ලාදුරු සදහටම තුරන් කරමු

ලාදුරු සදහටම තුරන් කරමු

ඉදිරි වසර තුන ඇතුළතදී මෙරටින් ලාදුරු රෝගය තුරන් කිරීමේ අරමුණෙන් රට පුරා විසිර සිටින සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින්ට ටැබ් යන්ත්‍ර ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් සඳහා ප්‍රථම වතාවට මේ යන්ත්‍ර පිරිනැමීම සිදු කරන අතර ලාදුරු රෝගීන්ගේ දත්ත නිවැරදිව එක්රැස් කිරීම මෙමඟින් අරමුණු කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් මේ අවස්ථාව සංකේතවත් කරමින් එම යන්ත්‍ර තුනක් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ලාදුරු මර්දන වැඩසටහනේදි පසුගියදා පිරිනැමිණි.

ලාදුරු මර්දනය සඳහා එක් දිස්ත්‍රික්කයකට එක් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියකු බැඟින් පත් කර ඇති අතර රට පුරා දිස්ත්‍රික්ක 26 සඳහා නිලධාරින් 26 ක් පත් කර සිටියි.

වසර 2020 වන විට මෙරටින් ලාදුරු තුරන් කිරීමේ අරමුණෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර වැඩසටහන්වල සාර්ථකත්වය සහ දත්තවල නිවැරදිභාවය පවත්වා ගැනීම මේ ටැබ් යන්ත්‍ර ලබාදීම මඟින් අරමුණු කරයි.

වාර්ෂිකව ලාදුරු රෝගීන් 2000 ක් මෙරටින් වාර්තා වන බවත් ඒ අතරින් දරුවන් 150 ක් වාර්තා වීම රෝගය පැතිර යාමේ වැඩි අවදානමක් පෙන්වන කරුණක් බවත් ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

වසර 1708 දි මුල්ම ලාදුරු රෝගියා මෙරටින් වාර්තා වූ අතර රෝගය කලින් හඳුනා ගැනීමෙන් වළක්වා ගත හැකි බව ද ලාදුරු මර්දන ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

බස්නාහිර පළාතෙන් වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ යැයි ද රෝගීන්ගෙන් සියයට 9 ත් 10 ත් අතර සංඛ්‍යාවක් ආබාධ තත්ත්වයට පත් වන්නේ යැයි ද ව්‍යාපාරය පවසයි.

ලාදුරු රෝගීන් වෙන් කර ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය නොවන අතර ඔවුන්ට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව පවතින්නේ යැයි ද එම ව්‍යාපාරය ප්‍රකාශ කරයි.


පාසල් 102කින් ඩෙංගු මදුරු කීටයන් සොයා ගැනේ

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 102 කින් මදුරුවන් බෝවන ස්ථාන සොයා ගැනීමට හැකි වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පාසල් 170 ක් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව මේ ස්ථානයන් සොයා ගත් අතර තවත් පාසල් 44 ක මදුරු කීටයින් සිටි බවට සොයා ගෙන තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් යටතේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මඟින් මේ මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 9886 ක් වාර්තා වී ඇති අතර මරණ 12 ක් වාර්තා වී ඇත.

රාජ්‍ය ආයතන තුළ ඩෙංගු මදුරුවන් බෝ වීම සම්බන්ධයෙන් ජනවාරි මස 25, 26, 27 තෙදින පුරා සිදු කළ වැඩසටහන්වලින් අනාවරණය වූයේ එම ආයතනවල මදුරු මර්දන කටයුතු සතුටුදායක මට්ටමක නොතිබුණු බවය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මදුරු මර්දන කටයුතු පරීක්ෂාවට ආයතනය තුළ කණ්ඩායමක් පත්කර ගැනීම, පරිශ්‍රයන් ඇතුළත සහ පිටත ඇති භාවිතා නොකරන ජලය රැස් කරන බඳුන් ජලය නොරැදෙන සේ ආවරණ සහිත ස්ථානයක තැබීම, ජලය රැස්විය හැකි ඉවතලන බඳුන් නිසිලෙස බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම යනාදිය සිදු කිරීමෙන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා විය හැකි බව ජාතික මදුරු මර්දන ඒකකය අවධාරණය කරයි.

කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, මඩකළපුව, කල්මුණේ, ගාල්ල, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වේ

ඩෙංගු මදුරු මර්දන කටයුතුවලට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ සහාය, ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් ද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් ද ලබාගත හැකිය.


දිනකට පැය 12 බැගින් වසර 8 ක් අක්‍රීය දුම් පානයට ගොදුරු වෙලා

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

රෝගියකු මගේ ළඟට ආවේ කැස්සට බෙහෙත් ගන්න. මීට දවස් කීපයකට කලින්. උණ, හෙම්බිරිස්සාව සෑදුණු ඔහුට දැන් කියන්නේ තදබල කැස්සක්. සාමාන්‍ය වෛරස් ආසාදයකට පස්සේ තරමක කැස්සක් සෑදෙන එක සාමාන්‍ය දෙයක් වුණත් ඔහුගේ තිබුණේ තරමක් තදබල එකක්. රෝග ඉතිහාසයේදී පීනස් ගතිය, පපුවේ සෙම, ඇදුමට නිතර නිතර භාජනය වන රෝගීන්ට මේ තත්ත්වය සුපුරුදු දෙයක් වුණත් සංජීවගේ රෝග ඉතිහාසයෙන් ටිකක් වෙනස් කතාවක් කියවුණා.

ඩොක්ටර් මම කොළඹ අහවල් තරුපහේ හෝටලයේ තමයි රැකියාව කරන්නේ. අඥඵබභපචදබ චදඤ ඡචප ලෙස හැඳින්වෙන (හෝටලයේ රැඳි සිටින විදේශිකයන් හා වෙනත් අමුත්තන්) මත්පැන් සහ විවිධ ආහාර පරිභෝජනය කරන අංශයක තමයි මම පසුගිය අවුරුදු 8ක පමණ කාලයක් සේවය කරන්නේ. මේ කුඩා ශාලාවේ රැඳී සිටින පිරිස මත්පැන් සමඟ අධික ලෙස දුම්පානය කිරීම සිරිතක් හා එක ජාතියක සම්ප්‍රදායක්. මේ නිසාම මේකේ ඇතුලේ ඇති වාතය නිතරම සිගරට් දුමෙන් හා සිගරට් ගඳෙන් පිරිලා තියෙනවා. හෝටලයේ අනිකුත් කොටස්වලට මේ සිගරට් ගඳ යන්නේ නැති විදිහට, මේ කුඩා ශාලාව සකස් කර තිබෙන නිසා, වාතාශ්‍රය නිසිලෙස ලැබීමක් සිදුවන්නේත් නැහැ.

දෛනික සේවා වැඩ මුරය පැය 12 පමණ වෙනවා. සමහර දිනවල මෙය පැය 18ක් දක්වා දිවෙනවා. අතිකාල මඟින් කීයක් හරි වැඩිපුර උපයා ගැනීමත්, හෝටලයේ ආගන්තුකයින් මඟින් ලැබෙන සංතෝෂම් මුදල් කීයක් හෝ උපයා ගැනීමත් නිසා මෙම අංශයේ වැඩට උනන්දුවක් දැක්වූවා. නමුත් ඔහු පසුපසින් ඇති අනාගත භයානක විනාශය ගැන නම් ඔහුට කිසිම දැනුමක් හෝ හැඟීමක් තිබුණේ නැහැ.

දිනකට පැය 12 බැගින් වසර 8ක පමණ කාලයක් එක දිගට සිගරට් දුමට විවෘතව ජීවත් වුණා. මේ කතාව මේ ඔහු සමඟ ඒ ආකාරයට සේවය කරනා අනිකුත් සේවකයන් හා රටපුරා විසිරී තිබෙන තවත් මෙවැනි අංශවල හා ක්ෂේත්‍රවල සේවය කරන දහසක් අයගේ කතාවයි.

