Be Alert

Be Alert

දුම්රියේ, බස් එකේ යනකොට පොත් කියවන එක හොඳද?

වැඩිදෙනෙක් ගමනක් බිමනක් යනකොට තමන්ගේ වාහනයක් නැතිවුණොත් බොහෝ වේලාවට ඒ ගමන යන්නේ දුම්රියෙන් එක්කෝ බස් එකෙන්. තමන් යන ගමනේ දුර ප්‍රමාණය වැඩි වෙන්න වැඩිවෙන්න ගමන් මහන්සිය නිවාගන්න සමහර අය නම් සින්දු අහනවා. තවත් සමහර අය පොතක් එහෙමත් නැති නම් පත්තරයක් බලන අවස්ථාත් තියෙනවා.

බොහෝ වේලාවට දිනපතා රාජකාරිවලට යන අය නම් අනිවාර්යයෙන්ම පුරුද්දක් විදිහට පොත් පත්තර කියවන අවස්ථා නම් ඕනෑතරම්. මේ විදිහට පොත් කියවන එක ඉතා හොඳ පුරුද්දක් වුණාට සෞඛ්‍ය අතින් බලනකොට නම් එතරම් හොඳ දෙයක් නෙමෙයි කියලයි සමහරු කියන්නේ.

ඔවුන් මේ විදිහට තර්ක කරන්නේ එක්තරා හේතුවක් නිසා ඒ හේතුව තමයි බස් රියේ එහෙමත් නැති නම් දුම්රියේ ඔබ යනෙන ගමන අතරතුර ඇසත් කියවන අකුරුත් අතර තිබෙන දුර ප්‍රමාණය නිරන්තරයෙන් වෙනස්වීම්වලට ලක්විය හැකියි කියන කාරණය. කථාව කොහොම වුණත් මේ දේ බොහෝ දෙනකුට අදාළ මාතෘකාවක් නිසා නිවැරදි වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම දැනගන්න කවුරුත් කැමති ඇති.

පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නකොට පොත් ඒ විතරක්ම නෙමෙයි පුවත්පත් බැලීම ඇසට විශාල හානියක් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් නිශ්චල තැනක පොත් පත්තර බලනවාට වඩා චලනය වීමක් සහිත තැනක සිට අකුරු කියවනවිට ඇසට වැඩිපුර වෙහෙසක් ඇතිවෙන්න පුළුවන්.

මේ නිසා යම් අයෙක් දිගින් දිගටම විවිධ ගැස්සීම් යටතේ පොත් පත්තර කියවන විට ඇස්වල වෙහෙසකාරි බවක් ඇති විය හැකියි. මේ නිසා එවැනි ස්ථානයක සිට යමක් දිගින් දිගටම කියවනවා නම් ඇස වෙහෙසට පත්වීම වළක්වා ගැනීමට කඩින් කඩ කියවීම සිදු කළ යුතුයි.

එසේ නොමැතිව දිගින් දිගටම කියවීම එතරම් සුදුසු වන්නේ නැහැ. ඒ හැරුණු විට දුම්රියේ, බස්රියේ ගමන් කරන විට පොත් පත්තර බැලීම වරදක් හෝ ඇස්වල බරපතළ ගැටලු ඇති කිරීමට හේතුවක් නම් නොවේ.


හම සුදු කරන ආලේපන නිසා පිළිකා ඇතිවෙනවාද?

බොහොම පැහැපත්ව ඉන්න ඉතිං කවුද අකමැති. විශේෂයෙන් කාන්තා පාර්ශ්වය, හැම වෙලාවකම උත්සාහ කරන්නෙම සුදු පාටට තමන්ගේ සම හැඩගස්වා ගන්නනේ. ජීවත්වෙලා ඉන්නකම් සුදු පාටට ලස්සනට ඉන්න කැමතියි වගේම සුදු වෙන්න ගිහින් ලෙඩ දාගන්නේ නැතිව ඉන්නත් උත්සහ කරන්න ඕන. මේ විදිහට කියන්න හේතුව තමයි සම සුදු කරන ඇතැම් ආලේපන නිසා පිළිකා ඇතිවීමේ අවදානමක් තිබෙනවා කියලා සමාජයේ අය අතර තිබෙන මතය.

කථාව කොහොම වුණත් මෙච්චර දවසක් පාවිච්චි කරපු ක්‍රීම් එක වීසිකරන්න කියලා නම් කියන්න එපා කියලා හිතාගෙන ඇත්තටම මේ කථාවේ සත්‍ය අසත්‍ය මොකක්ද කියලා වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලිකර ගනිමු.

