සති දෙකකට වඩා කටහඩේ වෙනසක් ඇත්නම් ස්වර තන්ත්‍ර පරීක්ෂා කරගත යුතුයි

සති දෙකකට වඩා කටහඩේ වෙනසක් ඇත්නම් ස්වර තන්ත්‍ර පරීක්ෂා කරගත යුතුයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ

උගුර කන නාසය ඒකකයේ අංශ ප්‍රධානී

උගුර කන නාසය පිළිබඳ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

සංජීවනී රූපසිංහ

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය

සුසිත් සේනාරත්න

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය පිළිබඳ ඒකකයෙන් ඒ හා සම්බන්ධ සියලුම රෝග සඳහා ඉතා සාර්ථක අන්දමින් ප්‍රතිකාර සිදු කරනු ලැබේ. එම ප්‍රතිකාර බොහෝදුරට ඖෂධීයමය ප්‍රතිකාර හෝ ශල්‍ය වෛද්‍යමය ප්‍රතිකාර ලෙස කොටස් දෙකක් යටතට වෙන් කළ හැකියි.

නමුත් ප්‍රතිකාර මත පමණක් සුව නොවන ඇතැම් රෝග තත්ත්ව වලට ශල්‍යකර්ම හරහා පිළියම් යෙදීමට සිදුවන අතර තවත් සමහර අවස්ථාවලදී ඍජුවම ශල්‍යකර්ම කරා ද රෝගීන්ව යොමු කර වීම ද ඉතා විශේෂිතයි. ඒ වගේම මෙම අංශය හරහා ඉටුවන සේවාව උගුර, කන, නාසය යන ප්‍රධාන අංශ තුනක් මූලික කරගෙන පැහැදිලි කළ හැකි අතර මෙවර ලිපිය යටතේ විමසා බැලෙන්නේ උගුර ආශි‍්‍රතව ඇතිවන රෝග තත්ත්ව හා සම්බන්ධිත ප්‍රතිකාර පිළිබඳවයි.

Recurrent Tonsillitis

උගුර ආශි‍්‍රතව ශල්‍යකර්ම සිදු කෙරෙන රෝගී තත්ත්වයක් වශයෙන් මේ පිළිබඳව මූලිකව හඳුන්වාදිය හැකිය. මෙහිදී සිදුවන්නේ උගුරේ පිහිටා ඇති ටොන්සිල් ග්‍රන්ථිය වරින් වර ආසාදනයට ලක් වීමයි. මෙම රෝගී තත්ත්ව විශේෂයෙන්ම කුඩා දරුවන් අතර ඇතිවන අතර උණ ඇතිවීම, ගිලිමේ අපහසුතා ආදී රෝග ලක්ෂණ දැකගත හැකි වනවා මෙන්ම ඊට ප්‍රතිජීවක ඖෂධ ද ලබාදිය යුතු වේ. වසරක කාලසීමාවක් සලසා බැලුවහොත් ඉහත සඳහන් උණ ඇතිවීම, ගිලීමේ අපහසුතා ඇතිවීම ආදී රෝග ලක්ෂණ හත් වරකට (7ක්) වඩා ඇති වී ටොන්සිල් ග්‍රන්ථිය ආසාදනය වෙනවා නම් එවැනි තත්ත්වයකදී ශල්‍යකර්මයක් මඟින් එම ග්‍රන්ථිය ඉවත් කර වීමට සිදු වේ. මෙවැනි තත්ත්වයකදී දරුවකුගේ පාසල් ගමන අඩපණ වී අධ්‍යාපනය අඩාල වීම වැනි ගැටලු දිගින් දිගටම ඇතිවන නිසා ටොන්සිල් ග්‍රන්ථිය ඉදිමීමේ රෝග තත්ත්වය වසරකට වාර 7කට වඩා ඇති වනවා නම් එය ඉවත් කිරීම වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය බව වෛද්‍යවරුන් විසින් තීරණය කරනු ලැබේ.

Adenoid  ග්‍රන්ථියෙන් සිදුවන අවහිරතාව

Adenoid  ග්‍රන්ථියෙන් සිදුවන අවහිරතාව ද ඉහත රෝගී තත්ත්වය මෙන්ම කුඩා දරුවන්ට ගැටලු ඇති කරනු ලැබේ. ඇඩ්නොයිඩ් ග්‍රන්ථිය ලෙසින් හඳුන්වන්නේ නාසය පිටුපස තිබෙන මස් දල්ලක් වැනි කොටසකි. මෙම මස් දල්ල කුඩා දරුවන්ගේ තරමක් විශාලව පිහිටන අතර ඔවුන් වයසින් මුහුකුරා යනවිට එම මස් දල්ල සාමාන්‍යයෙන් හැකිලීමට ලක් වේ. දරුවකුගේ වයස අවුරුදු 12,14ක් පමණවන විට මෙම ඇඩිනොයිඩ් මස් දල්ල හැකිලී යන අතර හුස්ම ගැනීම ඉතාමත් පහසු කරවයි. නමුත් ඇතැම් අයට එය එසේ සාමාන්‍ය තත්ත්වයකට පත් විමක් සිදු නොවන අතර එම මස් දල්ල නිසා නාසය සම්පූර්ණයෙන්ම අවහිර වේ. එවිට හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇති වේ. මෙසේ නාසය අවහිර වීම නිසා එවැනි ගැටලුවක් තිබෙන දරුවකු හුස්ම ගැනීම සිදු කරන්නේ මුඛයෙනි. මෙසේ මුඛය මාර්ගයෙන් හුස්ම ගැනිම නිසාද ගැටලු ඇතිවන අතර ඒ හේතුවෙන් උගුර වියළි උගුර ආශි‍්‍රත ගැටලු ඇති කරවනු ලැබේ. මීට අමතරව හුස්ම ගැනීමේ අපහසුතාවන් සමඟ නාසය අවහිර වූ විට එසේ අනවශ්‍ය ලෙස වර්ධනය වන හිස්කබල සහ මුහුණේ පේශි, අස්ථිවල වෙනස්කම් ඇතිවනු ලැබේ. මෙවැනි අවස්ථාවකදී වෛද්‍යවරයෙකුට අදාළ රෝගී තත්ත්වය දරුවකු දුටු පමණින් හඳුනාගත හැකියි.

