන් පමණක් ප්‍රශස්ත සෞඛ්‍ය ජයග්‍රහණ අත්පත් කරගැනීම අසීරුය. නමුත් නිවැරදි කරගත යුතු සෞඛ්‍ය පිළිවෙත් ඵලදායීව ක්‍රියාවට නැංවීම තුළින් යහපත් සෞඛ්‍ය තත්ත්වයකට හිමිකම් කීමට වැඩි ඉඩකඩක් පවතී.

ශාරීරික ක්‍රියාකාරකම් නැති කල.....

මාස හයේදී අමතර ආහාර වලට යොමු වීමේදී දරුවාගේ දිවෙහි ඇති රස අංකුර ගණනාවක් උත්තේජනය කළ යුතුව ඇතත් වර්තමානයේ දී සිදුවන්නේ පිටි,සීනි,ලුණු,තෙල්වලට මුල්තැන දෙන ආහාර වලට පමණක් දරුවාගේ දිව හුරු වීමයි.එමගින් සිදුවනුයේ පිං බිමක් වැනි වූ ලංකා පොලොවේ වැවෙන පලතුරු හා එළවළු වර්ග සිය ගණනක රසය දරුවා හඳුනා නොගැනීමයි.පසුකාලයකදී එළවළු පළතුරු ධාන්‍ය ඇතුළු ස්වභාවික ආහාර ගැනීමට දරුවා මැලිකමක් දක්වන්නේ ඒවායේ රසය දරුවා මුල් ළමාවිය තුල හඳුනානොගත් නොබැවිණි.විශේෂයෙන් පෙර පාසල් හා පාසල් දරුවන් මේ නිසා බිස්කට්, කේක්, අධික ලුණු සහිත බයිට් වර්ග කෑමට ගැනීමට හුරුවීම පුදුමයක් නොවේ.මෙම තෙල් ලුණු පිටි සීනි අධික ආහාර රටාව අද බරපතළ සෞඛ්‍ය අභියෝගයක්ව පවතින බෝ නොවන රෝග සඳහා බලපාන ප්‍රධානතම හේතුවකි.

සීයලා ආච්චිලා සිටිද්දී දූ පුතුන් රෝගීවීමේ ප්‍රවණතාව

මෙය අද අපට තිබෙන විශාලම අභියෝගයයි. එසේ නම් අප සොයා බැලිය යුත්තේ පෙර පරම්පරාව එපමණ සෞඛ්‍ය රටාවකට හිමිකම් කියමින් ජීවත් වූ ආකාරය හඳුනාගැනීම හා එය යළි අපද අනුගමනය කිරීමට උත්සාහ ගැනීමයි. එදා ඔවුන් බුද්ධිමත්වූ ද යහපත් ජීවන රටාවකට උරුමකම් කී අතර අද මෙන් ඉතා දියුණු සෞඛ්‍ය සේවාවන් ද නොලැබූ බව අපි දනිමු. නමුත් සත්‍ය වශයෙන්ම බලපා ඇත්තේ අද අපගේ ජීවන රටාව වෙනස්වීම මත පදනම්ව බොහෝ දුරට බෝ නොවන රෝග වලට අප දිනෙන් දින ගොදුරු වීමයි.

දවස පුරා අලස දිවියක් අවසානයේ සවසට ජිම් එකට යාම ඵලදායීද.....?

ඇත්ත වශයෙන්ම වැදගත් වනුයේ දිනය පුරාම ක්‍රියාකාරී වූ දිවි පෙවතක් ගත කිරීමයි. එසේ නම් අපට ඒ සඳහා ඇති ක්‍රමවේද මොනවාද....? ඒවා මෙසේ අපට හඳුනාගත හැකිය.උදාහරණයක් ලෙස ඔබට උදෑසන බිමට පහත් වී වතුර මලකින් වෙනුවට බේසමෙන් පුරවා ගත් වතුර ගෙන මුහුණ කට සෝදා ගැනීම වැනි යහපත් සෞඛ්‍ය පුරුද්දකට හුරුවිය හැකියි. එමඟින් අපගේ ස්වසන මාර්ගය තුළ එක්රැස් වූ සිරුරට අහිතකර වූ ශ්‍රාවයන් ඉවත්වීමක්ද සිදුවේ. උදෑසන අපගේ කුඩා ඉඩම වටා රවුමක් ඇවිද ගොසින් බිමට පහත් වී පැලෑටියකට වතුර ටිකක් දැමීම අපට කළ හැකි ක්‍රියාවන්ය.

එසේම ග්‍රාමීය මිනිසුන් අදටත් වඩා සක්‍රීය ජීවන රටාවකට උරුමකම් කියන බව පෙනී යයි.

උදෑසන පිබිදෙන ග්‍රාමීය දරුවකු පාසල් යනතුරු නිදිමතින් හෝ අලසකමින් කාමරය තුළ රැඳී සිටින්නේ නැත. එම දරුවන් උදෑසනම මිදුලේ ගස් යටට ගොස් ගෙඩි අහුලති. නැතිනම් පාසල් යාමට මත්තෙන් වත්තේ පිටියේ කුමක් හෝ දෙයක් විමසා බලති. මේවා ඉතාමත් ස්වභාවික වූද සෞඛ්‍ය හිතවත් ක්‍රියාකාරකම් ලෙස අපට හඳුනාගත හැකිය.

දරුවා මෙසේ බිමට පහත් වීමේදී දරුවාගේ බඩවැල්වල පිරී ඇති අපිරිසිදු වාතය ඉවත්වීමක් සිදුවේ. එවිට දරුවාට වැසිකිළි යාමේ අවශ්‍යතාවයද ස්වභාවිකවම ඇතිවේ.

