අපි විහින්මයි ලෙඩ වෙන්නේ

අපි විහින්මයි ලෙඩ වෙන්නේ

කෙන්දක එල්ලී සෞඛ්‍යය රකිමු

“ෆයිබර්” නැතිනම් තන්තු හෙවත් කෙදි සහිත ආහාර විශේෂයෙන්ම දියවෙන සුළු කෙඳි සහිත ආහාර සෞඛ්‍යයට ආශිර්වාදයකි.

කොලෙස්ටරෝල් යහපත් කරයි

එල්.ඩී.එල් ලෙස හැඳින්වෙන නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හෘදයාබාධ වැළැක්වීමට කෙන්දට පුළුවන.

ආමාශගත රෝගවලින් සහනයක්

කෙඳි බහුල ආහාර වේලකට ඔබේ ආහාර මාර්ගය වඩා යහපත් කළ හැකිය. විශේෂයෙන්ම උද්දීපන ආන්ත්‍ර රෝගය (ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම්) තත්ත්වය වැළැක්වීමට සහ එය සුවපත් කිරීමට කෙඳි ආහාර සමත්ය.

අර්ශස් අසතුට

කෙඳි ආහාර ගත් විට සෑදෙන මල සැහැල්ලුය. ප්‍රමාණයෙන් වැඩිය, තෙතමනයෙන් යුක්තය. එමඟින් වැසිකිලියේ ගත කරන කාලය අඩු කර මලබද්ධය දුරුකර අර්ශස් ඇතිවීම ඈත් කිරීමට පුළුවන.

ආදරයට ඇති කරන සුරතල් සතාට ඔබ ලෙඩ කළ හැකියි

සුරතල් සතෙකු හදා වඩා ගැනීම ඔවුන්ට ආදරය කිරීම මානසික සුවයක්. එහෙත් ඔබගේ ප්‍රතිශක්තිය (රෝග වැළැක්වීමේ ශක්තිය) දුර්වල නම් හා ඔබ වියපත් අයෙකු, ගර්භණී මවක, රෝගයක් වැළඳී සුවපත් වන අයෙකු නම් මෙන්ම හා කුඩා ළමයෙකු නම් සුරතල් සතුන් නිසා ඇතිවන රෝග ආසාදනයකට ලක්විය හැකියි.

“රිෆ්ග්වර්ම්” ලෙස හැඳින්වෙන දිලීර රෝගය ආසාදිත බල්ලකු හෝ බළලෙකුගේ සම හරහා ද ලෙප්ටස්පයිරෝසියාව රෝගයට ආසාදිත බල්ලෙකු හෝ වෙනත් සතෙකුගේ හෝ මුත්‍රා හරහා පැතිරීම උදාහරණය. එසේම සත්ත්ව මල අත තැවරුණහොත් පාචනය ඇතුළු උදර රෝග ඇතිවිය හැකිය. ගිරවුන්, සැලලිහිණියන්, මයිනන්, ලේනුන් වැනි සතුන් හරහා ද නොයෙකුත් උණ රෝග ඇතුළු ආසාදන ඇතිවෙයි. ගර්භණී මව්වරු සහ කුඩා ළමයින් බළලුන් හා බැළල් පැටවුන් අතපත ගෑම ද බරපතළ ආසාදන ඇති කරයි. ඔවුන්ගේ අපිරිසිදු ද්‍රව්‍ය ඇදුමට මඟපාදයි.

මෙම තත්ත්ව වැළැක්වීමට ඔබට ගත හැකි පියවර මෙසේය.

  • සුරතල් සතුන් අතපත ගෑමෙන් සහ ඔවුන්ගේ කූඩු සෝදා හැරීමෙන් පසු සබන් දමා දෑත් සෝදා ගැනීම.
  • සතුන් මත සිටින මැක්කන් වැනි කෘමීන් ඉවත් කිරීම
  • සතුන්ට නිසිකලට පණු බෙහෙත් දීම
  • පූසන් වැනි සතුන්ගේ නිය කොටට කැපීම සහ ඇඳන් මතට උන් ගැනීමෙන් වැළකීම
  • සත්ත්ව මල මුත්‍රා දූෂිත තැන්වල පාවහන් නොපැළඳ නොඇවිදීම
  • ඔබගේ මුහුණ, මුව හෝ විවෘත තුවාලයක් ලෙව කෑමට සතුන්ට ඉඩ දීමෙන් වළකින්න. සතුන්ගේ මුහුණ සිඹීමෙන් වළකින්න.
  • සත්ත්ව වෛද්‍යවරයෙකු වෙත වරින් වර සුරතලා ගෙන යාම.

