නිකරුණේ බියවීම මානසික රෝගයක්ද?

නිකරුණේ බියවීම මානසික රෝගයක්ද?

ඇතැම් අය බයට බය වෙද්දී තවත් සමහරු බය නිසා සතුටක් ද විදිනවා. නමුත් එසේ ඇතිවන බය කාටවත් කරදරයක් නම් නොවේ. එය ක්ෂණිකව ඇති වී නැවත මඟහැරී යයි. නමුත් දිගින් දිගටම ජීවිතයට යම් බලපෑමක් ඇති කරවන ආකාරයට බයක් ඔබට පවතිනවා නම් ඒ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුයි. බය බය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අපට අදහස් දැක්වූයේ සායනික මෝහන වෛද්‍ය එච්. දමිත් හෙට්ටිආරච්චි මහතායි.

බය ජීවිතයට සතුටක්

බය නැමැති වචනය පිළිබඳ ඇසීම පවා බොහෝදෙනෙක් බියට පත්වන කරුණක් නමුත් බයෙහි යම් රසයක් ද නැත්තේම නැහැ. මේ නිසාම සල්ලි ගෙවා බිය වීමට කැමැත්තක් දක්වනවා. හොල්මන් මන්දිර,හොල්මන් කතන්දර පවා බිහිවන්නේ මේ හේතුව නිසාවෙන් කෙසේ වෙතත් බයේ රසවත් බව නිසාම ජීවිතය සමබරව පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙනවා.

ඒ වගේම යම් ප්‍රමාණයකින් බිය පවත්වා ගෙන යාම ද වැදගත් වන්නේ ඇතැම් වැරදි ක්‍රියාවලට ස්වභාවිකවම එය වාරණයක් පණවන බැවිණි. මේවා සමාජයේ ගෞරව සම්ප්‍රයුක්ත බය, ලැජ්ජා බය ලෙසින් ද හැඳින්වේ.

බය ජීවිතයට ගැටලුවක්

තමන්ගේ ජීවිතය අවුල්වන තරමට යම් අයෙකුට බයක් ඇති වෙනවා. නම් එය යම් රෝගයක් හෝ ගැටලුකාරී තත්ත්වයක් විය හැකියි. මේ සඳහා ප්‍රතිකාර අත්‍යවශ්‍ය වේ.

උපතේ සිට මරණය දක්වා පැවැත්මක්

දරුවෙක් ඉපදෙන විටම තමන්ගේ ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිවන අතර අවසානයේ මරණය දක්වා එය පවතිනවා. ජීවිතයේ විශාලතම බිය ලෙසින් අපි සලකන්නේ මරණ බියයි.

මං යකෙකුටවත් බය නැහැ

යම් අයෙකුගේ ජීවිතයේ බය අඩු කර ගතහොත් එය ඔහුගේ ජීවිතය පවත්වාගෙන යාමට උපකාරයක්.

බය ඇතිවීමට බලපාන හේතු

බය ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ මානසික රෝග වේ. උමතුව සයිකෝසියාව නිසාත් බය ඇති වේ. ඒවාට ප්‍රතිකාර යෙදීමෙන් සරලව සුවකළ හැකි වේ.

රෝගයක්ම නොවන මානසික තත්ත්ව

මෙම මානසික තත්ත්වය (ෆෝබියා) ලෙසින් හැඳින්වේ. මේවා රෝග වශයෙන් හැඳින්විය නොහැකි වේ. නමුත් මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී ඖෂධ ප්‍රතිකාර බහුලව භාවිතා නොවන අතර මනෝ චිකිත්සක ක්‍රම ප්‍රතිකාර ලෙස බොහෝදුරට භාවිතා වේ.

බය බයකර ගනිමු

බය නැති කිරීම සඳහා ලොව අලුතින් බොහෝදෙනෙක් පිළිගත් පිළියම ඒ සඳහා මුහුණ දීමයි. උදාහරණයක් ලෙස යම් අයෙක් රැස්වීමක කථා කිරීමට බිය නම් ඒ තැනැත්තා ඒ සඳහා එකවරම ඇද දැමීම මින් අදහස් නොවේ. අවශ්‍ය වන්නේ ටිකෙන් ටික අදාළ තැනැත්තාගේ හිත ශක්තිමත් කර අදාළ සිදු වීමට මුහුණ දීමට ක්‍රම ක්‍රමයෙන් පුහුණු කිරිමයි. ඒ වගේම මනෝ චිකිත්සක ක්‍රම මඟින් අදාළ තැනැත්තාගේ යටි සිත ශක්තිමත් කර වීමට ද විවිධ උපක්‍රම වෛද්‍යවරුන් විසින් රෝගියාට පුහුණු කෙරෙයි.

බයේ විවිධ ප්‍රභේද

සමාජ භීතිකාව, උස තැන්වලට ඇති බය, කෘමීන්ට, කථාබහ කිරීමට ඇති බිය, එන්නත් කටුවලට, වාහනවල යාමට තිබෙන බය, ආදරයට, ලිංගික ක්‍රියාවන්ට ඇති බය, කළුවරට, වතුරට ඇතිබය අමානුෂ්‍ය බය මීට ඇතුළත් වේ.

බය සහ මානසික රෝග අතර සම්බන්ධය

බය සඳහා නිසිලෙස ප්‍රතිකාර නොකිරීමෙන් මානසික රෝග ඇතිවිය හැකියි. ඒ වගේම බය නිසා මානසික රෝග ද මානසික රෝග නිසා බයද ඇතිවිය හැකිය. මෙය අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධයක් ඇති තේමාවන් දෙකක් වේ.

බය නැති කිරීමට අවශ්‍ය හොඳ අවබෝධයම පමණි

අප කුඩා දරුවෙක් ලෙස ගත කරනවාට වඩා වැඩිහිටියෙක් බවට පත් වූ විට එම බිය පහ වී යයි. ඊට හේතුව වයසත් සමඟ අපට ලැබෙන අවබෝධය මුහුකුරා යාමයි. ඒ වගේම රෝගී තත්ත්වයක් නොවන බය නැති කිරීමට ඇති හොඳම මාර්ගය ද මෙය වේ.

බය සම්බන්ධ ප්‍රධාන මානසික රෝග අවස්ථා

ග්‍රස්ථිය නැමැති රෝග තත්ත්වයෙන් පෙළෙන අය බොහෝවිට මානසික වශයෙන් ප්‍රතිකාර ගත්තද ඒවා සුව වන බවක් පෙනෙන්නට නොතිබේ. ඊට හේතුව පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා යාමේදී පැහැදිලි වන්නේ ඔවුන් ග්‍රස්තිය නැමැති රෝගී තත්ත්වයෙන් පෙළෙන බවයි. උදාහරණයක් ලෙස මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන අය නිතර නිතර අත සෝදන්නේ විසබීජ සඳහා තමා යම් බියකින් පසුවන නිසාවෙනි. තවත් අයෙක් දොරක් වැසීම වැනි ක්‍රියා නිතර නිතර කරන්නේ තමාගේ ආරක්ෂාව පිළිබඳ බියෙන් පසුවීම නිසායි. මෙය බහුල වශයෙන් දක්නට ලැබෙන රෝගයක් වන අතර ඊට මූලිකම හේතුව අදාළ පුද්ගලයාට ඇතිවන බියයි.