මේ පිළිබඳ ඔව් හෝ නැහැ යනුවෙන් පැහැදිලි උත්තරයක් ලබාදීමට හැකියාවක් නැහැ. නමුත් පර්යේෂණ මඟින් පිළිගෙන තිබෙන ආකාරයට "හයිඩ්‍රොෆිනෝන්" නමැති සංඝටකය අඩංගු ක්‍රීම් වර්ග භාවිතයෙන් නම් දිගුකාලීනව පිළිකා ඇතිවීමේ යම් අවධානමක් තිබෙන බව සත්‍යයි. නමුත් අනෙක් අතට ශ්‍රී ලාංකිකයන්ගේ ස්වභාවික වර්ණය තරමක් අඳුරු පැහැයට හුරු නිසා සමේ අඩංගු වන වැඩි මෙලනින් ප්‍රමාණය, හිරු එළියෙන් ආරක්ෂා වීමට ද ඉතා හොඳ උපකාරයක්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් හිරු එළියේ ගමන් බිමන් ගියත් සමේ අඩංගු මෙලනීන් ප්‍රමාණය නිසා සමේ පිළිකා ඇතිවීමේ ඉඩකඩ අඩුවේ. නමුත් අපේ සමේ තිබෙන වර්ණය වඩා සුදු පැහැ කර ගැනීමට සිතා අපි ආලේපන භාවිතා කරනවා නම් පොදුවේ අපට යම් පිළිකා අවදානමක් ඇතිවේ. සාමාන්‍යයෙන් සුදු හමක් තිබෙන අය නම් හිරු එළියෙන් ආරක්ෂාවීමේ ක්‍රමවේද භාවිතා කරනු ලැබේ. නමුත් අපට එවැනි විශේෂ අවශ්‍යතාවක් නොමැති අතර දුඹුරු පැහැ සමට ස්වභාවිකව ආරක්ෂාවක් හිමිවේ. නමුත් අප සම සුදු කර ගැනීමට ආලේපන භාවිතා කර සම සුදු කර ගන්නවා නම් හා එවැනි අය හිරු එළියට නිරාවරණය වෙනවා නම් පිළිකා ඇතිවීමේ යම් ඉඩකඩක් පැවතිය හැකියි.

කෙසේ වෙතත් මේ වන විට ලංකාව තුළ භාවිතා කරනු ලබන ආලේපනවල නම් එවැනි පිළිකා අවදානමක් තිබෙන බව සොයාගෙන නොමැති නිසා ඒ පිළිබඳ නිශ්චිතව පැවසිය නොහැකියි.


නිතර ටිෂූ කඩදාසි භාවිතා කිරීම ස්වසන ආබාධ ඇති කිරීමට හේතුවක්ද?

දැන් කාලේ නම් මඟ තොටට බැස්සහම බොහෝ දෙනෙකුගේ අත්වල දැකගන්න තියෙන්නේ මොබයිල් ෆෝන් එකක් වුණාට ඉස්සර නම් හැමෝගෙම අතේ තිබුණේ ලේන්සුවක්. විශේෂයෙන් ගෑනු ළමයින්ගේ අතේ.... දැන් කාලේ අය නම් මේ දේවල් හරි හැටි දන්නේ නැති වුණත් ඉස්සර කාලේ හිටපු අයට ඒ කියන්නේ අද වැඩිහිටි අයට නම් මේ දේවල් එතරම් නුපුරුදු දේවල් නෙමෙයි. ඒත් කාලයක් යනකොට ලේන්සුව වෙනුවට මොබයිල් ෆෝන් එක ළඟට එනකොට ලේන්සුව බෑග් එක ඇතුළට ගියා විතරක් නෙමෙයි, ඒ වෙනුවට ටිෂූ කඩදාසි පාවිච්චි කරන්න ගත්තෙත් පුදුමාකාර විදිහට. ඒත් මේ වෙනකොට ලේන්සුව මුළුමනින්ම භාවිතයෙන් ඉවත්වෙලා ද කියලා හිතෙන තරමට ටිෂූ කඩදාසි අපේ ජීවිතේට සම්බන්ධ වෙලාද කියලත් හිතෙනවා. ටිෂූ පාවිච්චි කරන එක කාගේත් පුරුද්දක් වුණාට වරදක් නොවුණත් ඒ නිසා ස්වසන ආබාධ ඇතිවෙනවා කියලා කථාවක් තිබුණා. මොකක්ද මේ කථාව?

ඇත්තෙන්ම බොහෝ දෙනෙක් මේ වන විට ටිෂූ භාවිතා කරන්නට පෙළඹිලා තිබුණට ඒ නිසා ස්වසන ආබාධ සිදුවෙනවා කියන කාරණය තවමත් වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කර නොමැති කරුණක්. නමුත් ඇතැම් අය එය භාවිතා කිරීමේදී සිදුකරන වැරදි නිසා නම් ගැටලු ඇති කිරීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. බොහෝ වෙලාවට එක ටිෂූ එකක්, එක් වරක් පමණක් භාවිතා කරලා ඉවත දමන්න ඕන. නමුත් එය නැවත නැවතත් භාවිතා කරනවා නම් ඉන්ෆ්ලුවැන්සා, වෛරස් වගේ විසබීජ ස්වසන පද්ධතියට යම් බලපෑමක් සිදුකළ හැකියි. ඒ හැරුණු විට ටිෂූ භාවිතා කිරීම නිසා ස්වසන පද්ධතියට හානියක් ඇතිවන බව පැවසිය නොහැකියි.

නමුත් කලාතුරකින් ඇතැම් අයට ටිෂූ භාවිතා කිරීමේදී ඒ තුළ අන්තර්ගත වී ඇති ඇතැම් සුවඳ වර්ග නම් යම් අසාත්මිකතා සඳහා හේතුවීමේ ඉඩකඩක් තිබෙනවා ඒ හැරුණු විට ටිෂූ නිසා ස්වසන ආබාධ ඇති වන්නේ නැහැ.