පමණ ඉක්මවා ගියොත් මානසික රෝගීන් බවට පත්වෙනවා

අධික සර්ව සම්පූර්ණ බව මිත්‍යා විශ්වාස හා භීතිකා අවිශ්වාසය - සැකය

පමණ ඉක්මවා ගියොත් මානසික රෝගීන් බවට පත්වෙනවා

ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. දුක සැප , සතුට, කඳුළ අපේ ජීිවිතයට උරුමවු දේවල්.එපමණක් නොවෙයි. සැකය , ආතතිය යනාදියත් මේ සමග බැඳී පවතිනවා.ඒ නිසා මේ සියල්ලම පොදු බැඳගෙනයි අපි ජීවත් වනනේ.මේ සියල්ලෙන් තොරවු ජීවිතය කිසි රසවත් භාවයක් නැහැ. නමුත් මේ කුමන දෙයක් වුවද සීමාව ඉක්මවා ගියොත් අපගේ ජීවිතයම ගැටලුවක් බවට පත්වීම නම් වළක්වන්නට නම් බැහැ. එබැවින් ඒ පිළිබඳ දෙවරක් සිතා බැලිම අතිශයින් වැදගත්.

සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යාම බොහෝ දුරට මානසික ගැටලුවලට මුහුණ දෙන කරුණක් . පසුකාලීනය එය මානසික රෝගයක් බවට පත්වනවා.මෙයින් ඇතිවන ආතතිය වළක්වා ගන්නේ කෙලෙසද?.

අවිශ්වාසය - භින්නෝන්මාදය

විශ්වාසය කියන දේ අද සමාජයෙන් තුරන් වි තිබෙන වකවානුවකයි අපි ජිවත් වන්නේ. ඇතැම් විට අපේ සමීපතමයන් පවා අපට විශ්වාස කළ නොහැකි ත්ත්ත්වයක පවතිනවා.අපට විශ්වාසය තැබිය හැකි පිරිස ගෙන බැලුවොත් අතේ ඇඟිලි ගණනටවත් නැහැ.නමුත් අප ජිවත්වන පරිසරය තුළ යම්කිසි මට්ටමකට හො ඔබට අන් අය විශ්වාස කළ යුතු වනවා.එසේ නොමැති නම් ජිවතයේ එදිනෙදා මුහුණ දිමට සිදුවන කටයුතුවලට එය බාධාවක්.නමුත් ඇතැමුන් මේ ආකාරයටවත් සමාජයේ අප හා ගැටෙන පුද්ගලයින් විශ්වාස කරන්නේ නැහැ. එසේ අන් අය අවිශ්වාස කිරීමත් එසේත් නැත්නම් අන් අය සැක කිරීමත් එක්තරා ආකාරයක පෞරුෂ දුබලතාවක් බව පවසන්නේ ව්‍යවාහරික මනෝවිද්‍යාඥ නිමල් ලියනගේ මහතායි.

මේ තත්ත්වය සීමාව ඉක්මවා ගිය අවස්ථාව රෝගී තත්ත්වයක් . එය හඳුන්වනනේ භින්නෝන්මාදය ලෙසින්. මෙවැනි රෝගීන් නිතරම තමා අවට සිටින අය තමාට හානි පමුණුවනු ඇතැයි යම් බියකින් පසුවනවා.. ඔවුන් තමාට විරුද්ධව කුමන්ත්‍රණවල යෙදෙන බව ඔවුන් විශ්වාස කරනවා. මෙය කිසියම් හෝ හේතුවක් මත ඔවුන්ගේ සිත්වල හට ගන්නා එක්තරා ආතතිමය තත්ත්වයකි.මෙය එක්තරා ආකාරයක පෞරුෂ දුර්වලතාවයක්.

සර්ව සම්පූර්ණ බව හා ග්‍රස්ථිය

ඇතැමුන් සෑම කටයුත්තක්ම අතිශයින් සර්ව සම්පූර්ණව ඉටු කිරීමට සෑම විටෙකම උත්සාහ ගන්නවා.දසමයකින් හෝ වරදක් නොවන්නට ඔවුන් එක එල්ලේම ඒ ඔස්සේ හඹාගෙන යනවා.මෙයින් හැඟෙන්නේ වගකීම් පැහැර හැරීම නොවෙයි.ඕනෑම කාර්යයක් සෑම විටෙකම, කෙසේ හෝ සර්ව සම්පූර්ණව ඉටු කිරීමට යාමේදි නීති රීති, සීමා මායිම් ආදී නිර්ණායක පිළිබඳ ඕනෑවට වඩා සැලකිලිමත් වීම ද මෙහිදී දැකගත හැකි වේ. මෙවැනි පෞරුෂ දුබලතාවයකින් පෙළෙන අය අනවශ්‍ය ආකාරයට දශමයක් වත් එහා මෙහා නොවන ලෙස අකුරටම වැඩ කිරීමට යාම නිසා ඔවුන් ආතතියකට මුහුණ දෙනවා.

