නහර ගැට ගැසීමට භෞතචිකිත්සක ප්‍රතිකාර

නහර ගැට ගැසීමට භෞතචිකිත්සක ප්‍රතිකාර

රිඡ්වේ ළමා රෝහලේ භෞතචිකිත්සකවේදී

ශ්‍රී ලංකා භෞතචිකිත්සකවේදීන්ගේ සංගමයේ සභාපති

ආචාර්ය ජාලිය උඩුවැල්ල

පාදවල නහර ගැටගැසීම අද බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. ‘වෙරිකොස් වෙයින්ස්’ ලෙස හඳුන්වන මේ තත්ත්වය නිසා දෙපා අවලස්සන වෙනවා පමණක් නොව, ඒවා පුපුරා ලේ ගැලීමත්, කැසීමත්, සමේ පාට වෙනස් වී දද වැනි දේත් ඇතිි විය හැක.

හෘදය වස්තුවේ සිට ධමනි දිගේ රුධිරය සිරුර පුරා පොම්ප කරනු ලැබේ. එම රුධිරය නැවත හෘදය දෙසට පැමිණීමේ අවශ්‍ය තෙරපුම හෙවත් බලය ලබාදෙන්නේ මස් පිඬු සංකෝචනය වීමෙනි. අප ඇවිදින විට, අත පය සෙලවෙන විට මස් පිඬු සංකෝචනය වන නිසා ශිරා රුධිරය හෘදය දෙසට ගමන් කරයි.

ඉහළට යන ශිරා රුධිරය පහළට ඒම් වැළැක් වීමට ශිරාව තුළ පවතින ලේ ඉහළට ගමන් කරනු ඇත. මෙම කපාට දුර්වල වීමෙන් ශිරා තුළ රුධිරය එකතු වේ. එවිට එම කපාට අවට නහර ගැටගැසීම දකින්නට ලැබේ.

වැඩි වේලාවක් එක තැන සිටගෙන සිටින, රැකියාවල නියැළෙන අයට මේ තත්ත්වය එනම්, නහර ගැටගැසීම ඇති විය හැක. එසේ වන්නේ චලනයක් සිදු නොවන විට ශිරාව පවතින ලේ ඉහළට ගමන් කිරීමට බලයක් නොලැබෙන නිසාය. බොහෝ විට මහන්සි වී වැඩ කරන අයටත්, ඇවිදින අයටත් මේ රෝගයෙන් පීඩාවක් ඇති නොවේ.

මීට අමතරව ශිරාවල ඇති කපාට හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසා නහර ගැටගැසීම ඇති වේ. එමෙන්ම ගර්භණී අවස්ථාවේදීද මේ තත්ත්වය මතු වී පසුව යථාතත්වයට පත් වීමද සිදු වේ.

මෙම රෝග තත්ත්වයේ රෝග ලක්ෂණ ලෙස එම නහර ගැටගැසුණු තැන්වල අධික වේදනාව, කැසීම, ලේ ගැලීම, පැහැය වෙනස් වීම, දද ඇති වීම සහ වළලුකර ප්‍රදේශයේ ඉදිමුව දැක්විය හැක.

මෙම රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාරවලට අමතරව භෞතචිකිත්සක ප්‍රතිකාර ද ඇත. මෙවැනි රෝගීන් නිදාගන්නා විට දෙපා ඉහළට සිටින සේ කොට්ට මත තබාගත යුතුය. එසේ තබාගෙන පතුළ ඉහළට පහළට චලනය කළ යුතුය. එවිට දෙපා තුළ එක් රැස් වී ඇති රුධිරය හෘදය දෙසට ගැලීම පහසු වේ.

තවද මෙම රෝගීන් උදෑසන අවදි වු පසු දෙපා ඇඳෙන් බිම තැබීමට පෙර ක්‍රේප් බැන්ඩේජයක් මඟින් පාදයේ ඇඟිලි ප්‍රදේශයේ සිට ආරම්භ කර දණහිස දක්වා හෝ ඉකිළි ප්‍රදේශය දක්වා වෙලීම කළ යුතුය. එමෙන්ම පතුල ප්‍රදේශයේදී ක්‍රේප් බැන්ඩේජය තදින් වෙළා ඉහළට යත්ම ක්‍රම ක්‍රමයෙන් බුරුල් වන සේ බැඳීම කළ යුතුය. එවිට ගුරුත්වාකර්ෂණයට එරෙහිව යන ශිරා රුධිරයට ගමන් කිරීමට බලයක් ඇති වී ගමනාගමනය පහසු වේ. එක දිගට සිටගෙන සිටින රැකියා කරන අය මොහොතින් මොහොත දෙපාවල මාංශ පේශි සංකෝචනය කිරීම වැදගත්ය.

