තරුණ වියේ මානසික ආතතිය නිසා ඇතිවන තනිකම

තරුණ වියේ මානසික ආතතිය නිසා ඇතිවන තනිකම

ව්‍යවහාරික මනෝ විද්‍යාඥ ආචාර්ය

නිමල් ලියනගේ

පසුගිය සතියේදී අප අවධානය යොමු කළේ තනිවීම හා දරුවන් අතර පවතින සබඳතාව පිළිබඳවයි. නමුත් තනිවීම තනිකම මානසික රෝග තත්ත්වවල එක් වැදගත් මෙන්ම ප්‍රධාන ලක්ෂණයක් බවත් තරුණ මෙන්ම වැඩිහිටි අය අතරත් තනිවීම මුල් කරගත් රෝග අවස්ථා පවතින බවත් මෙවර ලිපිය මඟින් විමසා බලමු.

තරුණ මෙන්ම වැඩිහිටි අය තුළ ඇතිවන තනිකම

තරුණ වයස්වල පසුවන අය වගේම වැඩිහිටි අය තුළත් දැකගත හැකි විශේෂිත තත්ත්වයක් ලෙස තනිවීම පිළිබඳ හැඳින්විය හැකියි. භින්නෝන්මාදය රෝගය වැළඳුණු අය මුල් කාලයේදි එක්වරම හෝ ක්‍රම ක්‍රමයෙන් සමාජයෙන් කොන් වී තනිවීමට උත්සාහ ගනිති. එය අදාළ රෝගී තත්ත්වය ආශි‍්‍රත රෝග ලක්ෂණයක් වශයෙන් ද හඳුනාගත හැකියි.

මිට අමතරව සමාජයෙන් කොන්වන අය තුළ දක්නට ලැබෙන අනෙකුත් ප්‍රධාන ලක්ෂණ ලෙසට කථාව අඩපණ විම, තමාගේ පෞද්ගලික සෞඛ්‍යය ගැන ඇති අවධානය අඩු වීම ආදිය පිළිබඳ හඳුන්වා දිය හැකියි. තවද මොවුන් කාමරයකට පමණක් සීමා වූ ජීවිතයක් ගත කරනු ලැබේ. සමාජ ක්‍රියාකාරකම්වලින් රැකියාවලින් දුරස් වේ. අන් අය සමඟ මිශ්‍ර වීමට කැමැත්තක් නොදක්වයි. තවද මොවුන් මෙසේ තනිවීම තුළින් ඔවුන්ගේ මානසික ක්‍රියාකාරීත්වය ද අඩපණ කරගනු ලැබේ. සිතේ සතුට මෙන්ම උද්දීපනය ද අහිමි වී යනු ලැබේ. මෙවන් තත්ත්වයක් මත ඇතිවන විශේෂිත වූ මානසික තත්ත්වයන් හේතුවෙන් දිවි නසා ගැනීම්වලට පවා පෙළඹිය හැකියි.

තනිවීම විශාදයේත් ලක්ෂණයක්

සිතෙහි ඇතිවන විවිධාකාරවූ අස්වාභාවික කළකිරුණු මෙන්ම අසුබවාදී සිතුවිලි හේතු කරගෙන තනිකම ඇතිවන තවත් විවිධ ස්වරූප කිහිපයකි. එසේ නිරන්තරයෙන් පැමිණෙන අසුබවාදී කරදරකාරී මෙන්ම පීඩාකාරී සිතුවිලි මුල් කර ගනිමින් තවත් රෝග ලක්ෂණ සමඟ වර්ධනය වන විශාදය (Depression)රෝග තත්ත්වයද ප්‍රධාන තැනක් හිමිකර ගනු ලැබේ.

මෙවැනි මානසිකත්වයක් සහිත පුද්ගලයන් ද සමාජයෙන් වෙන් වී ජිවත් වීමට උත්සාහ ගනු ලැබේ. එවැනි අය වැඩි කථා බහක් නොපෙන්වයි. අසන ප්‍රශ්නවලට ලබාදෙන පිළිතුරු ඉතා සීමා සහිතයි. සමාජයට නොපැමිණේ. කාමර තුළට වී හෝ අයින්වලට වී සිටිනු ලැබේ. තමාගේම ලෝකයක ජිවත් වීමට උත්සාහ ගනිති. එකම දේ දිගින් දිගටම සිතීම, තමාටම දොස් පවරා ගැනීම වැනි විවිධ අස්වාභාවික තත්ත්වයන් නිසා අවසානයේදී සියදිවි නසා ගැනීමට පවා පෙළඹේ. කිසිම අයෙකුට සවන් නොදෙන හා ඔවුන් පවසන කිසිවක් කිසිවෙකුත් නොඅසන තත්ත්වය නිසා මෙලෙස තනිවීම ඔවුන් තුළ දක්නට ලැබේ. මේ හා සම්බන්ධිත රෝග ලක්ෂණ රාශියක් විශාදය ආශි‍්‍රතව දැකගත හැකි නමුත් මේ ආකාරයෙන් තනිවී සිටීමට උත්සාහ ගැනිම මුලිකවම දක්නට ලැබෙන රෝග ලක්ෂණයයි.

