Be Alert

Be Alert

නිතර කෝලා වර්ග පානය කළාම අස්ථි දිරනවද?

සමහර වෙලාවට පිපාසයක් ඇතිවුණාම ලෝදිය හරි කමක් නෑ තිබහ නිවාගන්න කියලා සමහරු කියනවනේ. ඒත් ලෝදිය නම් බිව්වත් කමක් නැහැ. පැණි බීම, ඒ විතරක් නෙමෙයි කෝලා වර්ග නම් බොන්න එපා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඊට හේතුව නම් මේ වෙනකොටත් ඔබ දන්නවා ඇති. ඒත් හැම වෙලාවකම මේ දේවල් ගැන අහලා දැකලා තිබුණත් සමහර අයට මේ පුරුද්ද අත්හැරගන්න බැරි නිසා ආයෙත් මතක් කර ගනිමුද?

පැණි බීම වර්ග, අධිකව සීනි යෙදූ කෝලා වර්ග දියවැඩියාව, අධිරුධිර පීඩනය විතරක් නෙමෙයි ස්ථුලතාව වගේ බෝ නොවන නමුත් භයානක රෝගවලට මූලික හේතුවක්. කොහොම හරි මේ කථාබහ අතරේ පැණි බීම වර්ග ඒ වගේම කෝලා වර්ග නිසා අස්ථි දිරා යනවා කියලා කථාවකුත් තියෙනවා. ඇත්තද මේ කථාව?

ඇත්තෙන්ම මූලිකව සඳහන් කළ යුතු වන්නේ කෝලා වර්ග සහ අස්ථි දිරායාම අතර ඍජු සම්බන්ධතාවක් නොමැති බවයි. නමුත් පොදුවේ බැලූ විට ආහාරයක් වශයෙන් එවැනි බීම වර්ගවල ශරීර සෞඛ්‍යයට හිතකර කිසිත් අඩංගු නොවන බව සඳහන් කළ යුතුයි.

උදාහරණයකට මෙවැනි පාන වර්ගයක් වෙනුවට කිරි වැනි පානයක් පිළිබඳ සලකා බැලුවහොත් කිරිවල ප්‍රෝටීන, කැල්සියම් වැනි පෝෂක කොටස් අඩංගු වෙනවා. ඒ වගේම පලතුරු යුෂත් පෙර සඳහන් කළ කෝලා වර්ග පානය කරනවාට වඩා ගුණදායකයි. කෙසේ වෙතත් යම් අයකුගේ අස්ථි දිරායාම සඳහා යම් ලෙසකින් බලපෑමක් එල්ල වෙනවා නම් ඊට හේතුව කෝලා වර්ගවලට වඩා කිරි වැනි ආහාර නොගෙන සිටීම බව නම් වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ හැකි සත්‍යයක්.

නමුත් වෛද්‍ය විද්‍යාත්මකව බලනවා නම් වඩාත් වැදගත් වන්නේ කෝලා වර්ග වැනි පෝෂ්‍යදායී නොවන පාන වර්ග ලබා ගන්නවාට වඩා හැකි තරම් ස්වභාවික මෙන්ම පෝෂණ ගුණයෙන් අනූන පාන වර්ග භාවිතයට ගත යුතු බවයි.

දිගු වේලාවක් හිඳගෙන වගේම සිටගෙන සිටීම නිසා කකුල්වල නහර ගැට ගැසෙනවාද?

“ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා.” කියලා කථාවක් තියෙනවනේ. ඒත් ඇත්ත කියන එක කෙසේවෙතත් බිම වාඩිවෙලා දිගු වේලාවක් ඉන්න ගියොත් නම් ඔබට මුහුණදෙන්න වෙන ප්‍රතිඵලය තරමක භයානක එකක් වෙන්න පුළුවන්.

ඇත්තෙන්ම බොහෝ වේලාවක් එක දිගටම වාඩිවෙලා ඉන්න එක විතරක්ම නෙමෙයි බොහෝ වේලාවක් සිටගෙන සිටීමත් නිසා කකුල්වල නහර ගැට ගැසෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි කියලා සමාජයේ බොහෝ දෙනා අතර කසුකුසුවක් තිබෙනවා. ඇත්තද මේ කථාව.... මොකක්ද මෙහි වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම.

එක දිගටම එකම ඉරියව්වකින් සිටින විට කකුල්වල නහර ගැට ගැසීමේ ප්‍රවණතාවක් තිබෙන බව ඇත්ත. ඊට බලපාන හේතුවන්නේ කකුල්වල තිබෙන ශිරා මඟින් හෘදය වෙත අපිරිසුදු රුධිරය රැගෙනයාමට නම් මාංශපේෂී ක්‍රියාකාරී විය යුතුයි.

