මාස හයෙන් පසු දරුවාට ලබාදිය යුතු අමතර ආහාර

මාස හයෙන් පසු දරුවාට ලබාදිය යුතු අමතර ආහාර

මාස 06 (දවස් 180) සම්පූර්ණ වූ විට දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂක හා ශක්තිය සැපයීමට මව්කිරි පමණක් ප්‍රමාණවත් නොවේ. එම නිසා දරුවාගේ නිසි වර්ධනය උදෙසා අමතර ආහාර මෙම අවස්ථාවේදී හඳුන්වාදීම අවශ්‍ය වේ.

අර්ධ ඝන ආහාර

බත් මුලින්ම හඳුන්වාදීමට හැකි ඉතාමත් සුදුසු අමතර ආහාරයයි. එය හොඳින් පොඩිකර, අර්ධ ඝන ස්වභාවයෙන් හැන්දක් ආධාරයෙන් දරුවාට ලබාදිය හැකිය. පොඩි කරගත් පියලි හා ඇට වර්ග, අර්තාපල්, එළවළු හා පළතුරු ක්‍රමයෙන් දරුවාට හඳුන්වා දිය යුතුය. මාළු, හාල්මැස්සන්, මස් යන ආහාරවලින් එකක් හෝ කිහිපයක් අමතර ආහාරයේ දිනපතාම අඩංගු විය යුතු අතර, මාස හයෙන් පසු මෙම ආහාර හඳුන්වා දිය හැක.

එහෙත් බිත්තර හඳුන්වාදීම සඳහා එතරම් ඉක්මන් විය යුතු නැත. පොෂණ ගුණයෙන් සපිරි ආහාරයක් පිළියෙල කර ගැනීම සඳහා උපදෙස් මෙහි දක්වා ඇත.

ළදරුවාගේ වයස අවුරුද්ද සම්පූර්ණ වන විට සාමාන්‍යයෙන් පවුලේ ආහාර හඳුන්වාදීම කළ යුතුය.

මස් බිත්තර සත්ව ආහාර

සෑම ආහාරවේලකම විවිධ ආහාර අඩංගු කරන්න.

සත්ත්ව ආහාර, පියලි හා ඇට වර්ග හඳුන්වා දෙන්න.

මාළු, හාල්මැස්සන්, කුකුළු මස් හා අනෙකුත් මස් සත්ත්ව අක්මා සහ බිත්තර වැනි යකඩ බහුල ආහාර අමතර ආහාරයට එක් කරන්න.

මීට අමතරව ඇට වර්ග (මුං ඇට, කඩල, සෝයා, කවුපි) සහ පලා වර්ග (තම්පලා, සාරණ, ගොටුකොළ) දිනපතා ආහාරයේ අඩංගු කරන්න.

පැලවීමට සකසන ලද (මුල් ඇදුණු) පියලි වර්ග අමතර ආහාරය සඳහා යොදාගන්න.

පීකදු, බිත්ත කහමදය, වට්ටක්කා, කහ බතල, කැරට් සහ තද කොළ පැහැති පලා වර්ග විටමින් ඒ බහුල ආහාර වන අතර ඒවායින් එකක් හෝ කිහිපයක් අමතර ආහාරයට එකතු කරන්න. ගස්ලබු, අඹ වැනි විටමින් ඒ අඩංගු පළතුරක් ආහාරයෙන් පසු ලබාදෙන්න.

දරුවාගේ දිනපතා ආහාරයේ දේශීය පළතුරු අඩංගු කරන්න. පළතුරු ලබාදීමේදී පොඩිකරගත් හෝ පල්පයක් ලෙස සාදාගත් පළතුරු ලබාදීම, පළතුරු යුෂ ලබාදීමට වඩා සුදුසුය.

