නිකරුණේ බියවීම මානසික රෝගයක්ද?

මත්පැන් අබ්බැහිවූ දරුවා බේරා ගන්නේ කොහොමද?

මාපියන් හා යොවුන් දූ පුතුන් අතර ඇතිවන ගැටුම් මෙරට දැන් සුලබය. මෙම ගැටුම් සඳහා මුල්වන එක් ප්‍රධාන හේතුවක් වන දුම්පානයට යොමු වූ යෞවනයන් පිළිබඳව දෙමාපියන් මුහුණ දෙන අභියෝගයේ ස්වභාවය හා එවැනි විවිධ අවස්ථා විමසා බලමු.

මෙහිදී දෙමාපියන් අතරින් අයෙකු හමුවට පැමිණි ගැටලුව වූයේ දරුවාගේ නිශාචර හැසිරීම හා මත්පැන් පානය ය. “අපේ පුතා හැමදාම ගෙදර එන්නෙ හොඳටම රෑ වෙලා. ඒ එනකොට අපට මුහුණ දෙන්නෙ නැතිව කාමරයට රිංගනවා. අපේ පුතාගේ මුඛයෙන් මත්පැන් ගඳක් වහන වෙනවයි කියලත් අපට දැනෙනවා.”

මෙම ගැටලුවට මුහුණ දෙන දෙමවුපියන් මෙන්ම අනෙකුත් දෙමවුපියන් හා වැඩිහිටියන් විශ්වාස කළද, නොකළද, පෙර සඳහන් කළ දරුවාගේ වයසේ බොහෝ යෞවනයන් මත්පැන් පානය කරති. බොහෝවිට සිය සහචරයන් හා මිත්‍රශීලීව ගැවසීමට, තනිකම හා පාළුව මකා ගැනීමට (මෙම වයසේදී බොහෝ යෞවනයන් තම දෙමව්පියන් සමඟ පවත්වන ඇසුර ඉතා සීමිත වුවක් බවට පත්කර ගනිති) තම තරුණකම පෙන්වීමට ඔවුහූ මත්පැන් පානයට යොමු වෙති. මුලදී යන්තමට, ටිකක් මත්පැන් ගිල දමන මෙම දරුවන් ක්‍රමයෙන් තමන් ගන්නා මත්පැන් ප්‍රමාණය වැඩිකර ගනිති. ඉන් පසුව රාත්‍රී කාලයේදී මත්පැන් පානය කිරිමේ යෙදෙති.

කෙසේවෙතත්, යෞවනයන් මත්පැන් පානය කිරීම ඔවුන්ගේ අනාගතයට යහපත් කාර්යයක් නොවේ. මත්පැන් පානය කිරීමේ ආදීනව ඔවුන්ගේ සිත් තුළ ධාරණය කිරීමට තිබුණේ ඔවුන්ගේ ළමා කාලය තුළදීය. එහෙත් දැන් එම කාලය ඉක්ම ගොස් හමාරය.

ගෙදර පියා ගෘහ මූලිකයා හෝ නිවසේ සිටින වෙනත් පුද්ගලයකු හෝ නිවෙස තුළ මත්පැන් පානය කරන්නේ නම් යෞවනයට මත්පැන් පානය කිරීමට එපා යැයි අවවාද කිරීම කකුළුවා හරහට යමින් පැටවුන්ට කෙළින් යාමට පවසනවා වැනි ක්‍රියාවකි. පළමුව නිවෙස තුළ ආදර්ශය පැවතීම අවශ්‍යය.

දෙමාපියන් පවසන අවවාදය පිළිගැනීමට යෞවනයා සූදානම් නැතිනම් ඔහුට එම අවවාදය ලබාදීමට සුදුසු ඔහු ගරු කරන අයෙකු, ඥාතියෙකු, ගුරුවරයයකු , ප්‍රජා නායකයෙකු, පූජකවරයකු ලවා ඔහුට අවශ්‍ය උපදෙස් ලබා දීම කළ යුතුය.

මත්පැන් පානය කළ දරුවා සමඟ හොඳින් කතාබහ කිරීමේ හැකියාව ඔබට හෝ පියාට හේ ඇත්නම් දරුවා මත්පැන් මතින් මිදුණු පසු ඔහු සමඟ කතාබහ කිරීම කළ හැකිය. දරුවා යහපත් මානසික තත්ත්වයකින් පසුවන විට ගැටලුව පිළිබඳව කතාබහ කරන්න. එය කළ යුත්තේ ඉතා ඉවසීමෙනි. දරුවා තමන් මත්පැන් පානය කර සිටි බව පිළිගැනීමට අදිමදි කරනු ඇත. ඒ පිළිබඳව ඔහුට බල කිරීමට නොයන්න.

