ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝන පරීක්ෂණය

ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝන පරීක්ෂණය

මිනිසාගේ සිරුරට අවශ්‍ය වන යම් යම් දේවල් විවිධ වූ සීමාවන්ට යටත් වේ. නමුත් එම සීමාවන් ඉක්මවා යාමේදී හෝ සීමාවට වඩා ප්‍රමාණයෙන් අවම වනවිට විවිධාකාර වූ ගැටලු වලට මුහුණදීමට සිදුවේ.

යම් ලෙසකින් මෙවැනි අඩුවැඩිවීම් ශරීර අභ්‍යන්තරික වශයෙන් සිදුවන ක්‍රියාවලියකට අදාළ කර බැලුවහොත් එහිදී පුද්ගලයකුට විවිධාකාර වූ සංකූලතාවන් පිළිබඳ බාහිරින් හඳුනාගත හැකි වුවත් නිවැරදි පරීක්ෂණ ක්‍රමයකින් තොරව ඒ පිළිබඳ නිගමනයකට එළැඹිය නොහැකිය.

මෙවර ලිපිය යටතේ සකච්ඡාවට ලක්වන්නේ එවැනි අඩුවැඩි වීම් මත ශරීරයට විවිධාකාර වූ බලපෑම් ඇතිකරනු ලබන ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය හා එය හඳුනාගැනීමේ පරීක්ෂණය පිළිබඳවයි.

ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය යනු...?

මෙම ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ලිංගික හා ස්ටෙරොයිඩ් කාණ්ඩයේ හෝර්මෝනයකි. ස්ත්‍රී මෙන්ම පුරුෂ බේදයකින් තොරව ශරීර අභ්‍යන්තරික වශයෙන් නිපදවන මෙම හෝර්මෝනය කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන්ගේ ශරීර තුළ වැඩි වශයෙන් පවතී. ඒ නිසාවෙන් පුරුෂයන්ගේ ශරීරවල ඔවුන්ට ආවේනික පුරුෂ ලක්ෂණ ඇතිකිරීමට උපකාරී වන ප්‍රධාන හෝර්මෝනයක් වශයෙන් මේ පිළිබඳ හැඳින්විය හැකියි.

පුද්ගලයන්ගේ වයසත් සමඟ ටෙස්ටොස්ටෙරෝන් ක්‍රියාකාරීත්වය සිදුවන්නේ කෙසේද?

මෙම හෝර්මෝනය ඉතා කුඩා ළඳරුවන්ගේ ශරීර තුළ එනම්, ගර්භාෂය තුළදී මෙන්ම බිහිවී මුල් මාස කිහිපයක තුළදී යම් ප්‍රමාණයකින් දැකගත හැකිවේ. පසුව දරුවා ක්‍රමයෙන් වර්ධනය වනවිට හෝර්මෝන ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවී යන අතර නැවතත් වැඩිවියට පැමිණීමෙන් පසුව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමට පටන්ගනු ලැබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පුරුෂයන්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වේ. මාංශ පේශි වර්ධනය, රැවුල වැවීම, කලහකාරී බව ආදී චර්යාවේ සිදුවන වෙනස්කම්, රතු රුධිර සෛල ප්‍රමාණය වැඩිවීම, සරුබව යන ලක්ෂණ මෙමඟින් ඇතිකරනු ලැබේ.

කාන්තාවන්ගේ ශරීරයේ වුවද මෙම හෝර්මෝනය සුළු වශයෙන් දැකගත හැකිය. ඒ වගේම කාන්තා මෙන්ම පුරුෂයන්ගේ අස්ථි ශක්තිමත් කිරීමටද මෙම හෝර්මෝනය උපකාරී වේ.

ටෙස්ටොස්ටෙරෝන් ක්‍රියාකාරීත්වය හා ඒහා සම්බන්ධ ගැටලු...

මෙම හෝර්මෝනය වැඩි ප්‍රතිශතයක් පුරුෂයකුගේ වෘෂණ කෝෂ මඟින් නිෂ්පාදනය වන අතර ඉතා සුළු ප්‍රමාණයක් අධිවෘක්ක ග්‍රන්ථි මඟින් ස්‍රාවය වේ. පිරිමි පාර්ශ්වයේ අයට මෙම හෝර්මෝනයට අදාළ ගැටලුව වන්නේ අවශ්‍ය ප්‍රමාණයට මෙය ශරීරය තුළ නොතිබීමයි.

