අනාගත දරුපරපුර ප්‍රචණ්ඩත්වයෙන් මුදවාගන්න

අනාගත දරුපරපුර ප්‍රචණ්ඩත්වයෙන් මුදවාගන්න

එල්ලිලා ඉන්නේ වව්ලෝ විතරක් කියලා සිතුවට මේ වෙනකොට තවත් පිරිසකුත් එල්ලිලා ඉන්න පටන් අරන්. නමුත් ඔවුන් එල්ලිලා ඉන්න තෝරාගෙන තිබෙන්නේ ගස් නම් නොවේ. ඒ වුණත් මේ අය ගස්වල එල්ලිලා වුණත් මේ දිහා බලාගෙන ඉඳීයි.

ඒ හින්දම තමයි සමහර අම්මලා තාත්තලා තමන්ගේ දරුවො එයින් ගලවා ගන්නම බැරි තැන ඊට හුනියම් පෙට්ටිය කියලත් කියන්නේ. මේ කථාව කොහොම වුණත් රූපවාහිනිය නිසා විතරක් නෙමේ සමස්ත මාධ්‍ය පද්ධතියම නිසා දරුවන්ට අත්වෙලා තිබෙන ඉරණම නම් ඉතාම කණගාටුදායකයි. මේ ඒ පිළිබඳ මනෝ විද්‍යාත්මකව කළ සොයා බැලීමක්.

දරුවන් මෙවැනි වයස්වල ගන්නා තීරණ සඳහා බලපාන්නේ මොනවාද?

මෙම නව යොවුන් වියේ දරුවන් බොහෝදුරට පාලනය වන්නේ පවුලේ වටපිටාව, සමඟිය, පවුලේ ආදරය, ආගමික පරිසරය, දෙමාපියන් විසින් දක්වන කරුණු හා ඔවුන් දකින, කියන දේ මතයි. මෙහිදී බොහෝදුරට දකින කියන දේ ලෙසින් අදහස් වන්නේ පරිසර පද්ධතිය, පවුල් ජීවිතය තුළ ඇති වන දේවල්, මාධ්‍යවල දකින දේ ආදියයි. මේ කුමන දෙයක් හරහා වුවද දරුවෙකු දකින කියන දේ අනුකරණය කිරීමට පෙළඹේ. මේ පිළිබඳ කථාබහ කිරීමේදී විශේෂයෙන් දරුවන්, අනුකරණය කිරීමට බොහෝදුරට පෙළඹෙන්නේ මාධ්‍ය මඟින් දකින දේවල්ය. මෙහිදී ඔවුන් ලබන නරක ආදර්ශ නිසා කරුණාව, දයාව, වෙනත් කෙනෙකුගේ ජීවිතයේ වටිනාකම පිළිබඳ සිතීම ආදි දේ පිළිබඳ තැකීමක් නොදක්වනු ලැබේ. යම් දරුවෙකු ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවා නම් ඊට හේතුව බාහිර පරිසරයේ දේවල් හරහා දකින කියන දේ අනුකරණය කිරීමයි.

නමුත් නිතරම අවට වටපිටාවෙන් එසේත් නැත්නම් මාධ්‍ය මඟින් වඩා හොඳ ආදර්ශමත් දේ (උදාහරණ ලෙස අනෙකාගේ ජීවිතයේ වටිනාකම) දකිනවා නම් අසනවා නම් ඔවුන් මෙවන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් කරා යොමු නොවේ.

මේ කථා බහ කෙසේ වුවත් වර්තමානය වන විට දරුවන් නොදැකිය යුතු දේවල් දැකීම කණගාටුවට කරුණක්. එහිදී සමූල ඝාතනය, යුදධමය තත්ත්වයන් මෙන්ම අවම වශයෙන් එදිනෙදා ප්‍රවෘත්තිවල පවා මරණ පිළිබඳ වාර්තා වීම නිසා තවකෙකුගේ ජීවිතය නැසීම යනු අතිශය සාමාන්‍ය සිදුවීමක් ලෙස තේරුම් ගෙන අවසන්. එපමණක් නොවේ බොහෝවිට ඇතැම් පුද්ගලයන් ඝාතනය කරන ආකාරය (හිස ගසා දැමීම, වෙඩි තැබීම, පිහියෙන් ඇනීම) ආදියත් විද්‍යුත් මාධ්‍ය හරහා හොඳින්ම පෙන්වනු ලැබේ. මේවා මාධ්‍ය මඟින් සිදු කරන වරදක්. මේ නිසා දරුවන් මේවා නිතර නැරඹීම මත අනෙකෙකුගේ ජීවිතයේ වටිනාකම පිළිබඳ ඔවුන්ට තිබෙන අවබෝධය ගිලිහී යා හැකියි. ඔවුන් මෙසේ මාධ්‍ය හරහා දකින දේ තමාට ඇතිවන වැරදි හැඟීම් මත ප්‍රකාශයට පත් කිරීමට බොහෝදුරට පෙළඹේ. ඒ වගේම එවැනි විටෙක දරුවෙකුට තරහක් කේන්තියක් ඇති වූවොත් ඊට ප්‍රතිචාර ලෙස අනෙකාගේ ජීවිතයට හානි කළ හැකියි. ඒ නිසා යම් දරුවෙක් තවත් දරුවෙකුට හිරිහැර කරනවා නම් එය යම් අනුකරණය කිරීමක් ලෙස බොහෝදුරට හඳුනාගත හැකියි.

විශේෂයෙන් කාටූන්, චිත්‍රපට, ආදිය මඟින් දරුවන් දකින දේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ද මරණ පිළිබඳ වාර්තා කිරීම දකිනවා පමණක් නොවේ සමාජයේද බොහෝදුරට නිතර මිනීමැරුම් පිළිබඳ අසන්නට ලැබීමත් දරුවන් ප්‍රචණ්ඩකාරී වීමට හේතු වේ.

විශේෂයෙන් දක්ෂතා අඩු, ජීවන කුසලතා අඩු දරුවන්ට පවුල් පරිසරයන් වලදී ද, තරහා ඒ වගේම හැඟීම් පාලනයට නිසි දැනමුතුකම් නොලැබේ නම් සමාව දීම, දරා ගැනීම ආදී හොඳ ලක්ෂණ අඩු පවුල්වල දරුවන් මේ වැනි දේට යොමු වීමේ වැඩි ඉඩකඩක් තිබේ. දිවිනසා ගැනීම් සඳහා දරුවන් පෙළඹෙන්නේ ද මෙවැනි තත්ත්වයන් යටතේය.

ඒ නිසා ළමුන් දකින දේ අසන දේ වැඩිහිටියන් ලෙස පරිපාලනය කිරීම දෙමාපියන් සතු වගකීමක් වේ. සමාජය තුළ තිබෙන ගැටුම් ඇති සිද්ධීන් නිසා දරුවන්ට ලැබෙන ආදර්ශ වක්‍රාකාරව ඉදිරියේදී ඔවුන්ගේ ජීවිතය ද අගාධවලට ඇද දැමිය හැකි නිසා දෙමාපියන් ලෙස ඔබ, ඔබේ දරුවා දැකිය, ඇසිය යුත්තේ කුමක්ද නොඇසිය යුත්තේ කුමක්දැයි තෝරා බේරා දෙන්න. ඒ වගේම මාධ්‍යවල මෙන්ම සමස්ත සමාජයම දරුවන්ට යහපත් ආදර්ශ ලැබෙන ලෙස කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බව ඔබ විශේෂයෙන්ම මතක තබා ගත යුතුය.

නුවන්ති කුලරත්න