ඩෙංගුත් එක්ක කරළියට එන මොනවද මේ ප්ලේට්ලට්?

ඩෙංගුත් එක්ක කරළියට එන මොනවද මේ ප්ලේට්ලට්?

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

තිලක් ජයලත්

ඩෙංගු රෝගය මේ දිනවල පැතිර යාම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය පමණක් නොව ප්‍රජා සංවිධාන පවා එක් වී ඩෙංගු මර්දනයට කටයුතු සිදු කෙරෙමින් පවතින බව සැබෑවක්. ඩෙංගු කී නම ඇසුණු පමණින් බොහෝදෙනා අද සලිත වන්නේ ඇතැම්විට ඩෙංගු මාරාන්තික විය හැකි බැවිණි. ඩෙංගු මාරාන්තික වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ශරිරයේ තිබෙන රුධිර ප්ලාස්මා තරලය රුධිර නාලවලින් පිටතට කාන්දු වීම නිසා ඇතිවන සංකූලතාවයයි. එසේම රුධිරයේ තිබෙන රුධිර පට්ටිකා අවම වීම ප්‍රධාන තැනක් උසුලනවා. රුධිර පට්ටිකා අවම වීමෙන් රුධිරය කැටි ගැසීම වළක්වන බැවින් බාහිර සහ අභ්‍යන්තර රුධිර ගලනයක් සිදු වීම වැළැක්විය නොහැක. ඩෙංගු රෝගයට පමණක් නොව වෙනත් රෝග සඳහා ද රුධිර පට්ටිකා මුල් තැනක් ගන්නා බව පවසන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිලක් ජයලත් මහතායි.

ප්ලේට්ලට් යනු කුමක්ද? ඒවා අඩු වැඩි වීම නිසා ඇතිවන රෝග මොනවාද ප්ලේට්ලට්වල වැදගත්කම කුමක්ද යන්න එතුමාගෙන් අසා දැන ගනිමු.

රුධිර පට්ටිකා (Platelets)

සිරුරේ සුදු රුධිරාණු, රතු රුධිරාණු, පට්ටිකා වශයෙන් සෛල වර්ග තුනක් රුධිරයේ අන්තර්ගත වී තිබෙනවා. රුධිර පට්ටිකා නිපදවන්නේ ඇට මිදුළු වලින් එසේම රුධිර පට්ටිකා පාලනය කෙරෙන්නේ Thrombopoietin නැමැති හෝර්මෝනය මඟිනි.

රුධිර පට්ටිකාවක් ලෙස හැඳින්වෙන්නේ රතු රුධිරාණුවක ප්‍රමාණයෙන් 20න් 1කි. ඇට මිදුළු වලින් විශාල රතු රුධිරාණු සෛලයක් නිපද වූ විට එය බිඳී පට්ටිකා 5000 - 10000ක් පමණ ප්‍රමාණයක් නිපද වේ. රුධිරය තුළ පට්ටිකා සාමාන්‍යයෙන් දින 05 දින 10ක් පමණ කාලයක් පුරා රුධිරයේ සංසරණය වේ. පසුව (Spleen)  ප්ලීහාවේදී සහ අක්මාවේදි ඒවා විනාශ වී යනු ඇත.

සිරුරේ ඇට මිදුළුවල දිනපතා සෑම තත්පරයකදිම පට්ටිකා නිෂ්පාදනය වේ.

පට්ටිකා අපේ සිරුරේ වැදගත්ම කාර්ය භාරයක් ඉටු කරයි. මූලිකවම ගත්කල යම්කිසි අනතුරකදී රුධිර වහනය සිදුවීමේදී තවදුරටත් රුධිර වහනය වළක්වා ගැනීමට මූලිකවම ක්‍රියාකරන්නේ රුධිර පට්ටිකාය. යම්කිසි පුද්ගලයෙකුට කැපීමක්, සීරීමක්, තුවාලයක් සම මතුපිටින් හෝ සිරුර අභ්‍යන්තරයෙන් සිදු වුවහොත් රුධිර නාලවල ට හානි සිදුවීම වැළැක්විය නොහැකියි. එවැනි අවස්ථාවලදී අධික ලෙස රුධිර ගලනය සිදුවේ.

