පංචකර්ම මඟින් සුව කරගත හැකි රෝග

පංචකර්ම මඟින් සුව කරගත හැකි රෝග

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ පංචකර්ම ඒකකයේ

විශේෂඥ වෛද්‍ය තිලකා මාලනී රූපසිංහ

ඔබගේ ජීවිතයේ නිසි නිරෝගිභාවය ක්‍රමානුකූලව පවත්වා ගන්නට විවිධ කර්ම භාවිතා වන අන්දම පංචකර්ම තුළින් සිදුවන බව මේ වනවිට ඔබ හොඳාකාරවම දන්නා කරුණක්. හිරු රශ්මියට සිරුර නිරාවරණය වීම ඇතුළුව බාහිර කර්ම ලෙස උපයෝගී වන අන්දම ගැන පසුගිය සතියේ විස්තර කෙරුණා.

ස්වේද කර්ම තුළින් සිරුරට සිදුවන මෙහෙය හා එහි වැදගත්කම ඇතුළු ප්‍රධාන කරුණු රාශියක් ඉතිරිව පවතී. ඒ කරුණු වෙත මෙවර අවධානය යොමු කරමු.

ස්වේද කර්මය

ස්නේහයෙන් බුරුල් කරදෙන දූෂිත දෝෂ ගලායාමට මෙම කර්මය උදව් වෙයි. මින් සිරුරේ ඩහදිය දැමීම සිදුවෙයි. මෙයට ස්වේද කර්මය යැයි කියයි. මෙහිදී ඖෂධ මඟින් රෝගියාට ඩහදිය ඇති කරවයි. එය වාෂ්ප ස්වේද, නාඩි ස්වේද ආදිය මඟින් අභ්‍යන්තර මාර්ගයට (උදරයට) දූෂිත ද්‍රව්‍යයන් ගෙන්වා ගනී. පසුව රෝගියාගේ තත්ත්වය අනුව වමනයට අදාළ ඖෂධ දී වමනය කරවයි. එසේම විරේචනය නම් අදාළ ඖෂධ දී විරේචනය සිදු කරවයි. මේ අවස්ථාවේදී සාමාන්‍ය දිනක මෙන් නොව රෝගියාගේ ඇවතුම් පැවතුම් කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුයි. පිණ්ඩස්වේදය තුළින් කරනුයේ කිරිබත්වලින් සැදි පොට්ටනි ආධාරයෙන් ස්නායුවලට පෝෂණයක් ලබා දීමයි. මින් වර්ණය හා ශක්තිය ලැබේ. ස්නායු ආබාධ මස් දියවීම වැනි රෝගීන්ට මෙය කරනු ලැබේ. පසුව ප්‍රධාන කර්මවලට යොමු වීම සිදු වේ.

ප්‍රධාන කර්ම

වමන - ස්නේහ කර්ම හා ස්වේද කර්ම මඟින් සුදුසු තත්ත්වයට පත් රෝගියාට අපවිත්‍ර ද්‍රව්‍ය මුඛය මඟින් යාමට අවශ්‍ය ඖෂධ හරහා වමන කර්මය සිදු කරයි. විජලනය නොවන්නට සැකසූ විශේෂිත ආහාර පාන වර්ග ලබාදිය යුතුයි. සිරුර දුබල නොවීම සඳහා (ශරීරයේ ද්‍රව ගතිය සමතුලිතව පවත්වා ගැනිම සඳහා)ඖෂධ භාවිතා කරයි. බාහිර උවදුරුවලින් රෝගියාව ආරක්ෂා කළ යුතුයි. විශේෂ ආහාර රටා හා විහරණ විධි පවත්වා ගත යුතුයි. කැඳ වර්ග වැනි රළු නොවන ආහාර දෙයි. වමනය සඳහා දෙන පශ්චාත් කර්මය වනුයේ උණු වතුරින් මුහුණකට සේදීම හා දුම් ඇල්ලීමයි. මේ සඳහා ඖෂධීය කෙළ වර්ගවලින් තම්බාගත් දුම භාවිතා කෙරේ.

විරේකය- විරේක ඖෂධ පානය මඟින් අපවිත්‍ර දොස් අධෝ මාර්ගයෙන් පිට කිරීම. පිත් රෝග සඳහා විශේෂයි. පශ්චාත් කර්මය වනුයේ ඖෂධීය පාන වර්ග දීමයි. එසේම උණු වතුර භාවිතය ද සුදුසුයි.