පොල් කිරි හෝ බටර්

ආහාර පිළියෙල කිරීමේදී පොල් කිරි ස්වල්පයක් හෝ පොල්තෙල් බටර් හෝ මේද තැවරුම් තේ හැදි 01-02 ක් පමණ එකතු කිරීමෙන් ආහාරයේ මෘදු බව හා රසවත් බව වැඩිකර ගැනීමට හැකිය. එයින් වැඩිපුර කැලරි ප්‍රමාණයක් අමතර ආහාරයට එකතු වේ.

යෝගට්, මුදවපු කිරි සහ ගෙදරදී පිළියෙල කරන ලද ධාන්‍යමය ආහාර කෙටි ආහාර ලෙස ලබාදිය හැකිය. මේ සඳහා සීනි හෝ පැණි එකතු කර ගැනීම අවශ්‍ය නොවේ.

අමතර ආහාර ලබාදීමේදී පිළි පැදිය යුතු නිවැරදි උපදෙස්

ආරම්භයේ සිටම අර්ධ ඝන ස්වභාවයෙන් යුතු ආහාර හඳුන්වා දෙන්න.

අමතර ආහාරයට නිවැරදි වූ ඝනත්වය සහ රසයක් ලබාදීම සඳහා මවුකිරි ස්වල්පයක් එකතු කරන්න.

ආහාර කැවීම සඳහා දරුවාට බඩගිනි එනතෙක් සිටින්න.

විවිධ වර්ගයේ ආහාර දරුවාට ලබාදෙන්න.

නිදිමත වීමට පෙර දරුවාට ආහාර කවන්න.

අසනීප වූ විටදී දරුවාට ලබාදෙන ආහාර ප්‍රමාණය අඩු නොකරන්න.ඉක්මනින් සුවය සඳහා වැඩිපුර ආහාර අවශ්‍ය වේ.

ආහාර පිළියෙල කිරීමට හොඳින් සෝදාගත් උපකරණ භාවිතා කරන්න.

ආහාර පිළියෙල කිරීමට ප්‍රථම හා දරුවාට කැවීමට පෙර අත් සබන් යොදා හොඳින් සෝදා ගන්න.

විවිධ වර්ගවලට අයත් ආහාර අමතර ආහාරය පිළියෙල කර ගැනීම සඳහා යොදාගන්න.

මාස අටක් නවයක් වන විට තනිව ආහාර ගැනීමට දරුවා හුරු පුරුදු කරවන්න.

ලුණු සහ සිනි එපා

බොහොමයක් ස්වභාවික ආහාරවල ප්‍රමාණවත් ලෙස සීනි හා ලුණු අන්තරගත වේ. සීනි හා ලුණු රසයට දිව හුරුවීම එය භාවිතයත් සමඟ සිදුවන්නකි. ඒ නිසා අමතර අහාර සඳහා සීනි හා ලුණු හඳුන්වාදීම හැකිතාත් ප්‍රමාද කිරීම හෝ එකතු නොකිරීම යෝග්‍ය වේ.

අමතර ආහාරය සඳහා ලුණු හා සීනි එකතු නොකිරීමට හේතු

ආහාරයට ලුණු එකතු කිරීමෙන් දරුවා වයසින් වැඩෙත්ම ලුණු සහිත ආහාරවලට දක්වන කැමැත්තද වැඩිවේ.

ආහාරය සඳහා එකතු කරන ලුණු ප්‍රමාණය දරුවාගේ ශරීරයෙන් බැහැරවීම අපහසු වේ.

අධික සීනි සහිත ආහාරවලට පුරුදුවීම නිසා දරුවා පෝෂ්‍යදායී ආහාර ප්‍රතික්ෂේප කරයි.

සීනි අධික ආහාර ගැනීම නිසා දත් දිරා යයි.

සීනි අධික ආහාර නිතර පරිභෝජනය නිසා තරබාරුව ඇතිවෙයි.