Sleep Apnea 

නින්දෙන් ගෙරවීම හා නින්දේදී හුස්ම ගැනීම අවහිර වීම Obstructive Sleep Apne  ලෙසින් හැඳින්වේ. මෙම අවස්ථාවේදී ඇඩ්නොයිඩ් ග්‍රන්ථිය ශල්‍යකර්මයක් මඟින් ඉවත් කළ යුතුයි. ඒ වගේම මෙම තත්ත්වය වැඩිහිටියන් අතර ද දැකගත හැකි නින්දෙන් ගෙරවීම හා සම්බන්ධිත රෝග තත්ත්වයකි. බොහෝවිට නින්දෙන් ගෙරවීම ඉතා සාමාන්‍ය තත්ත්වයක් වුවත් රෝගී තත්ත්වයක් වශයෙන් විමසා බැලීමේදී එවැනි අය වැඩිපුර ගොරවන ස්වභාවයක් මෙහිදී දැකගත හැකියි.

එවැනි විටෙක සාමාන්‍ය ගෙරවිම (Simple snoring)   හා OSA  තත්ත්වය අතර වෙනස පැහැදිලිව හඳුනාගත යුතුයි. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවල OSA  තත්ත්වයට ශල්‍යකර්ම මඟින් පිළියම් යෙදීමට සිදුවන අතර ඇතැම්විට ඖෂධමය ප්‍රතිකාර හරහා ද රෝගයට පිළියම් යෙදිය හැකි වේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ එවැනි ශල්‍යකර්ම ඉතා සාර්ථකව මෙම අංශය හරහා සිදු කරනු ලැබේ.

ස්වරාලය හා ස්වර තන්ත්‍ර ආශි‍්‍රත රෝගී තත්ත්ව

ඕනෑම අයෙකුගේ කටහඬ සති 2කට වඩා වෙනස් වී තිබෙනවා නම් එවැනි අවස්ථාවක ස්වර තන්ත්‍ර පරික්ෂා කර ගත යුතුයි. එසේ සති දෙකකට වඩා තිබෙන කටහඬ වෙනසක් සඳහා බොහෝ හේතූන් බලපෑ හැකි අතර ස්වර තන්ත්‍රවල ආසාදන, ගැටිති, මස්දළු වගේම ඇතැම්විට පිළිකාමය තත්ත්වයක් නිසාද මෙසේ සිදුවිය හැකියි. සාමාන්‍යයෙන් ආසාදන තත්ත්වයක් සති 2කදී සුවපත් වන අතර සති 2ක් ඉක්මවා කල් පවතින ලෙසින් කටහඬේ ඇතිවන යම් වෙනසක් වේ නම් ඒ පිළිබඳ හොඳ අවධානයකින් කටයුතු කළ යුතුයි. මෙවැනි ගැටලු සඳහා ද බලපාන ගැටිති, මස් දළු වැනි ශල්‍ය වෛද්‍යමය ගැටලු සඳහා ද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය ඒකකය හරහා ප්‍රතිකාර සිදු කෙරෙයි.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රත ශල්‍යකර්ම නිසා සිදුවන කටහඬේ වෙනස්වීම්

විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ ශල්‍යකර්මවලදී ඇතිවන සංකූලතාවක් වශයෙන් ඇතිවන කටහඬේ වෙනස සහ හුස්ම ගැනීමේ අපහසුතා සඳහා ද මෙම අංශය යටතේ අදාළ පිළියම් යොදනු ලැබේ. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රත ශල්‍යකර්ම නිසා ඇතිවන එක් සංකූලතාවක් වන්නේ ස්වර තන්ත්‍රවල ස්නායුවලට වන හානියයි. මෙහිදී ස්වර තන්ත්‍ර අකර්මණ්‍ය වේ. එවිට කටහඬ නැති වී යාම හා හුස්ම ගැනීමේ මාර්ගය වැසී යාම මෙන්ම බෙල්ල හරහා ඇතුල් කරන බටයක් හරහා හුස්ම ගැනීමට පවා සිදුවිය හැකියි. එතැනදී ස්වර තන්ත්‍රවල ශල්‍යකර්ම මඟින් හුස්ම ගැනීමේ මාර්ගය සැකසීම, කටහඬ නැව යථා තත්ත්වයට පත් කිරීම හා බෙල්ලට යෙදා තිබෙන බටය ඉවත් කිරිම වැනි ශල්‍යකර්ම ඉතා සාර්ථකව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය අංශය යටතේ ඉතා සාර්ථකව සිදු කරනු ලැබේ.