ශුක්‍ර තරලය සමඟ ලේ යෑම හෙවත් රක්ත ශුක්‍රතාව ලෙස හැඳින්වෙන්නේ පිරිමි ශුක්‍ර තරලයෙහි රුධිරය (ලේ) මිශ්‍රව තිබීමටය. මෙය පිරිමි අයෙකුට බිය හිතෙන තත්ත්වයක් වුවද හැමවිටම එසේ නොවේ. පිළිකාවක් වැනි දරුණු තත්ත්වය සිට කිසිදු හේතුවක් පෙනෙන්නට නැති අහිංසක තත්ත්වයක් තෙක් රක්ත ශුක්‍රතාවය ඇතිවීම සිදුවිය හැකිය.

තරුණ පිරිමින්ගේ මුත්‍රා ප්‍රජනක මාර්ගයෙහි ඇතිවන ආසාදන, ප්‍රදාහ මෙන්ම අවහිරතා නිසාද මෙය ඇතිවිය හැකිය. සුදු බිංදුම (ගොමෝරියාව) ලිංගික හර්පීස් ක්ලැමිඩියා වැනි ලිංගාශි‍්‍රත ආසාදන ද රක්ත ශුක්‍රතාවට හේතුවිය හැකිය.

වැඩිහිටි පිරිමින් පුරස්ථි ග්‍රන්ථි ජෛවේක්ෂා පරීක්ෂාව ලක්වූ පසු සති 3-4ක් යනතුරු ශුක්‍ර තරලයෙහි ලේ මිශ්‍රව තිබිය හැකිය.

පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම, මුත්‍රා ප්‍රජනක පද්ධතියේ (මුත්‍රාශය පුරස්ථි ග්‍රන්ථිය වෘෂණ කෝෂ) ආදියෙහි වර්ධනයක් නිසාද ලෙප්ටස්පයිරෝසියාව හෙවත් ශ්‍රකු මුත්‍රතාව ඇතිවිය හැකිය.

පාද ගැනත් සැලකිලිමත්වන්න

ඔබ දෑත්වලට දක්වන තරම් සැලකිල්ලක් පාදවලට දක්වන්නේ යැයි සිතිය නොහැකිය. එහෙයින් වැඩිහිටි හා වියපත් බොහෝ අයගේ පාදවල නොයෙකුත් ගැටලු දැකිය හැකිය.

පාද සෞඛ්‍යමත්ව රැකගැනීමට නම්,

සතියකට දෙතුන් වතාවක් පාද හා පා ඇඟිිලි පරික්ෂා කරන්න. ගල් තැලුම්, සීරීම්, තුවාල, ඉරිතැලීම් අත්නම් ඒවා සුවපත් කර ගැනීම සිදු කරගන්න.

පාද නිතර පිරිසිදුව හා වියළිව තබාගන්න

දෙපා වේදනා නොසලකා සිටීමෙන් වළකින්න.

ගැලපෙන සෙරෙප්පු, පාවහන් හා මේස් පළඳින්න.

ඒවා පිරිසිදු හා වියළි බව තහවුරු කරගන්න. මේස් එක් දිනකට වඩා නොපැළඳීමටත් හැකිනම් සපත්තු දවසක් හැර දවසක් වශයෙන් මාරු කර දැමීමටත් උත්සාහ ගන්න.

පා ඇඟිලි නියපොතු කොටට කපාගන්න.

පාදයේ තුවාලයක් ඇති වූ විට (විශේෂයෙන්ම දියවැඩියාව ඇත්නම්) නොපමාව ප්‍රතිකාර ගන්න.

රූපවාහිනියෙන් ලෙඩ ගොඩක්

අලස (කය නොවෙහෙසන) දිවි පෙවතක් ගෙවීම, අහිතකර ආහාර රටාව තරමටම රූපවාහිනිය දීර්ඝ වේලාවක් නැරඹීම ද රෝග ගෙන ඒමට සමත් බව ඇමෙරිකානු වෛද්‍ය සංගමය පළ කරයි.

පැය 2කට වැඩි කාලයක් එකදිගට රූපවාහිනිය නැරඹීම දියවැඩියාව ඇති කිරීමට පවත්නා අවස්ථාව 20%කින්ද, හෘද රෝග අවදානම 15%කින්ද සංකූල හේතු නිසා. මරණයට පත්වීමට පවත්නා ඉඩකඩ 13%කින්ද ඉහළ දමන බව ඔවුන්ගේ අදහසය.