දරුවාගේ පෙනීමේ සුළු දුර්වලතාවයක් හෝ සුළුකොට තකන්නට එපා

දරුවාගේ පෙනීමේ සුළු දුර්වලතාවයක් හෝ සුළුකොට තකන්නට එපා

රතු පාට, කොළ පාට, නිල් පාට මේ කුමන වර්ණයක් හෝ වේවා අපි හඳුනාගන්නේ අපට ඇස මඟින් ලැබෙන සංවේදන හරහායි. එපමණක් නොව ඔබ ඔබගේ මව, පියා, සහෝදර සහෝදරියන්, යහළුවන් යෙහෙළියන් පමණක් නෙවේ අවම වශයෙන් ඔබ සමඟ අමනාප අය පිළිබඳව පවා හඳුනා ගන්නේ ඇස මඟින් ලැබෙන සංවේදන හරහායි. උපන්දා සිට බොහෝදුරට ඔබ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් නම් පෙනීම පිළිබඳ එතරම් විශේෂත්වයක් නොදක්වනවා විය හැකියි.

නමුත් යම්කිසි හේතුවක් නිසා ඇසේ පෙනීම දුර්වල වී ගියහොත් එසේත් නැත්නම් අහිමි වූවොත් ඉන් ඇතිවන තත්ත්වය සිතන්නට පවා ඔබ අකමැති විය හැකියි. කෙසේ වෙතත් ඕනෑම අයෙකුට පෙනීමේ යම් දුර්වලතාවක් තිබෙනවා නම් ඒ පිළිබඳ අන් කිසිවකුටත් වඩා සැලකිලිමත් විය යුතුයි. අක්ෂි දුර්වලතා ඇති වීමට වයස කිසිසේත් ගැටලුවක් නොවන අතර කුඩා දරුවන්ට අක්ෂි ආබාධ තිබේ නම් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරවීම ද වැදගත්.

බොහෝවිට යම් දරුවෙකුට ඇසේ යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ පිළිබඳව වැඩිහිටියෙකුට පැවසීමට තරම් අවබෝධයක් නොතිබිය හැකියි. ඒ නිසා දෙමාපියන් වශයෙන් තමාගේ දරුවාගේ සුළු හෝ වෙනසක් තිබෙනවා නම් ඒ පිළිබඳව ඉතා හොඳ අවධානයකින් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් දරුවෙකුට මෙවැනි ගැටලුවක් ඇති වූවොත් එමඟින් දැඩි බලපෑම් ඇති වන්නේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටයි.

මේ කුමන ආකාරයකින් හෝ හඳුනාගත් අක්ෂි දුර්වලතාවක් සඳහා ලබාදෙන ප්‍රතිකාර නිසි පරිදි සිදු නොකිරීමෙන් අවසානයේදී පණ හා සමාන දෑස සදාකාලිකවම ඔබට අහිමි වී යා හැකියි. මෙවැනි ගැටලුවලදී බොහෝදුරට බලපෑම් ඇති වන්නේ පෙනීමට අදාළ ස්නායුවලටයි. මේ සඳහා දියුණු වෛද්‍ය විද්‍යාවේ ඕනෑතරම් ප්‍රතිකාර ක්‍රම බිහි වී තිබෙන නමුත් බොහෝදෙනාගේ අවබෝධය මදකම නිසා ප්‍රතිකාර ලබා ගැනීම නොසලකා හරිනු ලැබේ. මේ නිසා තත්ත්වය තව තවත් දරුණු වී අවසාන අවස්ථාවේදී ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වීම කණගාටුවට කරුණක්.

ඒ වාගේම බොහෝ දෙනෙකුට ඇතිවන අක්ෂි දුර්වලතා සඳහා කණ්ණාඩි භාවිතා කිරීමට උපදෙස් ලබා දෙනු ලබයි. ඒ සඳහා ලොකු කුඩා කිසිදු වයස් භේදයක් නොමැති අතර ඇතැම් අය ඒ සඳහා එතරම් කැමැත්තක් නොදැක්විය හැකියි. ඊට හේතුව ඇතැම්විට එම කණ්ණාඩිය බරින් වැඩිවීම, රාමුවට අසාත්මිකතා ඇතිවීම හා නුපුරුදු ස්වභාවය ආදී තත්ත්වයන් විය හැකියි. නමුත් එවැනි ගැටලු සඳහා ද නව තාක්ෂණය සැමවිටම පිළියම් සෙවීමට පසුබට වන්නේ නැහැ. භාවිතා කරන අයගේ පහසුව උදෙසාත් ඇස් කණ්ණාඩි පැළඳීමේදී ඇතිවන අපහසුතාවලට ගැලපෙන පරිදිත් ඉතා සිත් ගන්නා සුලු ආකාරයෙනුත් නවතම ඇස් කණ්ණාඩි නිපදවා තිබේ.

එසේ වුවත් ඇස් හා සම්බන්ධව ඇති විය හැකි වෙනත් ගැටලු සඳහා මේ වනවිටත් ලෝකයේ අනෙකුත් රටවල් දියුණු තාක්ෂණික ක්‍රම සොයාගෙන අවසන්. ඕස්ට්‍රේලියාව වැනි රටවල මෙසේ ඇස හා සම්බන්ධ ස්නායුවල ඇතිවන ගැටලු සඳහා ඕඪධදඪජ ඡ්රඥ නැමැති ශල්‍යකර්ම පවා මේ වනවිටත් සිදු කරනු ලැබේ. කාලයක් තිස්සේ සුව කිරීමට අපහසු මට්ටමේ තිබුණු ඇතැම් අක්ෂි රෝගවලට පවා මේ වනවිට නව තාක්ෂණය නිසා එතරම් බිය වීමට අවශ්‍ය වන්නේ නැහැ.

කෙසේ වෙතත් හැකි සෑම විටෙකම ඔබගේ දෑස්වල ආරක්ෂාව, ඒ වාගේම අක්ෂි සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වනවා වගේම යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට ද පසුබට නොවිය යුතුයි. වැඩිහිටියන්ටත් වඩා විශේෂයෙන්ම කුඩා දරුවන් පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ඔවුන්ට ජීවිතයේ තවත් විශාල කාලයකට නිරෝගී දෑස කිසිවකට සමකළ නොහැකි සම්පතක් නිසාවෙනි.