Balance Disorder ශ්‍රවණය හා දෘෂ්ටිය ආශ්‍රිත ගැටලුවක්

ඇවිදින කොට දෙපසට විසිවෙනවා

Balance Disorder ශ්‍රවණය හා දෘෂ්ටිය ආශ්‍රිත ගැටලුවක්

මිනිස් සිරුරක සංවේදන ලබාගන්නා ඉන්ද්‍රියයන් අතර ඇස වගේම කන සඳහා හිමිවන්නේ විශේෂ වැදගත්කමක්. නමුත් එවැනි ඉන්ද්‍රියයන්ට ඇතිවන ගැටලුකාරී තත්ත්ව වෙන් වශයෙන් හඳුනාගත්තද ශරීර අභ්‍යන්තරයෙන් එකිනෙක හා සම්බන්ධ නිසා බාහිරින් අප දකින රෝග ලක්ෂණ සෑම විටම නිවැරදි නොවිය හැකියි.

ඒ අනුව අපි බාහිරින් දකින එක් ඉන්ද්‍රියක ඇතිවන දුර්වලතාවක් සෑම විටෙකම ඊට අදාළ දුර්වලතාවක් පමණක්ම නොවිය හැකියි.එනම් එය අභ්‍යන්තරික වශයෙන් සම්බන්ධ වෙනත් ඉන්ද්‍රියක ගැටලුවක් නිසා ඇතිවූවක් විය හැකියි. එසේ බාහිරින් බැලූ විට සබඳකමක් දැකගත නොහැකි නමුත් අභ්‍යන්තරික වශයෙන් සම්බන්ධ ශ්‍රවණය හා දෘෂ්ටිය ආශ්‍රිත ගැටලුවක් වන සමබරතාව ගිලිහීයාම හෙවත් Balance Disorder  පිළිබඳ විමසා බලමු.

මෙම රෝගී තත්ත්වයේ විශේෂත්වය වන්නේ රෝග ලක්ෂණ ක්ෂණිකව ඇතිවී නැතිවී යාමයි. ඒ නිසා ඇතැම්දෙනා මේ පිළිබඳ දක්වන්නේ අඩු අවධානයක්. සමබරතාව ගිලිහීයාමේ රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණ වන්නේ කෙළින් සිටගෙන සිටීමේ අපහසුතාව, කියවීමේ අපහසුතාව, ඇවිද යන විට දෙපසට විසිවනවා සේ දැනීම, රුධිර පීඩනයේ වෙනස මෙන්ම ඔක්කාරය ආදියයි.

වර්තමානය වන විට දක්නට ලැබෙන බොහෝ රෝගවල රෝග හේතුව වන්නේ ඇතැම්විට මානසිකව ඇතිවන ගැටලුකාරී තත්ත්වයන්ය. ඒ නිසා කෙතරම් රෝගී තත්ත්ව නිර්ණය කිරීම සඳහා වෛද්‍ය පර්යේෂණ සිදුකළද නිවැරදිව රෝගී තත්ත්වය හඳුනාගැනීම ගැටලුකාරී විය හැකියි.

නමුත් Balance Disorder  තත්ත්වය සඳහාද මානසික වශයෙන් ඇතිවන බලපෑම් හේතුවුවද ඊට සිදු කෙරෙන පරීක්ෂණ හරහා වෛද්‍යවරුන් හට මෙන්ම ශ්‍රවණ විශේෂඥයින් හට ඒ පිළිබඳ පැහැදිලිව හඳුනාගැනීමේ හැකියාවක් පවතියි. එසේ මානසික වශයෙන් මෙම රෝග තත්ත්වයට බලපෑම් ඇති කරනු ලබන හේතු අතර මානසික ආතතිය, විෂාදය ආදී රෝග තත්ත්ව මූලිකත්වයක් ගනු ලැබේ.

නමුත් මානසික වශයෙන් පමණක්ම නොවෙයි කායික වශයෙන්ද මීට බලපෑම් ඇති කරවිය හැකි රෝග හේතූන්ද මෙහිදී දැකගත හැකියි. ඒවා අතර අභ්‍යන්තර කන තුළ ස්නායුවලට සිදුවන ඇතැම් බලපෑම් මෙන්ම දෘෂ්ටිය සඳහා ඇතිවන ඇතැම් බලපෑම් නිසාද මේ රෝගී තත්ත්වය මතුවිය හැකියි.

මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පරීක්ෂණය “ඔටෝ එකෝස්ටික්” නමින් හැඳින්වේ. මෙය සුදුසුකම්ලත් ශ්‍රවණ විශේෂඥයෙක් විසින් සිදුකරනු ලබන අතර කන අභ්‍යන්තරයේ පවතින ස්නායුව දක්වන ප්‍රතිචාර අනුව රෝගී තත්ත්වය නිර්ණය කරනු ලැබේ.

එසේ රෝගය හඳුනාගැනීමෙන් පසුව වෛද්‍යවරයකු විසින් වැඩිදුරටත් රෝග තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා CT හෝ MRI වැනි පරීක්ෂණ පවා සිදුකරනු ලැබේ.

Balance Disorder  රෝගී තත්ත්වය සඳහා පවතින ප්‍රතිකාර පිළිබඳ විමසා බැලීමේදී අදාළ වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ශ්‍රවණ විශේෂඥ උපදෙස් සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ යුතුයි.

නමුත් පෙර පැහැදිලි කළ පරිදි මානසික වශයෙන්ද බලපෑම් ඇති කරනු ලබන රෝග හේතූන්ද පවතින බැවින් මානසික වශයෙන් රෝගියා ඇතිකරගන්නා සන්සුන් මානසිකත්වයද රෝගී තත්ත්වය මඟහරවා ගැනීමට එකසේ උපකාරීවේ.