නමුත් දිගින් දිගටම එකම ඉරියව්වක විශේෂයෙන් සිටගෙන හෝ ඉඳගෙන සිටින විට මාංශ පේෂී ක්‍රියාකාරීවීමක් සිදු නොවන නිසා ශිරාවල තිබෙන රුධිරය එකතුවීමක් සිදුවේ. මෙසේ රුධිරය එකතුවීම නිසා එම රුධිරය සහිත නාල විස්තාරණයවීමක් සිදුවේ.

මෙම රුධිර නාලවල පහත සිට ඉහළට විවර වන කපාට පිහිටා තිබෙන අතර පෙර පැහැදිලි කළ රුධිරනාලවල විස්තාරණය හේතුවෙන් කපාටවලින් රුධිරය නැවත පහතට කාන්දුවීමක් සිදුවේ. මේ හේතුවෙන් ශිරාගත රුධිරය තව තව එක්තුවීමක් සිදුවේ.

මේ ක්‍රියාවලිය නිසා නහර ගැටගැසෙන රෝගී තත්ත්වය තවදුරටත් වැඩිවිය හැකියි. ඒ වගේම මෙම රෝගී තත්ත්වය නහර ගැට ගැසීම ලෙසින් හැඳින්වුවද ඇත්තටම නහර ගැට ගැසීමක් මෙහිදී සිදුනොවන අතර පෙර පැහැදිලි කළ ක්‍රියාවලිය නිසා හෘදය වෙත පාදවල සිට අපිරිසුදු රුධිරය රැගෙන යන රුධිර නාල හෙවත් ශිරාවල විස්තාරණයවීමක් නිසා මෙසේ සිදුවන බවත් සඳහන් කළ යුතුයි.

සීනි ආහාරයට ගැනීම නිසා සම කළු වෙනවාද?

මේ ලෝකේ ජීවත් වෙනකොට අපට මොනතරම් සතුරෝ ඉන්නවාද? ඒ සතුරන් අතරේත් සමහර අයගේ නම් අහන්නවත් අපි කැමති නැහැ. සීනි කියලා කියන්නෙත් එක් අතකින් බලනකොට සතුරෙක් වගේ දෙයක් කියලා කිව්වොත් බොහෝ දෙනෙක් ඊට අනිවාර්යයෙන්ම එකඟ වේවි.

මොකද කියනවා නම් සීනි කියලා කියන්නේ ඉතාම මිහිරි පැණි රස දෙයක් වුණාට සීනි නිසා ඇතැම් අයගේ ජීවිත අමිහිරි වෙන්නත් පුළුවන්. ඒ විදිහට සමහර අයගේ ජීවිත අමිහිරි කරවනවා කියන කොට කාටත් මතක් වෙන එක් රෝගයක් තියෙනවා.

ඒ තමයි දියවැඩියාව. දියවැඩියාව නිසා අවාසනාවන්ත ලෙස බොහෝ දෙනා ජීවිතයේ මිහිර අමිහිරි කරගන්නවා විතරක්ම නෙමෙයි ජීවිතයෙන් සමුගන්නා අවස්ථාත් ඕනෑතරම්. ඒ තරම් භයානක අත්දැකීමක් ලබාදෙන සීනි නිසා දියවැඩියාවට අමතරව අපට සිදු කරන්නට පුළුවන් තවත් බලපෑමක් තිබෙනවාද? කා අතරත් මේ ගැන මතවාදයක් තිබුණත් ඒ කථාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා කවුරුත්ම දන්නේ නැහැ. ඒ කථාව තමයි සීනි කියන්නේ සමට අහිතකර විස සහිත දෙයක් ද කියන එක. මොකක්ද මේ කථාවේ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරිම.

මෙම කරුණ පිළිබඳ විමසා බැලුවහොත් සීනි සමට විසයි කියන කථාව වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම තරමක් අසීරුයි. නමුත් ශරීරයේ තිබෙන ඉන්සියුලින් නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම නිසා කිහිළි, ඉකිළි, බෙල්ල, වැලමිට වගේ ස්ථාන කළු පැහැයක් ගත හැකියි.

ඊට අමතරව දියවැඩියා රෝගීන්ට දියවැඩියා රෝගී තත්ත්වය නිසා ඇති වන පැල්ලම් (කළු හෝ රතු පැහැති) දැකගත හැකියි. ඒ හැරුණු විට සීනි වැඩිපුර ආහාරයට ගත්තත් සමට ඍජු බලපෑමක් වන බව ස්ථිරව පැවසිය නොහැකි දෙයක්. නමුත් ඔබ වැඩිපුර සීනි භාවිතා කළහොත් දියවැඩියාව, ස්ථුලතාව ආදී රෝගවල නම් ගොදුරක් වන බව ස්ථිරවම පැවසිය හැකියි.