වැඩිවියට පත්වෙලා වැඩි දවසක් යන්න කලින් ගැබිනියක් වෙලා
තමන්ගේ දරුවන් කිසිවිටෙක ඔබේ අවධානයෙන් ගිලිහීයන්නට දෙන්න එපා

වැඩිවියට පත්වෙලා වැඩි දවසක් යන්න කලින් ගැබිනියක් වෙලා

මහනුවර මහ රෝහලේ ලිංගික හා ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ගංගා පතිරණ

ගෑණු ළමයෙකුගේ ජිවිතේ කවදාහරි ඉෂ්ඨ කරගන්න තියෙන ලොකුම හීනය තමයි දරුවෙකු ලබනවා කියන්නේ. ඒත් තවමත් පුංචි දරුවෙකු වුණු ගැහැණු දරුවෙකුට තවත් දරුවෙක් ලැබුණොත් ඒ කථාව හීනයක් නෙමෙයි අහස පොළොව වත් උහුලන්නේ නැති අපරාධයක්ම විතරයි. මේ කථාව ගොඩ නැඟෙන්නේ තවමත් අවුරුදු 12ක් වුණු හය හතරවත් නොදන්න පුංචි දැරියක් වුණු මිනොලි වටා.

තාත්තා මිනෝලිලා පොඩි කාලේම එයාගේ අම්මාව දාලා යන්න ගියත් දරුවො තුන්දෙනා ජිවත් කරවන්න ඕන නිසා රම්‍යට සිද්ධ වුණා. දරුවො ආත්තම්මාට භාර දීලා රට රස්සාවට රම්‍යා යනකොට මිනෝලි යන්තම් කිරි අත ඇරියා විතරයි. ජීවිත් වෙන්න විදිහක් නැති හින්දා තමගේ කිරිකැටියව අම්මට භාර කරලා රම්‍යා රට ගියේ හිතකින් නම් නොවේ. ආත්තම්මට මිනෝලි විතරක් නෙමෙයි මිනෝලිගේ අක්කලාවත් භාර දුන්නත් එයාලට මේ වෙනකොට යමක් කමක් තේරෙන වයස නිසා රම්‍යාට බයක් වෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ වගේම තමන්ගේ අයියත් ඒ අහළ පහළ ජිවත් වුණු එක රම්‍යාගේ හිතට ලොකු හයියක් වුණා.

කාලයක් ගත වෙලා යනකොට මිනෝලිගේ අක්කලා කසාද බැඳලා වෙනමම පදිංචියට ගියත් අම්මට තවමත් රට ඉඳලා එන්න බැරි මිනෝලිගේ ජීවිතේ ලස්සන කරන්න සල්ලි හොයන්න ඕන නිසයි. කවුරු කවුරුත් බලන් හිටිය විදියට වයස ටිකින් ටික ගත වෙලා මිනෝලි වැඩිවියට පත් වෙනකොට යන්තම් අවුරුදු 12 ලැබුවා විතරයි.

මේ ආරංචිය නිසා මොන තරම් සතුටකින් අත්තමිමාගේ හිත පිරිලා තිබුණත් තමන්ට තවත් බරක් ඔලුවට වැටුණා වගේ කියලත් මිනෝලිගේ අත්තම්මාට නොහිතුණාමත් නොවෙයි.

අම්මා එවන සල්ලිවලින් මාමලාගේත් උදව්වෙන් පුංචි උත්සවයක් තියලා පුරුදු විදිහට තමගේ සැහැල්ලු ජීවිතේට පියාඹන්න අහිංසක මිනෝලිට ඉඩ තියන්න තරම් දෛවය අවාසනාව ගෙනාවේ පුදුමාකාර විදිහට.

මිනෝලිලාගේ ගෙදර ඉඳලා මාමලා හිටියේ එතරම් දුරකින් නොවුණාට වෙල් යායක් මැදින් තරමක් ඇවිදන් යන්න දුරක් තිබුණා. ඉස්කෝලේ ඇරිලා ඇවිත් ගෙදරට වෙලා ඉන්න කම්මැලි නිසා ආච්චි මිනෝලිවත් එක්කගෙන මාමලාගේ ගෙදර ගිහිං එන්න හිතුවා. දන්නෙම නැතුව ගෙදර එනකොට වෙලාව 5ත් පහුවෙලා.

ගෙදර ආවට පස්සේ තමයි අත්තම්මා ගෙදර යතුර මාමලාගේ ගෙදර අමතක වෙලා බව දැන ගත්තේ. ආච්චිට ආයේ වෙල්යාය මැද්දෙන් ඇවිදින්න බැරි හින්දා “අනේ දුවේ ගිහිං මාමගෙන් යතුර ඉල්ලන් වරෙන් කියලා” මිමෝලිව පිටත් කළා.