මේ තුළින් මිනිස් සිරුරේ අත්‍යවශ්‍ය මූලික ඉරියව් හොඳින් ක්‍රියාත්මක වීමට පටන් ගනියි.

නාගරික දරුවන්ගේ උදෑසන ජීවන රටාව

ඔවුන් උදෑසනක් ආරම්භ කරන සැණින් ග්‍රාමීය දරුවන්ට වඩා මුළුමණින්ම වෙනස්ය. මව දරුවාගේ සපත්තු දෙක දැමීමට පවා උපකාරී වී දරුවාගේ ඇඳුම් අන්දවා දරුවාගේ කාලය ඉතිරි කරදීමට සහය දෙයි. එපමණක් නොව පාසල් වෑන් රථයට නංවා බෑගයද වෑන් රථයේ තැන්පත් කරදෙයි. එසේත් නැත්නම් දරුවාගේ බෑගය ඔසවා කරට දමා ගමන ඉක්මන් කරදෙයි. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුතු වන්නේ ඒවා දරුවාටම තනිව කරගැනීමට ඉඩ හැරීමයි.

උදෑසන දරුවාට වැසිකිළි යාමටවත් කාල වේලාවක් තිබෙනවාද....?

නාගරික දරුවාට උදෑසන කාලය ඉතා සීමා සහිතය. වෑන් රථයේ නලාව ශබ්ද කරනවිට දිවගොස් ඊට නැග ගැනීමට කැපවී සිටීමට අද නාගරික දරුවාට සිදුවී ඇත. මේ හේතුවෙන් දරුවාට උදෑසන වැසිකිළියාමටත් ඉඩකඩක් නොලැබේ. වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ මව්පියන් පවා බොහෝවිට ඒ ගැන නොසැලකිල්ලක් දැක්වීමයි. මේ තත්ත්වය තුළ දරුවා වැසිකිළියට යාමට පුරුදුවී සිටිනුයේ බොහෝවිට සවස් කාලයේදීය. එසේ හුරුපුරුදුවී සිටින දරුවා පසුව දින කිහිපයකට වතාවත් පමණක් වැසිකිළි යාමට පුරුදු වේ. තවත් කාලයක් ගියපසු දරුවා මළ බද්දය හෝ උදරය ආශි‍්‍රත වෙනත් සංකීර්ණ රෝග ගණනාවකට ගොදුරු වීමේ ඉඩක් පවතී.

නමුත් මිනිස් ජීවිතයට අදාල ස්වභාවික ජීවන රටාවකට උරුමකම් කීමෙන් අපට මෙවැනි තත්ත්ව ගණනාවකින් පහසුවෙන් අත්මිදිය හැක.

හිසේ කැක්කුමට බලපාන මූලික හේතුවක්

අපගේ මොළයේ මුළු බරින් 70% ක් පමණ ඇත්තේ ජලය බව අපි දනිමු. අප බොහෝ දෙනෙක් මුහුණ දෙන හිසේ කැක්කුමට මූලික හේතුවක් වනුයේ සිරුරේ ජලය අඩුවී යෑමයි. යම් අවස්ථාවක මේ තත්ත්වය හේතුවෙන් සිහි කල්පනාවේ වෙනසක් පවා හටගත හැකිය. නමුත් හිස කැක්කුමට සිරුරේ ජලය හිඟකමක් බලපෑ හැකි බව අප දරුවන්ට වටහා දී තිබෙනවාද...? මෙවැනි අවස්ථාවක බොහෝ පිරිසගේ විකල්පය වනුයේ වේදනා නාශක පෙති කිහිපයක් ලබාගැනීමයි. මෙයින් වනුයේ එම ඖෂධ දියකර හැරීම සඳහා සිරුරේ ජලය තව තවත් වැය කිරීමට සිදුවීමයි. මේ ආකාරයට අප බොහෝදෙනකු අපේ එදිනෙදා ජීවිතය ගැන නොසැලකිල්ලෙන් කටයුතු කරන බව පිළිගැනීමට සිදුවී ඇත. තවද අප ගන්නා පිරිසිදු වාතය ගැන හෝ ජලය ගැන හෝ එසේත් නැත්නම් බහිශ්‍රාවය ගැන හෝ අපගේ ආහාර ගැන හෝ අපගේ නින්ද හා සතුට ගැන සැලකිලිමත් නොවෙමු. මෙය අද අපට බලපාන බෝ නොවන රෝග සම්බන්ධයෙන් බලපා ඇති මූලිකම සාධක වේ.

පිපාසය හොඳ ලකුණක්ද....?

පිපාසය යනු හොඳ ලක්ෂණයක් නොවේ. බොහෝදෙනකු පුරුදුව සිටිනුයේ පිපාසයක් දැනුණු විට ජලය පානය කිරීමටය. නමුත් පිපාසය යනු ශරීරය දිගු වේලාවක් වැඩ කිරීමෙන් වෙහෙසට පත්ව ඇතිබවට දෙන සංඥාවය. එය නිවැරදිව තේරුම්ගැනීමෙන් අපට බොහෝ සංකීර්ණ තත්ත්ව මඟහැර නිරෝගී දිවියකට හිමිකම් කීමේ ඉඩකඩ පවතී. අප ජලය පානය කළ යුත්තේ පිපාසය ඇතිවූ පසුව නොවේ. එබැවින් කාර්යය බහුලත්වය යන වදන අපට නිදහසට කරුණක් ලෙස දැක්වීමට තවදුරටත් කිසිදු ඉඩකඩක් හෝ කාලයක් ඉතිරිවී නොමැති බව අප තේරුම් ගනිමු.