පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමෙන් අක්මාවට හානි වෙනවා

පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමෙන් අක්මාවට හානි වෙනවා

ඖෂධ පරිවෘත්තියේ ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ අක්මාවටය. අප ගන්නා සියලුම මේදයේ දිය වන ඖෂධ අක්මාවේදී කැඩීමට ලක් වී ජලයේ දියවන සංඝටක බවට පත් වේ. අනතුරුව ඒවා මුත්‍රා මාර්ගයෙන් ද, පිත සමඟින් බඩවැල්වලට ගොස් අසූචි මාර්ගයෙන් ද පිට වේ. මෙය අක්මාවේදී සිදු කෙරෙන සාමාන්‍ය ක්‍රියාවකි. අප ගන්නා ඖෂධ ප්‍රමාණය වැඩි විටදීද අපගේ අක්මාවට හානි සිදුවීම වැළැක්විය නොහැක. සමහර ඖෂධ වර්ග අක්මාවට හානිකර අතර ඇතැම් ඖෂධ වැඩි මාත්‍රාවක් ගැනීමෙන් පමණක් අක්මාවට හානිකර බලපෑම් ඇති විය හැකිය. මේ ආකාරයෙන් අක්මාවට සිදුවන හානිය වළක්වා ගැනීමට නම් ඖෂධ ගැනීමේදී වෛද්‍යවරයා නිර්දේශ කරන ආකාරයටම ඒවා පිළිපැදිය යුතු වේ. අක්මාවට හානිකර තත්ත්වයන් උදාවී ඇති බව සනාථ කරන සාධකයක් වනුයේ අක්මාවෙන් නිකුත් කෙරෙන SGOT / SGPT එන්සයිම ප්‍රමාණය වැඩි වීමයි. අක්මාවේ හානිය තවදුරටත් සනාථ කරගැනීමට එන්සයිම පරීක්ෂාව සිදු කෙරේ.

අක්මාවට හානි සිදු වීමට බලපාන විවිධ හේතුන් අතර හෙපටයිටිස් වර්ග, අක්මාවේ තෙල් තැන්පත් වීම, මද්‍යසාරය ආදිය ප්‍රධාන තැනක් ගනී. මේ සාධකවලට අමතරව ඇතැම් ඖෂධ වර්ග ගැනීමත්, ඖෂධ වැඩි මාත්‍රවෙන් ගැනීමත් අක්මාව හානි වීමට බලපාන සාධකය යි. අක්මාවට හානිදායක වන ඖෂධ අතරට රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කිරීමට ලබාදෙන්නා වූ Statin වර්ගයේ සියලුම ඖෂධ අයත් වේ. කොලෙස්ටරෝල් අවම කිරීම සඳහා ලබාදෙන්නා වූ ඕනෑම ඖෂධයක් නිසා මේ තත්ත්වය උදාවීමට ඉඩ ඇත.

ඇතැම් ඖෂධ අධිමාත්‍රාවෙන් ගැනීම අක්මාවට හානිකර තත්ත්වයක් උදාවන බව අපි මීට පෙර පැවසුවෙමු. අධි මාත්‍රාවක් ගැනීමේදී සෘජු ලෙසම අක්මාවට බලපෑම්ි කරන ඖෂධ අතර ප්‍රධාන තැනක් ගන්නේ පැරසිටමෝල්ය. නමුත් පැරසිටමෝල් නිසි මාත්‍රාව වෛද්‍ය නිර්දේශ මත ලබාගන්නේ නම් කිසිදු බලපෑමක් අක්මාවට සිදු නොවේ. නමුත් ගැටලුව වන්නේ පැරසිටමෝල් අධිමාත්‍රාව ගත් විට අක්මාවට තදබල හානි සිදු වීම වැළැක්විය නොහැකි වීමයි. පැරසිටමෝල් ලබාගත් විට ඒවා අක්මාවේදී කැඩීමට ලක් වේ. කැඩීමට ලක් වීමේදී විෂ ද්‍රව්‍යයක් නිපද වේ.