වෛද්‍ය විද්‍යාත්මකව මේ තත්ත්වය “අක්‍රිය දුම්පානය” හෙවත් ර්‍ථචඵඵඪමඥ ඉථධජඬඪදඨ ලෙස හඳුන්වනු ලබනවා. සක්‍රියව තමන් විසින් සිගරට් උරා බොමින් සිදු කරනා “සක්‍රිය දුම්පානය” වාගේම දිගුකාලීන නිරාවරණයක් මඟින් සිදුවන මෙවැනි “අක්‍රිය දුම්පානයෙන් ද ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙනවා. මෙම රෝග තත්ත්වයන් රුධිර සංසරණ පද්ධතිය තුළ ස්වසන පද්ධතිය තුළ විශේෂයෙන් පෙනහලු පිළිකා ලෙස විවිධ ආකාරයෙන් දක්නට ලැබෙනවා.

ඇමෙරිකාවේ සිදු කරන ලද සමික්ෂණ ගණනාවකින් එංගලන්තයේ සිදු කරන ලද සමීක්ෂණයකින් හා ඕස්ට්‍රේලියාව මඟින් සිදු කරන ලද සමීක්ෂණ ඇතුලු විවිධ සමීක්ෂණ මඟින් පෙන්වා දී ඇත්තේ පෙනහලු පිළිකා වැළඳීමේ අවදානම අධික බවයි. ඒ වාගේම ස්වාමි පුරුෂයන් නිසා “අක්‍රීය දුම්පානය” සිදු කරන කාන්තාවන්ට පියයුරු පිළිකා සෑදීමේ අවධානම ද අධික වෙනවා. කුඩා ළමයින්ට මේ තර්ජනයේදී ඇති අවධානමක් වන්නේ මොළයේ පිළිකාවයි. පිළිකාවලට අමතරව කන් ඇසීම දුර්වල වීමේ හැකියාවක් ද දක්නට ලැබෙනවා. හෘදයාබාධ, අධික රුධිර පීඩනය වැනි රුධිර සංසරණ පද්ධතියේ ඇතිවන රෝග සඳහා මේ මඟින් ප්‍රධාන දායකත්වයක් සපයන බව පාඨක ඔබ කොතෙකුත් අසා ඇති. ඒ නිසා ඒ ගැන වැඩියමක් සඳහන් කිරීමට අදහස් කරන්නේ නැහැ.

ඇදුම හා පපුවේ හතිය මහන්සිය නිතර කැස්ස සෑදීම වැනි ස්වසන රෝගත්, ගර්භණී සමයකදී නම් උපදින දරුවාට උපත් ආබාධයත්, උපත් බර අඩු වීමත්, අඩු මාසෙන් ඉපදීමත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස දැක්වෙනවා. මීට අමතරව කුඩා දරුවන්ට දද වැනි සමේ රෝගත්, ඉක්මනින් දත් දිරායාමත්, බඩවැල් ආශි‍්‍රත සමහර රෝගත් ආදි ලෙස විවිධ වූ රෝග තත්ත්වයන්ට ලක් වෙනවා. ඒවාගේ වැඩිහිටි වියේ පසුවන්නන්ට මානසික ආබාධ, හොඳින් සිතා මතා ක්‍රියාකිරීමට බැරිවීම වැනි දුබල මානසික තත්ත්වයන් ඇති වෙනවා.

මේ පිළිබඳව අදාළ සේවා ස්ථානවල බලධාරීන් අවධානය යොමු කරන්නේ නම් හා සෞඛ්‍ය බලධාරීන් නිසි අවධානය යොමු කරන්නේ නම් මෙවැනි තත්ත්වයන් වැළැක්වීම කෙසේ වෙතත් අවම කිරීමක් හෝ සිදු කළ හැකිය.