කෙතරම් ලස්සන වුණත් කණ්ණාඩි රාමුව අසාත්මික නම්...

කෙතරම් ලස්සන වුණත් කණ්ණාඩි රාමුව අසාත්මික නම්...

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ

සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

අක්ෂි ආබාධයක් හඳුනා ගන්නා කුමන අවස්ථාවක වුවත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට අප කිසිවිටෙකත් ප්‍රමාද නොවිය යුතුයි. නමුත් නොදැනුවත්කම නිසා එවැනි ආබාධවලට පිළියමක් යෙදීමට නොහැකි මට්ටම දක්වා පත්වන තුරුත් ඇතැම් විට හඳුනා නොගන්නා නිසා අක්ෂි ආබාධ පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතුයි. අක්ෂි ආබාධ අතර උපතින් ඇති වන ආබාධ වගේම ක්‍රමයෙන් වයස් ගතවීමත් සමඟ හටගන්නා ආබාධ ද තිබේ. මෙම ආබාධ සඳහා වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වන අතර බොහෝ අක්ෂි ආබාධ උදෙසා ඉදිරිපත් වන සරල පිළියමක් ලෙස ඇස් කණ්ණාඩි භාවිතාව පිළිබඳ හැඳින්විය හැකියි.

මෙසේ තෝරාගන්නා ඇස් කණ්ණාඩිය ද ජීවිත කාලයටම නිර්දේශිත නොවන අතර වයසත් සමඟ ආබාධයේ ස්වභාවයත් සමඟ වෙනස් කිරීමට සිදු වේ. එසේ වුවත් බොහෝදෙනා කෙතරම් ඒ පිළිබඳ නොදැනුවත් ද යන්න විමසා බැලුවහොත් ඇතැම් දෙනා තමාගේ ඇස් කණ්ණාඩි එක් වරක් පරීක්ෂා කර බැලීමෙන් පසු නැවතත් ඒවා පරීක්ෂා කර බැලීමටවත් උනන්දු නොවේ. නමුත් ඇස් කණ්ණාඩි භාවිතා කිරිමට ඔබට නියම වූ විට ඒවා පිළිබඳ නිරන්තර අවධානයකින් කටයුතු කළ යුතු වනවා පමණක් නොව අදාළ විශේෂඥ උපදෙස් මත කාලයෙන් කාලයට ඒවා අලුත් කර ගැනීමට ද වගබලා ගත යුතුයි. එසේ නොවුණහොත් සුළු වශයෙන් පවතින ආබාධිත තත්ත්වයන් අවසානයේදී දරුණු මට්ටමේ ආබාධ බවට පත්වීම කිසිවිටෙකත් වැළැක්විය නොහැක.

ඇස් කණ්ණාඩියක කාචය සම්බන්ධව ඉහත සියලු කාරණා පිළිබඳ කරුණු සාකච්ඡාවට ලක් කළද ඇස් කණ්ණාඩියක රාමුවත් ඉතා වැදගත්, ඔබගේ තෝරා ගැනීමට ලක් විය යුතු දෙයක් බව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. බොහෝදුරට ඇස් කණ්ණාඩියක් හා එහි රාමුව අලංකාරවත් හෝ වර්ණවත් වූ පමණින් හෝ ඔබ එයට කැමති වූ පමණින් එය ඔබට ගැලපෙනවා යැයි පැවසීමට කිසිසේත්ම නොහැකියි. විවිධ පුද්ගලයන්ට විවිධාකාර මුහුණු හා ඒවායේ හැඩතල හිමි වන අතර එක් අයෙකුට ගැලපුණු පමණින් තවත් අයෙකුට ඒවා නොගැලපිය හැකියි. ඒ නිසා නිතර කණ්ණාඩියක රාමුවක් තෝරා ගැනීමේදී මුහුණේ පවත්නා හැඩයට අනුව ඒවා තෝරා ගැනීම සිදු කළ යුතුයි.

කෙසේ වෙතත් ඇස් කණ්ණාඩියක් මිලදී ගැනීමේදි එහි කාචය පිළිබඳ යොමු කරනු ලබන සැලකිල්ලට නොදෙවෙනි වූ සැලකිල්ලක් එහි රාමුව සඳහා ද ලබාදිය යුතු බව අනිවාර්යයෙන්ම ඔබ මතක තබා ගත යුතුයි.

ඔබගේ දෘෂ්ටි ආබාධයට අනුව එහි කාචය තෝරා ගැනීමට ඔබ දෘෂ්ටි විශේෂඥ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් වුවත් එහි රාමුව තෝරා ගැනීමේ වගකීම ඔබට නිදහසේ සිදු කළ හැකියි. වර්තමානයේදී විවිධ වර්ණක, විවිධ හැඩතල අනුව විවිධ අමුද්‍රව්‍ය භාවිතයෙන් ඒවා නිපදවෙනු ලැබේ. මෙම ඇස් කණ්ණාඩි රාමු නිපදවීමේදී එම නිෂ්පාදකයන් කරුණු දෙකක් පිළිබඳ සැලකිලිමත් වනු ඇති. ඒවා නම් පැළඳීමේදී පැළඳ සිටින්නාට අපහසුතාවක් ඇතිනොවීම හා වඩාත් සැහැල්ලු බවින් යුතු ඇස් කණ්ණාඩි නිපදවීමයි. බොහෝවිට ඔබ ඇස් කණ්ණාඩි මිලදී ගන්නවා නම් හා එහි රාමුව තෝරා ගැනීමේදී ද ඉහත කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

ඇස් කණ්ණාඩි රාමු නිපදවීම සඳහා විවිධ ආකාරයේ අමුයොදා ගනු ලබන අතර ඒවායේ තත්ත්වය ගුණාත්මකභාවය මෙන්ම මිල ගණන් ද කාචයේ වටිනාකමට වඩා වැඩි බව සඳහන් කළ යුතුයි. එවැනි ඇස් කණ්ණාඩි රාමුවකින් එය භාවිතා කරන්නාට කිසිදු ගැටලුවක් ඇති නොවිය යුතුය. බොහෝදුරට දවසේ වැඩි වේලාවක් මුහුණේ රැඳෙන නිසාත් සම මත ස්පර්ෂව පවතින නිසාත් අසාත්මිකතා ඇති කරනවාද යන්න පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. යම් ලෙසකින් ඔබ තෝරා ගන්නා ඇස් කණ්ණාඩි රාමුව කෙතරම් අලංකාර, සැහැල්ලු හෝ වෙනත් ගුණාංගයකින් යුතු වුවත් ඔබේ සමට අසාත්මික නම් එය ගැටලුකාරී තත්ත්වයක් ඇති කරවිය හැකියි. ඒ නිසා ඇස් කණ්ණාඩියක කාචයේ ගැලපෙන නොගැලපෙන බව වගේම කණ්ණාඩි රාමුවකත් අවධානය යොමු කළ යුතු කරුණු කාරණා රාශියක් පවතින බව ඔබ හොඳින්ම අවබෝධ කරගත යුතුයි.