දත්වල මැලියම් ඉවත්කර ගැනීමට දත් මැදිය යුතු අන්දම

දත්වල මැලියම් ඉවත්කර ගැනීමට දත් මැදිය යුතු අන්දම

වීදුරු මස් රෝගී වන්නේ දත්වල මැලියම් ඇති නිසයි

දත් නැති දා උක්දඬු ගිනි තපින්නදැයි පැරණි කියමනක් තිබේ.එය අගනා කියමනකි. මන්ද දත් නැති කල අපගේ මුළු පෞරුෂයම බිඳ වැටෙනු පමණක් නොව ඒ සෞඛ්‍ය ගැටලුව අපගේ මුළු දිවියම යම් විටක එපා කර දැමිය හැකි බැවිනි. එබැවින් අපගේ දත් ටික රැක ගැනීම නම් අත්‍යවශ්‍යම කරුණකි.

දන්ත සෞඛ්‍යය ගැන කතා කරන විට ප්‍රමුඛව අවධානයට ලක්වන කරුණක් වනුයේ විදුරුමස් රෝගයි. විදුරුමස් රෝග හඳුනාගැනීමට පෙර අප නිරෝගී

විදුරුමසක ස්වභාවය හඳුනාගැනීම ද වැදගත්ය.

නිරෝගී විදුරුමස

නිරෝගී විදුරුමස් සාමාන්‍යයෙන් දොඩම් ලෙල්ලක ස්වභාවය ගනී. රෝස පාටක් ඇත. සමහර විට කළු පැහැයක් ද විය හැක. (නමුත් රතු පාට නොවේ.)

විදුරුමස් දාරය පිහිතලයක පෙනුමක් ගනී. නිරෝගී විදුරුමස් හොඳින් පැතිරුණු දිලිසෙන ස්වභාවයෙන් යුක්තය.

තවද එම විදුරුමස් දාරය වටා දත සහ විදුරුමස අතර මි. මි. දශම 5ක පමණ කුඩා පරතරයක් ද පවතී. එය සාමාන්‍යය.

නමුත් රෝගී වූ විදුරුමස ඉදිමුණු ස්වභාවයක් ගනී. එසේම විදුරුමස් දාරයේ හා දත් මතුපිට දත් මැලියම්ද එකතු වී පවති. විදුරුමස රතු පාට වියහැකි අතර තද කළ විට රුධිරය පිටවිය හැකි අතර දුගඳක්ද හැමිය හැක.

මෙය විදුරුමස් රෝගයක මුල් අවස්ථාව වශයෙන් ද හඳුනාගත හැක. එසේ නම් විදුරුමස රෝගී වීමට බලපාන ප්‍රධානතම සාධකය කුමක්ද?

දත් මැලියම්

විදුරුමස් රෝගී වීමට බලපාන මූලික හා ප්‍රධානතම සාධකය දත් මැලියම්ය.

මොනවාද මේ දත් මැලියම්....?

දත් මැලියම්වල බැක්ටීරියා සහිතය. තවද බැක්ටීරියාවල බහිස්‍රාවීය ද්‍රව්‍ය, කෙළවල කොටස්, අප ගන්නා ආහාරවල කොටස් යනාදී සියල්ලේම එකතුවකි දත් මැලියම්.

තවද අප ගන්නා ආහාරවල ඇති සීනි මත ප්‍රතික්‍රියා කොට අම්ලවර්ග මෙන්ම වෙනත් විස ද්‍රව්‍ය ද සාදනු ලබයි. එම විස ද්‍රව්‍ය හේතුවෙන් විදුරුමස් රෝග ඇති වේ. මේ හේතුවෙන් විදුරුමස ඉදිමීම රුධිරය ගැලීම වැනි තත්ත්ව හටගත හැකිවේ.

හොඳින් දත් මැදීමෙන්

දත් හොඳින් නිසියාකාරව මැදීමෙන් මෙම මැලියම් ඉවත් වී එහි ඇති විසබීජ ඉවත්වීමෙන් විදුරුමස ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වේ

ප්‍රධාන හේතුව නොදැනුවත්භාවයයි.