එම විෂ ද්‍රව්‍ය නික්ෂේපනය කිරීමට වෙනත් රසායන ද්‍රව්‍යයක් අක්මාවෙන් නිපදවන අතර එම රසායනිකය විසින් විෂ ද්‍රව්‍ය අක්‍රිය කරයි. නමුත් පැරසිටමෝල් අධිමාත්‍රාවක් ගත් කල ඒවායේ විෂ නික්ෂේජනය කිරීමට ප්‍රමාණවත් තරම් විෂ නාශක අක්මාවේ නොමැති නිසා පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමෙන් ඇතිවන විෂ ද්‍රව්‍ය අක්මාවේ තැන්පත් වේ. එවිට අක්මාවට හානි සිදු වේ. මෙම විෂ නික්ෂේපනය කිරීමේ හැකියාව, මද්‍යසාර නිසා හානි වූ අක්මාවට ඇත්තේ ඉතා අල්ප වශයෙනි. එම නිසා මද්‍යසාර වැඩිපුර ගන්නා අය පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමෙන් වැළකිය යුතුමය.

අක්මාවට හානි සිදු කරන ඖෂධ වර්ග

1. පැරසිටමෝල් අධිමාත්‍රාව

2 විටමින් ඒ අධිමාත්‍රාව ගැනීම (විටමින් ඒ තැන්පත් කරන්නේ අක්මාවෙහිය.)

3. ක්ෂය රෝගයට ලබාදෙන ඖෂධ

4 .කොලෙස්ටරෝල් අවම කිරීමට ලබාදෙන ඖෂධ

5. දිලීර මර්දනයට ලබාදෙන ඖෂධ (ඇතැම් විට නියපොතු ආශි‍්‍රතව සහ සිරුරේ, පුස් වර්ග ලෙස දිලීර රෝග ඇති වූ විට දිලීර මර්දනයට ලබාදෙන ඖෂධ

පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීම නිසා අක්මාවට හානි වන අවස්ථා නිතර දක්නට ලැබේ. ඩෙංගු වෛරසය නිසාද අක්මාවට හානි සිදු වේ. ඩෙංගු රෝගයේදී ඇති වන තද උණ පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබාදීමෙන් පමණක් සාමාන්‍ය අගය දක්වා අඩු කරගැනීමට නොහැකිය. උදාහරණ 103 ඛ්0 පවතින උණ 100 ඛ්0 පමණක් අඩු කරගත හැකිය. උණ අඩු කරගැනීමට රෝගීහු පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමට පෙළඹෙති. එය ඉතා භයානක තත්ත්වයකි. පැරසිටමෝල් අධිමාත්‍රාව නිසා අක්මාවට වන හානිය, ඩෙංගු රෝගය නිසා අක්මාවට වන හානිය හා එකතු වූ විට තත්ත්වය ඉතා භායනක වේ. සමහර විට පැරසිටමෝල් අධිමාත්‍රාවක් ගැනීම නොදැනුවත්කම නිසා සිදුවේ. සමහර පවුලේ වෛද්‍යවරුන් උණ රෝගය සඳහා දෙන බෙහෙත් කවරවල ඖෂධයේ නම සඳහන් කරන්නේ නැත. බොහෝ විට උණ සඳහා දෙන ඖෂධ අතර පැරසිටමෝල් පෙති විවිධ වර්ණ හා හැඩයෙන් යුක්තව පවතී. මෙහිදී සිදු වන්නේ රෝගියාට වෛද්‍යවරයා ලබාදී ඇත්තේ පැරසිටමෝල් බව නොදැන සුප්‍රසිද්ධ වෙළෙඳනම් වලින් යුත් පැරසිටමෝල්, උණ අඩු කරගැනීම සඳහා තමා විසින් ලබාගැනීමයි. එබැවින් රෝගීන් තමාට ලබාදෙන ඖෂධ කවරවල ඇත්තේ කුමන ඖෂධදැයි වෛද්‍යවරයාගෙන් විමසීම අතිශයින් වැදගත්ය.