ආහාර අසාත්මිකතාවයෙන් වැළකීමට

ජීවිතයේ මුල් මාස කිහිපය තුළදී ළදරුවන් ආහාර ආශි‍්‍රත අසාත්මිකතාවයන්ට ලක්වීම හේතුවෙන් දද, ඇදුම හා සෙම්රෝග වැනි නොයකුත් රෝග ඇතිවිය හැක. සහජ අසාත්මික රෝග ඇති පවුල්වල ළදරුවන්ට අසාත්මිකතාවය පිළිබඳ අනතුරු අතිශයින් වැඩිය. මෙවැනි අවදානම් තත්ත්වයේ සිටින ළදරුවන්ට අසාත්මීජනක ආහාර දීමෙන් හැකිතාත් දුරට වැළකී සිටිය යුතුය. එළකිරි, ඇතැම් ළමා කිරිපිටි වර්ග ඇට වර්ග බිත්තර සුදුමදය හා සමහර වර්ගවල මාළු මෙවැනි දරුවන්ට හඳුන්වාදීම ප්‍රමාද කිරීම සුදුසු වේ.

අමතර ආහාර දීමේදී ඇතිවන ගැටලු

අමතර ආහාරය පෝෂණ ගුණයෙන් සම්පූර්ණ නොවීම, පාචනය වැනි රෝග ඇති කරන විෂබීජයන් අමතර ආහාර වැඩිපුර වතුර එකතුකිරීම මඟින් ආහාරයේ දියාරු සමඟ ශරීරගතවීම ආදිය අමතර ආහාර දීමේදී ඇතිවන ප්‍රධාන ගැටලු වේ.

ස්වභාවයක් ඇතිවීම, අමතර ආහාරයේ අඩංගු ශක්තිය හා පෝෂක ප්‍රමාණය අඩුවීමට හේතු වේ. මෙලෙස ජලය එකතු කිරීම වෙනුවට දොවාගත් මව්කිරි ස්වල්පයක් අමතර ආහාරයට එකතු කිරීම නිසා දරුවාට ආහාර කැවීම පහසු වන අතර එය දරුවාට ගිලීමටද පහසු වේ. මෙවැනි ආහාරයක් පොෂණ ගුණයෙන් ඉහළ අතර රසවත් බවින්ද වැඩිය.

ආහාර කුඩා ප්‍රමාණය බැගින්

ළදරුවාගේ ආමාශය කුඩාය. එම නිසා දරුවාට එක වරකට ගත හැක්කේ කුඩා ආහාර ප්‍රමාණයකි. දරුවාට ප්‍රමාණවත් පෝෂණයක් ලබාදීම සඳහා දෙනු ලබන ආහාරය ශක්ති ජනක විය යුතු අතර පෝෂ්‍යදායී විය යුතුය.

අමතර ආහාරය සඳහා පැළවීමට සලසන ලද පියලි වර්ග යොදා ගැනීම

පියලි පැළවීමට සැලසීම මඟින් එහි අන්තර්ගත පෝෂක ශරීරයට අවශෝෂණය වීම පහසු කරයි.

නොකැඩුණු සම්පූර්ණ පියලි (මුංඇට, කවුපි, උළුඳු) මේ සඳහා තෝරා ගන්න.

බීජ අංකුර ඇදෙන තෙක් පියලි පැය 48ක් පමණ වතුරේ පොඟවා තබන්න.

ඉන්පසු මෙම පියලි අව්වේ වියලා මද ගින්නේ තරමක් බැදගන්න.

වියලාගත් පියලි වංගෙඩියකින් හෝ විදුලි අඹරණයකින් කුඩු කරගන්න.

කට පළල් ස්කුරුප්පු මූඩිය සහිත බෝතලයකට මෙම සාදාගත් මිශ්‍රණය සුරැකිව ගබඩා කරන්න.

ආහාර පිළියෙල කරන විට මෙම මිශ්‍රණයෙන් තේ හැන්දක් අමතර ආහාරයට එකතු කරන්න.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශයේ අනුග්‍රහයෙනි