කෘත්‍රිමව නිපදවිය නොහැකි වටිනාම කිරි

කෘත්‍රිමව නිපදවිය නොහැකි වටිනාම කිරි

වාට්ටුභාර හෙදි සොයුරිය (1 ශ්‍රේණිය)

ශික්ෂණ රෝහල -මහනුවර, මනෝවිද්‍යා හා උපදේශන පාඨමාලාභී හා කළමනාකරණ හා සංවර්ධන ඩිප්ලෝමාධාරිණී, විශ්වවිද්‍යාලය-පේරාදෙණිය

ප්‍රියංගිකා අඹගස්පිටිය

අද අපි කතා කරමු අලුත උපන් බිළිඳාගේ පෝෂණය පිළිබඳව. නවජ සූති බිළිඳාගේ එකම පෝෂණ ක්‍රමය වන්නේ මව්කිරිය.

දස මසක් කුස දරා තම දරුවා පෝෂණය කළ මව, බිලිඳා උපන් පසුද තම ලේ කිරට හරවා දී පෝෂණය කිරීම නම් සොබාදහමේ අපුරුතම සංසිද්ධියකි.

සියලු රස වර්ග නූතන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කෘත්‍රිමව නිපදවීමට නූතන මිනිසා පොහොසත් වූ නමුත්, මව්කිරි හා මී පැණි කෘත්‍රිමව නිපදවීමට තවමත් අපොහොසත්ය. මේ දෙකම ස්වභාවධර්මයේ අති විශිෂ්ට නිපැයුම්ය.

එය මවක් තම දරුවා කෙරෙහි ඇති බැඳීමත් සෙනෙහසත්, ඇල්මත් ලැදියාවත් මත නිරායාසයෙන් සිදුවන්නකි.

තම බිලිඳා කුස තුළ සිටියදීම මේ සඳහා අඩිතාලම දමන මව තමාට අවැසි පෝෂණය පවා ලබා නොගෙනම, එනම් මව ආහාර පාන නොගෙන හිටියත් ඇඟේ තැන්පත්ව ඇති පෝෂණීය කොටස් (සංචිත) මඟින් හෝ මෙම අනගි නිමැවුම නිපදවා තම දරුවාට ලබාදෙනු ලබයි.

“බබා හිනා වෙනකොට අම්මගේ කොණ්ඩේ යනවා” කියා ගැමි ව්‍යවහාරයේ පවතින මතය ඊට කදිම නිදසුනකි. දරුවා සිනාසීම මවගේ කොණ්ඩය යෑමට හේතුවක් නොවුණ ද මව නිසි පෝෂණයක් නොලබා, දරුවාට මව්කිරි ලබාදෙන විට මවගේ සිරුරේ තැන්පත්ව ඇති විටමින්, ඛනිජ ලවණ හා ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් මේද ආදී පෝෂණීය කොටස් මව්කිරි නිපදවීමට භාවිතා වේ. එහිදී මවට එම පෝෂණ කොටස්වල ඌනතාවයක් (හිඟයක්) ඇති වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මවගේ හිස කෙස් ගැලවී යාම සිදු වේ. පැරැන්නන් මෙය හඳුනාගන්නේ ඉහත දැක්වූ පරිදිය.

ළදරුවෙකුට උපන් විගස, හැකි ඉක්මනින්ම මව්කිරි ලබා දීම, එනම් උපදින සියලුම ළදරුවන් හට ඉපදි පළමු පැය තුළ මව්කිරි ලබා දීම වර්තමානයේ නිර්දේශිත තත්ත්වයයි. මෙය සාමාන්‍ය ප්‍රසවයත් සිදු කළ දරුවාට මෙන්ම සිසේරියන් ශල්‍ය කර්මයක් මඟින් බිහිකළ දරුවාට ද හිමිවන වරප්‍රසාදයකි. ශල්‍යාගාරයේදීම මවගේ උදරයට මැහුම් යොදා එම වැඩ කටයුතු අවසන් වනතුරු දරුවාට අවශ්‍ය මව්කිරි වේල ලබා දීම අපේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය නොපිරිහෙලා ඉටු කරන වගකීමක් බවට පත්වී ඇත.