විදුරුමස් රෝග හටගැනීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ අපගේ නොදැනුවත්භාවයයි. නමුත් දන්ත සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්වීමෙන් හා නිවැරදිව දත් මැදීමෙන් එය නැවත නිවැරදි කරගත හැකිය.

නිවැරදිව දත් මැදීම මේ තත්ත්වය මඟහරවා ගැනීමට හැකි හොඳම සහ සාර්ථකම ක්‍රමයයි. නිවැරදිව දත් මැදීම හා නිවැරදි දත් බුරුසුවක් ඒ සඳහා තෝරා ගැනීමද බොහෝ වැදගත් වේ.

නිවැරදි දත් බුරුසුවක් තෝරා ගැනීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද....?

හොඳ දත් බුරුසුවක කෙඳි සමාන උසකින් තිබිය යුතුය. කෙඳි සහිත කෙළවර අග රවුම් විය යුතුය. බුරුසුවේ අග කෙළවරද රවුම් විය යුතු අතර මිට නැමි සහිත නම් සෑම දතක්ම හොඳින් පිරිසුදු කිරීමේ හැකියාව ඇතිවේ. තවද දත් බුරුසුවක කෙඳි ඕනෑවට වඩා දිගුවීමද අවශ්‍ය නොවේ. එය සෙ.මී. 2 1/2 - 3ක් එනම් පුද්ගලයකුගේ හක්කේ දත් දෙකක පමණ ප්‍රමාණයකින් යුක්තවීම ප්‍රමාණවත්වේ. තවද දත් මදින විට දත මතුපිට ඇතිල්ලීම පමණක් ද ප්‍රමාණවත් නොවේ. එය දත් මැදීමේ නිවැරදි පිළිවෙත නොවේ. දත් මැලියම් ඉවත් කිරීමට නම් විදුරුමස වටේටම මැදිය යුතුවේ. මන්ද වැඩිපුරම මැලියම් ඇත්තේ එහි වන බැවිනි. තවද දත මතුපිට මැදීම ද වැදගත් වේ. එහිදී දතේ පිටපැත්ත, ඇතුල් පැත්ත සපන පැත්ත ආදී හොඳින් මැදීම වැදගත්ය.

උදෑසනට හොඳින් දත් මැදීමට පුුරුදු වන අප එබඳුම සැලකිල්ලක් රාත්‍රී කාලයේදීද දැක්විය යුතුමය. සාමාන්‍යයෙන් දිවා කාලයේදී අපගේ මුඛයේ කෙළ වැඩිපුර පවතී. එබැවින් මුඛයේ ආම්ලික ගතිය මෙන්ම විසබීජ ද අඩු ප්‍රමාණයක පවතී.

නමුත් රාත්‍රී කාලයේ නින්දේදී අපේ මුඛය වඩාත් වියලි ස්වභාවයකින් පවතී. එහිදී මුඛයේ ඇතිවන විසබීජ හා ආම්ලිකතාවද වැඩි වේ. මේ නිසා රාත්‍රියේදී විදුරුමස් රෝග හා දත් දිරායෑමට ඇති හැකියාවද වැඩිවේ. අප නින්දට පෙර දත් මැදිය යුත්තේ මේ හේතුව නිසාය.

සාමාන්‍යයෙන් කෙළවල ආම්ලික බව අඩු කිරීමේ හා විසබීජ විනාශ කිරීමේ හැකියාවක් පවතින අතර රාත්‍රී කාලයේ මේ ක්‍රියාවලියේ සිදුවීම අඩු මට්ටමකින් සිදුවේ. එබැවින් රාත්‍රී නින්දට පෙර අප හොඳින් මුඛය පිරිසුදු කොට තැබීම වැදගත් සාධකයක් වශයෙන් හඳුනාගත යුතුය.