මේ ගමන මිනෝලිගේ ජීවිතේට අවාසනාව කැඳවන බව නිකමටවත් අත්තම්මාට නොදැනුනේ මිනෝලිගේ තිබුණු අවාසනාවටම වෙන්න ඕන.

මේ ගමන යන අතරතුරේ වෙලට කිට්ටුව දෙවැට ළඟ හිටපු කාමතුරයෙක් අසරණ මිනෝලිව දැක්කා. මේ කාමාතුරයා මිනෝලිව ඇදගෙන කැලේට ගියා.

“උඔ මේ ගැන කියලා තිබුණොත් බලාගෙනයි”

ඒ මිනිහා කවුද කියලාවත් දන්නේ නැති මිනෝලි මේ ගැන තමන්ගේ ආත්තම්මාටත් මාමලාටත් කිව්වේ නැත්තේ මොනවාහරි කරදරයක් වෙයි කියන බයට.

සති කිහිපයක් ගත වෙලා සුපුරුදු විදිහට කාලේ ගෙවෙන්න පටන් ගත්තත් පාසැලේදී ඇති වුණු බඩේ අමාරුවක් නිසා මිනෝලි රෝහල් ගත කරන්නට සිද්ධ වුණා. මේ වෙලාවේදී දැන ගන්නට ලැබුණු දේ කාටවත් අදහා ගන්නට නොහැකි වුණා. වැඩිවියට පත්වෙලා එතරම් කාලයක් යන්නටත් කලින් මිනෝලි ගැබිනියක් බව දැන ගත්තාම එයාගේ ආච්චිට දරා ගන්න බැරි වේදනාවක් ඇති වුණා.

තමන්ට මොනතරම් ආර්ථික අපහසුතා තිබුණත් මිනෝලි වගේ අසරණ දරුවෝ තනි කරලා යන අම්මලාට තාත්තලාට මේ වගේ ශෝකාන්ත හොඳම පාඩම් කියලා දෙනවා. ගැහැණු දරුවන්ට විතරක් නෙමෙයි. පිරිමි දරුවන්ටත් මේ පරිස්සම ඉතාම අත්‍යවශ්‍යයි. මව පියා නැත්නම් එක් අයෙක් වත් එසේ නැත්නම් භාරකරුවන්ට පවා මේ වගකීම එසේම පවතිනවා.

ඒ විතරක්ම නෙමෙයි දරුවන් කිසිවිටෙකත් ඔබේ අවධානයෙන් ගිලිහෙන්නට දෙන්න එපා. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව අවශ්‍ය මොහොතේ ලබාදෙන කටයුතු කරන්න ඕන. අඩුම තරමින් පාසලට ටියුෂන් පන්තිවලට යවන විට පවා මේ අවධානය තව තවත් වැඩි කරන්න ඕන.

ඒ වගේම වැඩිහිටියෙක් හා වගකිවයුතු පුද්ගලයෙක් ලෙස යමෙකුට කරදරයක් අඩන්තේට්ටමක් නිති්‍යානුකූලව නොවන දෙයක් සිදු කරනවා නම් ඒ කරදරයට මුහුණ දෙන අය විතරක් නෙමෙයි තමාවත් අසරණ භාවයට පත්වෙන බව හොඳින් තේරුම් ගන්න ඕන. ඒ නිසා යම් තීරණයක් ගන්නකොට වගකිව යුතු පුද්ගලයන් ලෙස විශේෂයෙන් කුඩා දරුවන්ට කරදර කරන්නට සිතනවා නම් ඒ ගැන දෙපාරක් තුන්පාරක් නොව සිය දහස් වරක් සිතා බැලිය යුතුයි. ඒ විතරක්ම නෙමෙයි තමන්ට මේ විදිහේ කරදරයක් සිදු වුණාම ඒ අවස්ථාවේදීම වැඩිහිටියන් දැනුවත් කළා නම් අසරණ ජීවිතේ තව තවත් කරදරයට පත් වීම වළක්වා ගන්නට පුළුවන. මිනෝලි තමන්ට වුණු කරදරය ගැන වැඩිහිටියන් දැනුවත් කළා නම් ඇතැම්විට රෝහල් ගත කර අනවශ්‍ය ගැබ් ගැනීම නතර කර දමන්නට පවා හැකියාව තිබුණා.

විශේෂයෙන් 16 ට අඩු දරුවෙක් මෙවැනි දෙයක් කැමැත්තෙන් සිදුකළත් එය නීතිය හමුවේ ලිංගික අපයෝජනයක් වශයෙන් සලකනු ලබනවා. අඩුම තරමින් තමාගේ පෙම්වතිය වයස 16ට අඩු නම් පෙම්වතුන් පවා මෙම කාරණා අවබෝධ කරගන්නවා නම් තවත් මිනිස් ජීවිත අසරණ වීම නවත්තන්න අපට පුළුවන්.