තම දරුවා කෙරෙහි ඇති ඇල්මෙන් බැඳීමෙන් එරෙන කිරි දරුවාට නොදී, වෙනත් පිටි කිරි වර්ග, දියර වර්ග පෙවීම කිසිසේත් නොකළ යුතු අතර, ඒ සඳහා වෛද්‍ය අනුමැතියක් ද නොමැත. එලෙස වෙනත් කිරි පිටිවර්ග ලබාදිම, දරුවාග් කායික වර්ධනයට මානසික වර්ධනයට, පෞරුෂ වර්ධනයට ඍජුවම බලපායි. තවද රෝග තත්ත්ව, මල බද්ධය, පාචනය, වමනය, දිරවීමේ අපහසුතා ඇති කිරීමට ද බෙහෙවින්ම ඉඩකඩ ඇති බැවින් මව්වරුන් තම දරුවාට මව්කිරි පමණක් ලබා දීමට වගබලා ගැනීම ඉතාමත්ම වැදගත්ය. කාලෝචිතය.

නොවැළැක්විය හැකි අවස්ථාවක වුවද එනම්, මව අසාධ්‍ය රෝග තත්ත්වයකින් පෙළීම, මව මිය යාම, දරුවාට මව්කිරි අසාත්මික වීම (මෙය ඉතා කලාතුරකින් දරුවෙකුට ඇතිවිය හැකි තත්ත්වයකි.) වැනි අවස්ථාවකදි එවැනි ආදේශක කිරි පිටි වර්ග භාවිතා කළ යුත්තේ ඒ සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත පමණි.

ළදරුවා ඉපදි පළමු පැය තුළදි පළමු මව්කිරි වේල ලබාදීම තුළින් දරුවා මවගේ තන පුඩුවට හුරු වීම ප්‍රමාදයකින් තොරව සිදු වේ. මවගේ තන පුඩුව දරුවාගේ මුවඟට කිට්ටු කරන විටම දරුවා කට ඇර එය මුව තුළට ගන්නේ සංසාරගත පුරුද්දෙන් මෙනි.

මෙසේ ලබා දෙන පළමු කිරෙහි ඇති කොලස්ට්‍රම් (Colostrum)  ලා කහ පැහැති උකු කිරි කොටස පිළිබඳව ද මව්වරුන් අතර ඇති දුර්මතයන් බොහෝය. සමහරු මෙය “කුණු කිරි යැයි දොවා ඉවත ලෑමට පුරුදු වි සිටී. නමුත් ළදරුවාගේ ප්‍රතිශක්තියට අත්‍යවශ්‍ය පෝෂණීය කොටස් එම කිරි කොටස තුළ අන්තර්ගත බව මව්වරුන් අවබෝධ කර ගැනීම වැදගත්ය. අපි ඉදිරියේදී තවත් ඒ ගැන සවිස්තරව කතා කරමු.

මව්කිරි ලබා දිම පිළිබඳව නම් අපේ මව්වරුන් තුළ ඇති බිය, නොදැනුවත්කම, දුර්මතයන් හා වැරදි අවබෝධයන් බොහෝය. අපි ඒවා එකින් එක නිවැරදි කර ගන්න උත්සාහ ගනිමු.

ලබන සතියේ

මව්කිරි දෙන්න ඕන කොයි වෙලාවටද?

කොයිතරම් වෙලාවක් කිරි දෙන්න ඕනද?

කිරිවේල් දෙකක් අතර විශාල පරතරය කොතරම් තිබිය යුතුද?

අපි ඉහත ගැටලුවලට උත්තර සොයමු.