වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර සහ ඇවතුම් - පැවතුම්

වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර සහ ඇවතුම් - පැවතුම්

මිනිස් සිරුරේ ඇති වන බොහෝ රෝග අතරින් ප්‍රවේශම්කාරීව පලවා හැරිය යුතු රෝගයක් ලෙස වකුගඩු රෝගය හඳුන්වාදිය හැකිය. රෝගය වර්ධනය වීමත් සමඟ පවතින්නේ දරුණු තත්ත්වයක් බැවින් මුල් කාලයේදීම හඳුනා එය සුවකරගැනීමට මහත් වෙහෙසක් දැරිය යුතුයි.

වකුගඩු, ජීවය පවත්වාගැනීම සඳහා අත්‍යාවශ්‍යම අවයවයකි. බහිස්‍රාවීය කටයුතු සිදුකරන ප්‍රධාන අවයවය වන අතර මුත්‍ර නිෂ්පාදනය හා පිටකිරීම මින් සිදුවන ප්‍රධාන කාර්යයන්ය.

ජීවත්වන අප සැමගේ නීරෝගී දිවි පෙවෙතට විශාල සේවයක් සිදුකරනු ලබන වකුගඩුවල යම් දුර්වලතාවයක් සිදුවුවහොත් ඇතිවන බැරෑරුම් කම ගැන ඔබ දැනුවත් ද? වර්තමානයේ බහුලව පැතිරී යන මෙම රෝගය නිසා අනේක විධ ගැටලු රාශියකට මුහුණ දෙන ඔබ වෙනුවෙන් අපගේ අවධානය මෙවර වකුගඩු රෝග ගැන යොමු වුණේ ඒ නිසයි. වකුගඩු රෝග සඳහා අදහස් දැක්වූයේ මීගොඩ පළාත් ආයුරුවේද රෝහලේ වෛද්‍ය සුචරිත සමරවීරයි.

වකුගඩු රෝගයක් හඳුනාගන්නේ කෙසේ ද?

 කොන්දේ වේදනාව

 යටිබඩ වේදනාව

 මුත්‍ර කිරීමේි දී මුත්‍ර දැවිල්ල ඇතිවීම

 මුත්‍රාවල වර්ණය තදපැහැති වීම

 මුත්‍ර පිටකිරීමෙන් පසුව මණ්ඩි ලෙස තැන්පත්වීම

 පාද ඉදිමුම

 ඇස් ඉදිමුම

 ශරීරයට වෙහෙසකාරී තත්ත්වයක් ඇතිවීම

 චර්ම ආශි‍්‍රත රෝග හටගැනීම

වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවන්නේ කොහොම ද?

අපගේ ජීවන රටාවේ සිදුවන යම් වෙනස්වීම් මත මෙම රෝග තත්ත්වයන් ඇතිවිය හැකියි.

 මත්පැන් පානය

 දුම්පානය

 ජලය පානය අඩුකම

 අත්‍යාවශ්‍ය රෝග සඳහා නොවන අනවශ්‍ය ඖෂධ

 දියවැඩියා රෝගී තත්ත්වය ඒ සඳහා භාවිතා කිරීම

 ශරීරය තුළට විෂ ඇතුළු වීම - උදා කෘෂි රසායනය, සර්ප දෂ්ට (පොළොන් විෂ වකුගඩුවලට විශේෂ හානිකර තත්ත්වයක් ඇති කරයි)

වකුගඩු හානිවීමට ඇති අවස්ථා

1. වකුගඩු ආසාදනය වීම

මෙහිදී විෂබීජ (බැකිටීරියා විශේෂ) ශරීරගත වීම නිසා සිදුවිය හැකියි.

විෂ (සර්ප හා කෘෂි රසායන ) ශරීරගත වීම නිසා සිදුවිය හැකියි.

2. වකුගඩු අක්‍රීය වීම

මෙහි දී මුත්‍ර පෙරීම ඇනහිටී .එවිට ශරීරයේ ඇති විෂ කොටස් තැන්පත්වීම වැඩිවේ. ඒ මගින් විවිධ රෝගවල ලක්ෂණ පහලවීමට පුළුවනි. මෙය ජීවිතයට හානිකර තත්ත්වයකි.

03. වකුගඩුවේ මුත්‍ර පද්ධතියේ ඇතිවන ගල්

(අෂ්මරි)

මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අප වෙහෙසිය යුත්තේ එහි භයානකකම මැනවින් පසක් කොට ඇති නිසායි. ඒ සඳහා ජීවිතයේ බොහෝ කැපකිරීම් කිරීමට සිදුවේ. තමාගේ දෛනික ක්‍රියාකාරකම් මෙම රෝගය හමුවේ නිසි ක්‍රමවේදයකට අනුව සිදුකළ යුතුයි.