මේ මොහොතේ රුධිර පට්ටිකා ක්ෂණිකව ක්‍රියාත්මක වී රුධිර ගලනය නවතා දමයි. එසේ සිදුවන්නේ පට්ටිකා මඟින්. රුධිර වහනය වන ස්ථානයේ ලේ කැටිත්තක් නිපදවීමමෙනි. මේ ලේ කැටිත්ත හඳුන්වන්නේ (Blood clot)  ලෙසිනි. මෙය ක්ෂණික ලේ කැටි ගැසීමක් වේ. එම පට්ටිකාව මඟින් තවදුරටත් රුධිර වහනය වළක්වා ගැනීමේ වැදගත් වූ කාර්යයකට උරදීම සිදු කරයි.

අනතුරකදි රුධිරය වහනය විම නොනවත්වා දිගටම සිදුවුවහොත් අධික රුධිර වහනය හේතුවෙන් රෝගියා මිය යෑමට පවා ඉඩ ඇත. අනපේක්ෂිත රුධිර වහනය වැළැක්වීමට අවියක් ලෙස ක්‍රියා කරනුයේ මේ ලේ කැටිත්තයි.(Blood clot)

සාමාන්‍යයෙන් නිරෝගී සිරුරක රුධිරය මයික්‍රොලීටරයකට රුධිර පට්ටිකා එක් ලක්ෂ පනස්දහසක් (150000) සිට ලක්ෂ හතරක් (400000) අතර පරාසයක තිබිය යුතුයි. නමුත් යම් යම් රෝග මත මෙම රුධිර පට්ටිකාවල වෙනස්වීම් දක්නට ලැබේ.

සිරුරේ තිබිය යුතු ප්‍රමාණයට වඩා පට්ටිකා අඩු වීම සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිවීමත් රෝගී තත්ත්වයක ලක්ෂණයකි.

එසේම සිරුරේ තිබිය යුතු අවශ්‍ය ප්‍රමාණයට පට්ටිකා තිබුණ ද එහි ක්‍රියාකාරීත්වයේ ඇතැම්විට වෙනස්කම් තිබිය හැකියි. එයද රෝගී තත්ත්වයක පෙර නිමිත්තකි. රුධිරයේ පට්ටිකා (Platlets)  අවම වීමට බලපාන එක් හේතුවක් වන්නේ ප්ලීහාවට ඇතුල් වන පට්ටිකා ප්‍රමාණය අධික ලෙස විනාශ වීමයි. උදාහරණ ලෙස සිරෝසීස්, ලිම්ෆෝමා, මැලේරියාව වැනි රෝග දැක්විය හැක.

එලෙසම වෛරස් ආසාදනවලදී ද ඇට මිදුළුවලින් පට්ටිකා නිෂ්පාදනය අවම වේ.

උදාහරණයක් ලෙස ඩෙංගු, HIV, , වැනි වෛරස් රෝගවලින් පීඩා විඳින අයට පට්ටිකා නිෂ්පාදනය අඩු වේ. තවද රුධිර පට්ටිකා විනාශ වන අවස්ථා ද නැතුවා නොවේ. රුධිර පට්ටිකා අඩුවීමට බලපාන රෝග තත්ත්වයන් වන්නේ ITP, සෙප්ටිසීමියා සහ SLE නැමැති රෝගවේ.

සිරුරේ රුධිර පට්ටිකා තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩිවීම

මෙවැනි අවස්ථාවලදී රුධිර සංසරණ පද්ධතිය අක්‍රමවත් වීම නිසා බොහෝදෙනා රෝගීන් බවට පත්වේ.

උදාහරණ වශයෙන් ලියුකේමියා දැක්විය හැකියි. රුධිර නාලවල ප්‍රමාණයට වඩා රතු රුධිරාණු වර්ධනය වීම Polycythemia  නැමැති රෝගී තත්ත්වයයි.

මෙහිදී සිරුරේ හිමොග්ලොබින් වැඩි වේ. ඊට සාපේක්ෂව රුධිර පට්ටිකා ද ප්‍රමාණාත්මකව වැඩි වේ. රුධිර පට්ටිකා අවශ්‍ය ප්‍රමාණයට තිබුණ ද ක්‍රියාකාරීත්වයේ වෙනසක් සිදුවීම හේතුවිය හැකි සාධක කිහිපයක් ඇත.

ඇස්පී‍්‍රන් සහ හෘද රෝගින් සඳහා වැඩිපුර භාවිතා කරන ඛ්තධනඪඤධඨපඥත නැමැති ඖෂධ දිනපතා භාවිතා කිරීමේදී රුධිර පට්ටිකා සාමාන්‍ය ප්‍රමාණයට පැවතිය ද ක්‍රියාකාරීත්වයේ යම්කිසි අඩුවක් දක්නට ලැබේ.