මෙසේ පුරුෂයකුගේ ශරීරය තුළ ප්‍රමාණවත් පරිදි ටෙස්ටොස්ටෙරෝන් නිපදනොවීම නිසා ඇතිවන රෝග ලක්ෂණ ලෙස ලිංගික අප්‍රාණිකත්වය, මාංශ පේශි වර්ධනය දුර්වල වීම සහ ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්වවලට මුහුණ දීමට සිදුවේ.

කාන්තාවන් පිළිබඳ සලකා බැලීමේදී ඔවුන්ට මෙම හෝර්මෝනය නිසා ඇතිවන ගැටලුව වන්නේ ඔවුන්ගේ ශරීරය තුළ අදාළ හෝර්මෝන ප්‍රමාණය පැවතිය යුතු මට්ටම ඉක්මවා යාමයි.

සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වලින් සහ අධිවෘක්ක ග්‍රන්ථිවලින් මෙය සුළු වශයෙන් නිපදවේ. මෙම ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉක්මවා යාම නිසා ඔවුන්ට ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ ශරීරයේ අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වීමයි.

මේ නිසා ඩිම්බ මේරීම අඩපණ වී සඵලතාවද අඩුවී යයි. ඒ වගේම ඔවුන්ගේ මාංශ පේශි, ප්‍රමාණය ඉක්මවා වර්ධනය වීමක්ද සිදුවේ.

තවද මෙම හෝර්මෝනය ක්‍රීඩකයන් හා කාය වර්ධකයින් ලබාගන්නා තහනම් උත්තේජකයක් ලෙසින්ද හඳුන්වා දිය හැකියි. යම් ලෙසින් මෙම හෝර්මෝනය ලබාගත් බව සනාථ වුවහොත් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවා තහනමට ලක්විය හැක. තවද ක්‍රීඩකයින් මෙය මාංශ පේශි වර්ධනය සඳහාද භාවිතා කරනු ලැබේ.

ටෙස්ටොස්ටෙරෝන් පරීක්ෂණය

මේ සඳහා අවශ්‍ය රුධිර පරීක්ෂණය සිදුකිරීමට රුධිර සාම්පල ලබාදිය යුත්තේ පෙ.ව 8-9 අතරය.

ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු වැඩිවීම හඳුනාගැනීමේ ඇති වැදගත්කම...

කාන්තාවන්ගේ මෙම හෝර්මෝනය ශරීරය තුළ වැඩි ප්‍රතිශතයක් තිබෙනවා නම් ඒවා නිපදවෙන ඉන්ද්‍රියය කුමක්දැයි හඳුනාගැනීම ඉතා වැදගත්. ඊට හේතුව ඉතා කලාතුරකින් ඩිම්බකෝෂවල හටගන්නා ගැටිති හා ගෙඩි මඟින් මෙම හෝර්මෝනය වැඩි වශයෙන් ශ්‍රාවය වීමට ඉඩඇති නිසාවෙනි. පුරුෂයකුගේ මෙම හෝර්මෝනය අඩු තත්ත්වයේ තිබෙනවා නම් ඒ සඳහාද බලපාන හේතු පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ. වෘෂණ කෝෂවල ආබාධ, පිටියුටරි ග්‍රන්ථියේ ඇතිවන ගැටලු (Tumoures වැනි) එම හේතුව අතර ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කරුණුය.

මීට පවතින ප්‍රතිකාර හා වෛද්‍ය නිර්දේශයකින් තොරව ටෙස්ටොස්ටෙරෝන් ලබාගැනීම නිසා ඇතිවිය හැකි ගැටලු...

මූලික වශයෙන් මෙම හෝර්මෝන අඩු පුරුෂයන්ට එන්නත් මඟින් මෙම හෝර්මෝනය ලබාදීම සිදුකරනු ලැබේ. එමඟින් ඔවුන් ඇතිවී තිබෙන ලිංගික බෙලහීනතාව මෙන්ම පුරුෂ ලක්ෂණ වැඩිකිරීමට හැකියාව ලැබේ.

එසේ වුවත් මෙම හෝර්මෝනය වෛද්‍ය නිර්දේශයකින් තොරව අධික වශයෙන් ශරීර ගත කරගැනීම නිසාත් ඉතාමත් අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. ඒවා නම් රුධිරයේ ඝණත්වය වැඩිවී ලේ කැටිගැසීම හා අංශභාග තත්ත්ව. තවද කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම මෙන්ම අක්මාවටද හානි සිදුවිය හැකියි. මේ නිසා කිසිවිටකත් මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව භාවිතා කිරීම සුදුසු නොවේ.