මානසික ආතතිය නිසා ඇතිවන තනිකම

ඇතැම් මානසික ආතතිමය තත්ත්වයන් හේතු කොට ගෙනද ඇතැම් අය තනිවීමට උත්සාහ කරනු ලැබේ. තමන්ට දරා ගැනීමට නොහැකි ජීවන ගැටලු, අභියෝග, ක්‍රියාවන්, ඉබේ ඇතිවන ප්‍රශ්න, තමාට විසඳාගත නොහැකි ගැටලු, පාලනය කරගත නොහැකි චර්යාවන් හා ක්‍රියාවලි නිසා හටගන්නා මානසික ආතතිය ANXIETY/ STRESS) නිසා එයින් ගැලවීමට පිළියමක් ලෙසට යම් යම් දෙයින් ඈත් වී තනිවීමට පුද්ගලයන් උත්සාහ කරනු ලැබේ. මෙම තනිවීම ඉතා ප්‍රබල ලෙසට මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති කරනු ලැබේ.

ග්‍රස්ථිය ocd  නිසාත් තනිවීම

මානසික ආතතිය ආශි‍්‍රතව හට ගන්නා තවත් රෝග අවස්ථාවක් වන ග්‍රස්ථිය හෙවත්  OCD ආශි‍්‍රත රෝග ලක්ෂණයක් ලෙසත් තනිවීම පිළිබඳ හඳුනාගත හැකියි. මෙහිදී අදාළ රෝගියා විසින්ම සාදා ගන්නා නීති රීතින් SELF INDUCE RULES)  හේතුකොට ගෙන විවිධාකාර ක්‍රියාකාරීත්ව වලින් ඈත් වී තනි වී සිටීමට මෙම රෝගීන් ඉතා කැමතියි.

කායික රෝග සහ තනිවිම අතර පවතින සබඳතා

ඇතැම් කායික රෝග ඇති වූ අවස්ථාවන්වලදී මෙන්ම ඒවා සුව වූ පසුව ද ඇතිවන ආකල්පමය වෙනස්කම් නිසාද තනිවීමට උත්සාහ ගන්නා පුද්ගලයන් ද දැකගත හැකිය. උදාහරණක් ලෙස හෘද රෝගයක් ඇති වී ඉතා අමාරුවෙන් සුවය ලබාගත් අය තනිවීම හෝ තනි කිරීම කිසි විටෙකත් සිදු නොකළ යුතුය. එසේ සිදු වුවහොත් තමා විසින් අත් දකින ලද භයංකාර, වේදනාකාරී, ඉතා දුක් සහිත අතීතය යළිත් ඔවුන්ට ආවර්ජනය වනු ඇත. එය මානසික ආතතිය (STRESS) වර්ධනය වීමට හේතුවක් විය හැකියි. එය රෝගී තත්ත්වයක් දක්වා (PAST TRAUMATIC STRESS DISORDER - ptsd)  පත්විය හැකියි. මේ නිසාවෙන් කායික රෝගවලින් පෙළෙන අයට “තනිවීමට” ඉඩ නොදිය යුතුයි. ඔවුන් හැකි පමණ සමාජගත කිරීම තුළින් ඔවුන්ට නිරෝගී මානසික සෞඛ්‍යයක් ලබාදිය හැකියි.

විශේෂිත රෝගයක් නොතිබුණත් වැඩි මහලු අයත් නිවසේ තනිවේ.

මහලු වයසේ පසුවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නිවෙස් තුළ තනිවීමත් අද සමාජයේ දක්නට ලැබෙන ප්‍රධානතම ප්‍රශ්නයක්. එසේම තනිකම ඔවුන්ට මානසික වශයෙන් මෙන්ම කායික වශයෙන් ද එක සේ පීඩාකාරී තත්ත්වයන්ට හේතු විය හැකියි. ඔවුන් පිළිබඳ නිසි අවධානය යොමුකර ඉන් ඔවුන්ව ගලවා ගැනීමට කටයුතු කිරීම ද ඉතා වැදගත්.

ප්‍රතිකාර

මෙසේ සමාජයෙන් කොන් වී සාමාන්‍ය චර්යාවෙන් අසාමාන්‍ය හැසිරීමකට ලක් වූ අයකු හට තනිකමට අමතර සමහර රෝග ලක්ෂණ තිබෙන බව හඳුනාගතහොත් ඉක්මනින් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කරා යොමු කරවිය යුතුයි. එමඟින් රෝගී තත්ත්වය පාලනය කළ හැකියි.

යම්ලෙසකින් එසේ ප්‍රතිකාර ලබා ගන්නා අයෙකුට මනෝ විද්‍යාත්මක පුනරුත්ථාපනය ද අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් ඖෂධවලින් ලබා ගන්නා ප්‍රතිකාරවල ගුණය නිසි පරිදි ලබා ගැනීමට නොහැකි වනු ඇත.