පිළිකාවට මඟ පාදන පත්තර පිටුවේ කෑම එතීම

පිළිකාවට මඟ පාදන පත්තර පිටුවේ කෑම එතීම

ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලක

අප කී දෙනෙකු මොනතරම් කලබලයකින් උදෑසනට බත් මුල් ඔතනවාද? කලබලය කොපමණදයත් බත් මුලේ ඇති දේ පවා සමහරවිට අපට අමතකය. නමුත් වැදගත්ම දේ එය නොවේ. අප බත් ඔතන කොළයයි. බත් ඔතන කොළය පිළිබඳ බොහෝ දෙනෙකුට ඇති වැටහීම අඩුය. නමුත් අප ඒ පිළිබඳ දැනුවත් වීම නම් අත්‍යවශ්‍යය. ඒ, අප බත් ඔතන කොළය නැතිනම් විවිධ ආහාර ඔතාගෙන යන පත්තර කොළය නිහඬ මාරයකු සේ ක්‍රියා කරන බැවිනි. මස් කඩයට, මාළු කඩයට ගියත් අපට මස්, මාළු පත්තර කොළයක ඔතා ෂොපින් බෑගයට දමා දෙයි. අතීතයේ දී නම් මස් මාළු ඔතන්නට හබරල කොළ ඕනෑ තරම් තිබුණි. නමුත් දැන් එසේ නැති බැවින් ඒ සඳහා විකල්පය වී ඇත්තේ පත්තර පිටුය.

එසේ නම් පත්තර පිටුවේ මස් මාළු නැතිනම් වෙනත් ආහාර එතීමේ වැරැද්ද හෝ බැරෑරුම්කම අප දැනගැනීම වැදගත්ය.

මුද්‍රණ තීන්තවල ඇති ඊයම්

පත්තර පිටුවේ ඇති මුද්‍රණ තීන්තවල, ඊයම් වැනි බැර ලෝහ අඩංගුය. ඒවා කෙලින්ම ආහාරවලට මුසුවිමේ හැකියාවක් සහිතය. විශේෂයෙන්ම කළු සුදු පත්තර පිටුවලටත් වඩා මේ අවදානම වැඩියෙන්ම ඇත්තේ වර්ණ තීන්තවලය. වර්ණ තීන්තවල ඇති බැර ලෝහ මඟින් සිරුරට විය හැකි විස වීමේ හැකියාව ඉහළය.

අප බොහෝදෙනෙකු කරන තවත් වැරැද්දක් තිබේ. ඒ නිවසේදී බදින විවිධ බැදුම් තෙල් පෙරෙන්නට පත්තර පිටුවකට අතහැරීමයි. නමුත් මෙය අතිශයින් හානිකර තත්ත්වයකි. ඒ, ආහාරවල ඇති තෙල් මඟින් ඉතාම පහසුවෙන් මුද්‍රණ තීන්ත උරා ගන්නා බැවිනි. ඔබ ඒ බව මින් පෙර දැන සිටියාද? තවද පත්තර කොළවල බත් හෝ වෙනත් ආහාර වර්ග ඔතනවා වෙනුවට තීන්ත නොයෙදූ තනි පැහැති කොළවල එතීම මේ සඳහා ඇති එක් විකල්පයකි. තවද බ්‍රවුන් පේපර් මලු හෝ සුදු පැහැති මලුවල කෑම දැමීම ද තවත් විකල්පයකි.

මතුවිය හැකි සෞඛ්‍ය ගැටලු

ප්‍රධාන වශයෙන්ම මේවායේ ඇති මුද්‍රණ තීන්තවල පවතින බැරලෝහ පිළිකා කාරක ලෙස ක්‍රියාත්මක විමේ හැකියාවෙන් යුක්තය.

තවද ප්‍රතිචක්‍රීය කරන ලද කඩදාසි පෙට්ටිවල අඩංගු ර්‍ථඩබඩචතචබඥ වැනි හානිකර රසායන ද සිරුරට විස සහිත ලෙසින් ක්‍රියාකළ හැකි බව හඳුනාගෙන තිබේ. ජීර්ණය හා සම්බන්ධ ගැටලුවලට මෙය හේතුවක් වන අතර එමඟින් දැඩි විෂවීම්වලට මඟ පෑදිය හැකි බවද හඳුනාගෙන ඇත.

මහලු පුද්ගලයින්, නව යෞවනයන් දරුවන් මෙන්ම දුර්වල හෝ ආබාධ සහිත ඉන්ද්‍රියයන් සහිත හා දුර්වල ප්‍රතිශක්ති පද්ධතියක් සහිත අය විශේෂයෙන් විවිධ පිළිකා රෝග හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලුවලට මෙමඟින් පහසුවෙන් ගොදුරු විය හැකි බවද හඳුනාගෙන ඇත. එසේම ලෝකයේ බොහෝ රටවල් දැනටමත් මේ අහිතකර පුරුද්දෙන් ඉවත් වී ඇත. සමස්ත දේහ පද්ධතියටම හානි කරන, විශේෂයෙන් පිළිකා සඳහා මඟ පාදන මේ අහිතකර පුරුද්දෙන් හැකිතාක් ඉක්මනින් ඉවත් වීම දැන් ඔබේ වගකීමයි.