මෙම රොගීන් ශල්‍යකර්මයක් සඳහා යොමු වීමේදී වෛද්‍යවරයාට ඒ බව දැනුම් දිය යුතු අතර ඖෂධ ගැනීම සතියකට පෙර නවතා දැමීමට වෛද්‍යවරයා අවවාද කරණු ඇත. රෝගීන්ගේ රුධිර පට්ටිකාවල අඩු වැඩි වීමක් (වෙනසක්) ඇති වූ විට පහත සඳහා රෝග ලක්ෂණ මතු වේ.

රුධිර පට්ටිකා අඩුවීම

රුධිර පට්ටිකා අඩු වූ විට රුධිරය වහනය වීම සිදු වේ. නාසයෙන්, වමනයෙන්, විදුරුමස්, මුත්‍රා, අසුචි සමඟ රුධිරය පිටවීමක් දක්නට ලැබේ. කාන්තාවන්ගේ ඔසප් වාරය ඇතුළත තවත් වරක් ඔසප් වීමද සිදුවිය හැක. සම මත රතු පැහැති පැල්ලම් ඇතිවීම ආදිය වේ.

නමුත් රෝග ලක්ෂණ බාහිරෙන් නොපෙන්වන මොළයට රුධිරය ගැලීම වැනි අවස්ථා භයානක වේ.

රුධිර පට්ටිකා වැඩි වීම

රුධිරය කැටි ගැසීම උවමනාවට වඩා සිදුවන්නේ රුධිර පට්ටිකා වැඩි වූ විටකදීය. රුධිර නාලවල අවහිරතා සිදුවීම නිසා එක් අතක පණ නැති වී කට ඇදවීම ආදී ආඝාතයේ ලක්ෂණ මතුවිය හැකි අතර නිසි ප්‍රතිකාර වෙත යොමු නොවීමෙන් ආඝාතය දක්වා තත්ත්වය බරපතළ විය හැක.

ඩෙංගු

රුධිර පට්ටිකා ගැන පැවසීමේදී ප්‍රධාන ලෙස බලපාන රෝගයක් වනුයේ ඩෙංගු වෛරස් රෝගයයි. පෙර සඳහන් කළ පරිදි ඩෙංගු ආසාදනය නිසා රුධිර පට්ටිකා ක්‍රමයෙන් අවම වීම සිදු වේ. ප්ලේට්ලට් අවම වීම හේතුකොට අභ්‍යන්තර රුධිර ගලනයක් ඩෙංගු රෝගීන්ගේ පෙන්නුම් කරයි. එහි ලක්ෂණ ලෙස තද උණ සමඟ සමේ රතු ලප, රතු පැල්ලම් වමනය සමඟ රුධිරය පිටවීම, මුත්‍රා සමඟ රුධිරය පිටවීම ඩෙංගු රක්තපාත තත්ත්වයේ ලක්ෂණ ලෙස හැඳින්වේ. එබැවින් ටික දිනකින් නැවත රුධිර පට්ටිකා නිපදවීම සඳහා ඩෙංගු රෝගීන්ට ඇඳ විවේකය අත්‍යවශ්‍ය වේ.

ඩෙංගු රෝගීන්ගේ පට්ටිකා අඩු වීමේ භයානක බව පෙන්නුම් කරන්නේ රුධිර පට්ටිකා 50,000 වඩා අඩුවු විට දක්වා අඩු වූ විට වැඩි පුර රුධිර ගලනය වීමට ඉඩ ප්‍රස්ථා වැඩිවේ.

ITP රෝගී තත්ත්වයේදී පට්ටිකා අඩුවන්නේ ඉතා සෙමිනි. එම අවම වීම අපේ සිරුරට අනුගතවේ. මෙය භයානක තත්ත්වයක් බැවින් ප්‍රතිකාර ගත යුතුය.

ජානමය බලපෑම් මත අලුත උපන් බිළිඳාගේ රුධිර පට්ටිකා අඩුවීමේ ලක්ෂණ පෙන්නුම් කළ හැක. මේ තත්ත්වය රෝහලේදිම හඳුනාගත් විගස ප්‍රතිකාර වෙත යොමුවීම අතිශයින් වැදගත්ය.