භෞතචිකිත්සක ක්‍රමයක් වන විද්‍යුත් චිකිත්සක ක්‍රමවලින් මෙහිදී මතුවන ඉදිමුම අඩුකර ගත හැක. තවද ඇඟිලිවල සිට ඉහළට කකුල අත ගෑමෙන් ද මෙය පාලනය කර ගත හැක.


යෝගාසනවල නිරතවීම ආරම්භ කළ යුතු ආකාරය

නිරෝගිභාවය රැක දෙන යෝගාසන

ප්‍රවීණ යෝගාචාර්ය

රෝලන්ඩ් විතානගේ

ඔබට සුවය සතුට ගෙන දීමට වෙර දරණ ආරෝග්‍යා පුවත්පත තුළින් අද සිට ඔබව තව තවත් නීරෝගි කිරීමට ඉවහල් වන්නා වූ යෝග ව්‍යායාම පාඩම් මාලාවක් මෙතෙක් සිට ඔබ හට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. එහි මූලික පියවරක් වශයෙන් එම යෝග අභ්‍යාසවල නිරත වීමට අවශ්‍ය කරන උපදෙස් සහ වත් පිළිවෙත් ඉදිරිපත් කරමි. එමෙන්ම ඔබ උදෑසන පිබිදී මුහුණ කට සෝදා මල මුත්‍රා බැහැර කර සුදුසු පානයක් ගෙන සැහැල්ලු ඇඳුමකින් සැරසී (උදාහරණයක් - බොටමයක් සහ ටී ෂර්ට් එකකින් හෝ ඔබට කැමති සුව පහසු ඇඳුමක් ඇදගන්න.) ඊට පසුව සුදුසු ස්ථානයක් ද තෝරාගන්න. ශබ්දවලින් තොර සහ මැසි මදුරුවන්ගෙන් තොර වූ ස්ථානයක් තෝරා ගැනීමට වග බලාගන්න.

ප්‍රවේශය

එමෙන්ම ඔබට සුදුසු ඇතිරිල්ලක් ද බිම එලීම (උදා. යෝග මැට් එකක් නම් වඩාත් සුදුසුය.) එම ඇතිරිල්ල බිම එලා මෙම ඡායාරූපයේ පෙනෙන ආකාරයට බිම වාඩිවෙන්න. ඔබගේ පහසුව සඳහා ඡායාරූප කීපයක් ඉදිරිපත් කරමි. ඊට පසුව ඔබට කැමති භාවනාවක යෙදෙන්න. ආනාපානසති හෝ මෛත්‍රි භාවනාව විනාඩි පහක් හෝ ඔබගේ අභිමතය පරිදි ඊට වැඩි කාලයක් හෝ භාවනා කර මනස සන්සුන් කරගෙන යෝග ව්‍යායාම (ආසන) ඉදිරි පාඩම් මාලාවෙන් ඔබ වෙත ඉදිරිපත් කරමි.

විශේෂ උපදෙස්

යෝග අභ්‍යාස ආරම්භ කළ යුත්තේ උදෑසන හෝ සවසට ඔබ බර ආහාරයක් ගන්නේ නම් පැය හතරකට පසුව ද සැහැල්ලු ආහාරයක් නම් පැයකට ද පසුව යෝගවල නිරත වීම සුදුසුය. කෑම හෝ ඇඟපත සේදීම විනාඩි හතලිස් පහකට පසුව සුදුසුය. එමෙන්ම ගර්භනී සමයේ මෙම යෝග ව්‍යායාමවල නිරතවීම සුදුසු නොවේ ඒත් දරු ප්‍රසූතියට සුදුසු පහසු යෝග ආසන තිබේ. ඔබ බෞද්ධයෙක් නම් ඔබ ආනාපාන සති භාවනාව හෝ මෛත්‍රී භාවනාව වඩන්න. වෙනත් ආගමිකයකු නම් ඔබගේ ආගම සිහිපත් කොට ඊට පසුව මෙම යෝග අභ්‍යාසවල නිරතවන්න. එමෙන්ම මෑතකාලයේ ශල්‍යකර්මවලට මුහුණ දුන් අය ඇත්නම් යෝග ආසන සුදුසු නැත. එමෙන්ම කාන්තාවන්ට නම් ඔසප් දෝෂ තිබෙන දිනවල යෝග අභ්‍යාසවල නිරත වීම ද සුදුසු නැත. ඔබ ආයාසයෙන් බලෙන් ශරීරය නැමිම නොකළ යුතුය. ඉවසීමෙන් කාලයට ඉඩ දී මෙම යෝග අභ්‍යාසවල නිරත වීමෙන් ඔබට අභිමත ප්‍රතිඵළ ලබාගත හැක. එමෙන්ම බර මහත පාලනය කර ගැනිම සහ ලෙඩ රෝග රාශියක් පාලනය කර ගැනීමට ද හැඩරුව රැක ගැනීමට ද දීර්ඝකාලීනව ජීවිතයකට ද මෙම යෝග අභ්‍යාස උපාකාරි වේ.