වළක්වා ගැනීම හා වැළදුණු අයගේ රෝග තත්ත්ව පාලනය කිරීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග

 නිවැරදි අහාර රටාව පවත්වා ගැනීම

 නිවැරදි දිවිපෙවතක් පවත්වා ගැනීම

 රෝග සඳහා නියමිත කාලයේ දී ප්‍රතිකාර ලබාගැනීම

රෝගය වළක්වා ගැනීමට කළයුත්තේ කුමක් ද?

1. ජලය පානය කිරීම

මෙම අවස්ථාවේ දී මුලිකව ම ජලය පානය අඩුවීම හේතු වී ඇති බැවින් අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කළ යුතුයි. දහඩිය පිටවන වෙහෙසකාරීව වැඩෙහි යෙදෙන්නන් වැඩිපුර ජලය පානය කිරීම අත්‍යාවශ්‍යයි. මුත්‍රවල සාන්ද්‍රණය අඩුකිරීම සඳහා අවශ්‍ය ජලය ලබාදීම මින් සිදුවේ.

2. අනෙක් විශේෂ කරුණ නම් බොහෝ විට ඔබ දුම්පානය හෝ මත්පැන් පානය කරනවානම් වහා එය නතරකළ යුතුය. ඔබ යම් කිසි රෝගයකට ඖෂධ ලබාගන්නේ නම් හොඳින් ජලය පානය කළ යුතුයි. නොඑසේ නම් මුත්‍රවල සාන්ද්‍රණය අධික බවට පත්විය හැකියි.

විශේෂයෙන් වකුගඩු රෝග පවතින ප්‍රදේශවල ජලය පානය කිරීමේ දී වතුර උණුකර නිවා පෙරා ගත යුතුයි.

ගුරුලේත්තු හෝ මැටි කළවල ජලය රැස්කර තබා ගැනීම වඩාත්ම සුදුසුයි. එහි දී තලාගත් ඉඟිනි ඇට කිහිපයක් දැමීමෙන් ජලයෙහි පිරිසුදු බව රැකගත හැකියි.

3. අහාර පිසීමේ දී මැටි වළං භාජන භාවිතය

4. ඉස්සෝ, දැල්ලෝ, පොකිරිස්සෝ, බලයෝ, තක්කාලි වැනි උෂ්ණාධික ආහාරවලින් වැළකීම

5. කෘෂි රසායන භාවිතය අවම කිරීම හා කාබනික පොහොරවලට යොමුවීම

6. පාරම්පරික කෘමිනාශක භාවිතා කිරීම

7. තම ප්‍රදේශයේ වැවෙන දියරමය ගුණයෙන් යුතු පලතුරු හා එළවළු භාවිතයට යොමුවීම

වකුගඩු රෝග සඳහා සුදුසු ආහාර

දියරමය ගුණ ඇති එළවළු සහා පලතුරු වර්ග උදා : පිපිඥ්ඥා, කැකිරි, වැටකොළු, පතෝල, කොමඩු, සීනි කැකිරි, අනෝදා, දියබෙරලිය, ගිරාපලා, රාබු, කෝවක්කා කොළ සම්බෝලය, මැල්ල කොළ, කෙකටිය, වට්ටක්කා, ළපටි මුරුංගා, ළපටි තැඹිලි හා කුරුම්බා, නීරමුල්ලිය, සාරණ එසේම කැඳවර්ග ලෙස හාතවාරිය, පොල්පළා, ඉරමුසු, රණවරා, අස්වැන්න, කොළකැඳ මේවා වරින්වර භාවිතය සුදුසුයි.

ගල් සහා මුත්‍ර ව්‍යූහය කෙරෙහි අක්කපාන සුදුසු වුවත් මෙය දිනපතා ගැනීම සුදුසු නැත.

විශේෂයෙන් වකුගඩු අක්‍රීය හා මුත්‍ර සමඟ ප්‍රෝටීන් පිටවීමේ රෝගවලදී වකුගඩු ආරක්ෂා කිරීම සඳහා තණහාල් කැඳ හා මෙනේරි කැඳ අතිවිශේෂයි.

ප්‍රතිකාර

මුත්‍රා දැවිල්ලට, මුත්‍රාගල්, වකුගඩු පිරිසුදු කිරීමට

 අස්වැන්න පොල්පලා, එළබටු , කටුවැල්බටු මුල් තම්බා පානය කිරීම

මුත්‍ර සමඟ ප්‍රෝටීන් පිටවීමේදී

 හාතවාරිය අල, නෙල්ලි, රසකිද සමවගෙන තම්බා නවරත්න කල්කය සමඟ පානය කිරීම.

මුත්‍රාගල්

 ලුණුවරණ පොතු තම්බා පානය කිරීම

මුත්‍රාදැවිල්ල

 රාත්‍රියේ දී කොත්තමල්ලී මිටක් ගෙන සෝදා මදක් තලා වතුර භාජනයකට දමා උදෑසන හිස්බඩ දිනකිහිපයක් පානය කිරීම.