එපමණක් නොවෙයි නිසි වේලාවට අදාළ කටයුත්ත කිරීමට ඔවුන් අපොහොසත් වුණොත් දැඩි අසතුටකට, ආතතිමය තත්ත්වයකට මුහුණ දෙනවා..

තමා පමණක් නොව තමා අවට සිටින අය ද අකුරටම අදාළ කාර්යයන්වල නිරත වනු ඇතැයි ද ඔවුන් හැම විටෙකම බලාපොරොත්තු වනවා. නමුත් එසේ තමාගේ අවශ්‍යතාව ඉටු නොවන විට තම සිතේ ඇති ආතතිය ඔවුන් පිටකර දමන්නේ බැණ වදිමිනි. ඔවුන්ට පැවරු අදාල කාර්යය පිළිබඳ නැවත නැවත පරීක්ෂා කර බැලීම ද නිරන්තරයෙන් සිදු කරනු ලැබේ. සුඵ ගැටලුවක් මතුවුවිට ඔවුන් දෝෂාරෝපණයකට ලක් කිරිම සිදු කෙරේ.

ඕනෑම පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් ජිවිතයේදී සෑම කාර්යයක්ම 100%ක් නිවැරදිව කිරීමට අපහසුය. නොදැනුවත්ව සිදුවන අතපසු වීම් අතිශය සාමාන්‍ය තත්ත්වයකි. නැවත අපට එවැනි වැරදි නිවැරදි කරගෙන කටයුතු කිරීමට හැකි වේ. නමුත් මෙම පෞරුෂ දුර්වලතාවයට මුහුණදී සිටින අය තමාගේ කාලය කෙතරම් කැපකර හෝ අදාළ දේ එක්වර නැවත නැවතත් සිදු කිරීමට උත්සාහ ගනු ලැබේ. මෙවැනි පුද්ගලයින් මානසික වශයෙන් හෙම්බත් වී සිටිය හැකියි. මෙසේ කාලයක් පුරා මේ තත්ත්වය පැවතීමෙන් එය රෝගී තත්ත්වයක් කරා වර්ධනය විය හැකියි.

මෙම රෝග අවස්ථාව ග්‍රස්ථිය ලෙසින් හැඳින් වේ. සාමාන්‍යයෙන් මෙම රෝග ලක්ෂණ මූලිකව හඳුනා ගතහොත් ඖෂධමය ප්‍රතිකාර ලබාදීම වඩාත් පහසු වුවත් පෞරුෂ දුබලතාවක් ලෙස පවතින විට ප්‍රතිකාර ලෙස භාවිතා කළ හැක්කේ මානසික උපදේශනය හා මනෝ චිකිත්සාවයි. මෙවැනි අවස්ථාවකදී අදාළ රෝගියා මෙන්ම ඔවුන් අවට සිටින අයද පීඩාවකට පත් විය හැකි වේ.

උදාහරණයක් ලෙස නිවස ආශි‍්‍රත පරිසරයකදී මෙවැනි රෝගීන්ට නිවසේ කොතැනක හෝ කුණු ඉතා ස්වල්පයක් පැවතීමත් දරා ගැනීමට අපහසු වේ. හැමදේම පිළිවෙලකට පැවතිය යුතුයි. එසේ තමා කැමති ආකාරයට වැඩ සිදු නොවුණහොත් සිතේ ඇතිවන ආතතිය නැති කර ගැනීමට ඔවුන් අන් අයට බැණ වදිනු ලැබේ.

මිත්‍යා විශ්වාස හා භීතිකා

යම් යම් මිත්‍යා මත නිසා ඇතැම් අය සිතේ දැඩි අසහනයකින් කටයුතු කරනු ලැබේ. උදාහරණයක් ලෙස යම් ගමනක් පිටත් වීමට පෙර හූනෙක් ශබ්ද කළොත් තමා යා යුතු ගමන ප්‍රමාද කරනු ලැබේ. ඒ වගේම ඇතැම්විට තමන්ට ලැබුණු වැරදි උපදෙස්, අනුශාසනා නිසා ද මෙසේ සිතේ දැඩි අසහනකාරී බවකින් ඔවුන් කටයුතු කරනු ලැබේ.

මේ ගැටලුවලින් බැහැර විමට නම් නිවැරදි ආකල්ප ඇති කර ගැනීම. ජීවන නිපුනතා යොදා ගෙන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීම. ප්‍රශ්න පිළිබඳ සිතමින් සජීවි කාලය නාස්ති කර නොගැනීම . ගැටලු විසඳා ගැනීමට නොහැකි නම් සුබවාදී විකල්ප කර යොමුවීම මානසික අසහනයෙන් මිදීමට කටයුතු කිරීම. යනාදිය ජීවිතයට එක්කරගත යුතුය.

දීප්ති ෆොන්ූසේකා