“මම දන්නවා පුතා එහෙම නොකරන බව. සමහර විට ඔයාගෙ යාළුවො මත්පැන් පානය කරනවා ඇති. ඒ ගොල්ලො ඔයාට බල කරන්න පුළුවන්. කවුරුවත් බල කළ තරමට ඔයා මත්පැන් පානය කරන්න යන්න එපා. දන්නවනේ එහෙම කළොත් ඔයාගෙ අධ්‍යාපනය කඩා වැටෙන්න පුළුවන්. ඔයාගෙ සෞඛ්‍යයට හානි වෙන්න පුළුවන්. ආදී වශයෙන් ඉවසීමෙන් හා ආදරයෙන් කරුණු පැහැදිලි කරන්න. ඔබගේ උත්සාහය එකවරම සාර්ථක නොවීමට පුළුවන්. එහෙත් දරුවා ඔබේ අදහස් ගැන සිතීමට පටන් ගනීවි.

සමහරවිට ඔබ මත්පැන් පානය කරන පියෙකු නම් යෞවනයාට මත්පැන් බීමට එපා යැයි කීම හෝ තහංචි දැමීම හෝ කළ නොහැකිය. සමහරවිට ඔබ පිළිපදින සමාජමය හා සංස්කෘතිකමය මෙන්ම ආගමික වත් පිළිවෙත් හේතුවෙන් මත්පැන් පානය අනුමත කරන්නේ නම් ඔබගේ අවවාදය යොමුවිය යුත්තේ වෙනත් අංශයකිනි. එහි අරමුණ විය යුත්තේ මත්පැන් පානය කිරීම සෞඛ්‍යයට හා ජීවිතයට තර්ජනයක් නොවන ආකාරයෙන් සිදු කිරීමට මඟ පෙන්වීමය.

“මේ පැත්තෙ කවුරුත් පිරිමි මත්පැන් බොනවා. ඔයා දන්නවනේ මාත් ගෙදරදී කෑමට පෙර මත්පැන් ස්වල්පයක් ගන්නවා. තව මඟුල් ගෙදරක් වගේ උත්සව අවස්ථාව තදින් මත්පැන් පානය කරනවා. ඒක වරදක් නෙමෙයි. හැබැයි හැම වෙලාවේදීම මත්පැන් පානය කරලා ඉන්න එපා. ඒකෙ සීමාවක් තියා ගන්න. මත්පැන් බීලා වෙරිවෙලා සමාජ විරෝධි වැඩ කරන්න නම් එපා.” පියෙකු තමන් සුදනකු නොවී අවංකව පවසන මෙවැනි ඔවදන් තුළින් දරුවා අධික මත්පැන් පානයෙන් මුදා ගැනීමට පුළුවන් වේවි.

ආදරයෙන් කරුණාවෙන් හා ඉවසීමෙන් ධනාත්මකව කතාබහ කිරීම තුළින් බොහෝ ගැටලු විසඳිය හැකිය. යෞවනයා මත්පැන් පානය කිරීම හා සම්බන්ධව ඔබගේ විරුද්ධත්වයක් නැතිනම් ඔහුට පහදා දිය යුතු කරුණු කිහිපයක්ම ඇත. ඒවා නම් මත්පැන් පානයට පෙර,

කොතරම් ප්‍රමාණයක් පානය කරන්නේද යන්න තීරණය කිරීම.

ඒ සඳහා වියදම් කිරීමට අපේ්ක්ෂිත මුදල කොපමණද නිගමනය කිරිම

වෙරි වනතුරු මත්පැන් පානය නොකර සිටීමට අධිෂ්ඨානයකින් යුතුවීම.

තමන්ගේ මත්පැන් වීදුරුවකට කලවම් කරන්නේ කුමක්ද යන්න ගැන දැනුවත් සහ සිහියෙන් සිටීම.

මත්පැන් පානය කරන අවස්ථා පිළිබඳව මෙන්ම තමන් ඒ සඳහා එක්වන කණ්ඩායම කවරේද යන්නත් පානය කරන මත්පැන් වර්ගය ගැනත් පූර්ව දැනුවත් භාවයකින් සිටීම

“නැහැ - බැහැ” යයි පැවසීමට ඉගෙන ගැනීම

තමන්ට සුදුසු ප්‍රමාණය ගත් පසු මත්පැන් පානය නතර කිරීම.

මත්පැන් පානය කළ පසු රණ්ඩු - සරුවල් , කල කෝලාහල වල පැටලවීට

ඉඩක් නොමැති බව දැන සිටීම

මත්පැන් පානය කළ පසු අනිවාර්යයෙන්ම වාහන පැදවීමෙන් වැළකී සිටීම.

මෙම ලිපියෙන් වැඩිපුරම කතාබහ කළේ යෞවනයකු මත්පැන් පානය කිරීම හා සම්බන්ධවය. එහෙත් වර්තමාන සමාජය තුළ මත්පැන් පානය කරන යෞවනියන් ද සිටින බව අප අමතක නොකළ යුත්තකි.