වස්ති - අධෝ මාර්ගයෙන් ඖෂධ යෙදීම මඟින් අපවිත්‍ර දොස් අධෝ මාර්ගයෙන් බැහැර කරවිමයි. වාත රෝගවලට විශේෂයි. මීට අමතරව මුත්‍රා වස්ති හා යෝනි වස්ති ද සිදු කෙරේ. පංචකර්මයේ ප්‍රධාන කර්මයකි. ස්නායු ශක්තිමත් වීම, ඇට මිදුළු දක්වාම ශක්තිය ලබා දීම වර්ණය, බඩගිනි බව තරුණ බව ආයුෂ වැඩි කිරීම, නිරෝගී බව පවත්වා ගැනීම සිදු කෙරේ. පශ්චාත් කර්මය ලෙස උණුවතුර හා ඉඟුරු කොත්තමල්ලි පාන්ටය ලබා දේ. මෙම ක්‍රමය මඟින් රුධිරයට ඉතා ඉක්මනින් ඖෂධ ලබාදිය හැකියි. කෘෂ, දුර්වල අයට ශක්තිය ලබා දේ. පෝෂණය ලැබේ.

නස්‍ය කර්ම

ශිර්ෂ අභ්‍යංග, ශිරෝධාර, ශීරෝ වස්ති, ශිරෝ පිඩු, මඟින් මෘදු බවට පත් වූ, දිය වූ දෝෂ නාසයෙන් බැහැර කිරීම මින් සිදුවේ. උරස් ප්‍රදේශයේ සහ හිසේ රෝග සඳහා විශේෂයෙන් යෙදේ. සුදුසු ඖෂධ පොට්ටනි තෙල් ගල්වා බෙල්ලෙන් උඩ කොටස තවයි. මෙහිදී හිස තවන්නේ නැත. පශ්චාත් කර්ම ලෙස ධූමපානය වාෂ්ප ඇල්ලීම, ලුණු වතුරෙන් කට සේදීම හා ඖෂධ පානයට දීම.

රක්තමෝක්ෂණය

ගව අං ලබු කැට මඟින් ලේ නහර විදීම, කහ වතුරේ විනාඩි 10ක් පමණ දමාගත් විෂ රහිත (නිර්විෂ) කූඩැල්ලන් යොදා අපවිත්‍ර ලේ ශරීරයෙන් බැහැර කරවයි. පශ්චාත් කර්ම ලෙස සකසා ගත් ඖෂධීය වර්ග ලබාදිම හා රෝගියා විවේකයෙන් තැබීම සිදු කෙරේ.

මෙම පංචකර්ම ප්‍රතිකාරයෙන් පසුව දින කිහිපයක් සුදුසු ආහාර ලබාදීම කළ යුතුයි. දිරවා ගැනීමට පහසු ලඝු ආහාර ලබා දීම විශේෂයි. විශේෂ රෝග අවස්ථාවලදී ශරීර ශක්තිය වර්ධනය කිරීම සඳහා රසායනික කර්ම භාවිතා කරයි.

පංචකර්ම යොදාගත හැකි රෝග අවස්ථා

සන්ධිගත රෝග, ස්නායු රෝග, සෙම් රෝග, ස්වසන රෝග, ශිර්ෂ රෝග මානසික රෝග, ජීර්ණ පද්ධතිය ආශි‍්‍රත රෝග යනාදියයි.

සුදුසු වන අවස්ථා

ගර්භණි අවස්ථාවට සුදුසුයි. හෘද රෝග ඇතිව පංචකර්ම කිරිම සුදුසු නැත. අධික රුධිර පීඩනය, වයෝ වෘද්ධ අවස්ථාවන්වලදි පංචකර්ම සුදුසු නැත. මෑතකදී ශල්‍යකර්මවලට බඳුන් වූ අයට සුදුසු නැත.

ප්‍රතිලාභ

බඩගින්න වැඩිකිරීම, නිරෝගි බව ඇති කිරීම, මනස ප්‍රබෝධමත් කිරීම බුද්ධි වර්ධනය, ශරීර වර්ණය ප්‍රභාමත් කිරීම, ශරීර ශක්තිය වැඩි කිරීම හා තරුණ බව ආරක්ෂා කිරීම.

සිරුර පැහැපත් කිරීම, ඇතුළු උතුම් වු නිරෝගි බවින් සිටීමට මෙම පංචකර්ම ඔබට මහත් ප්‍රතිලාභ එක් කර දෙයි.

පංචකර්ම ප්‍රතිකාර ලබාදිය යුත්තේ සුදුසුකම් ලත් පළපුරුදු වෛද්‍යරයකු යටතේය. එබැවින් රටේ තැන තැන පවතින පංචකර්ම මධ්‍යස්ථාවලට යොමු නොවී රජයේ පිළිගත් සහතික ඇති රෝහලකින්ම පංචකර්මවලට යොමු වීම වඩා වැදගත් බව සලකන්න. වැරදි ආකාරයෙන් පංචකර්ම කිරීමෙන් විවිධ උපද්‍රව හට ගත හැකියි. මෙම ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාර ඔබට ලබා දීම බොරැල්ලේ පිහිටා ඇති ආයුර්වේද ශික්ෂණ රෝහලේ පංචකර්ම ඒකකයේදී පුහුණු කාර්ය මණ්ඩලයක් මඟින් සිදු කෙරේ. එහිදී ඔබට නේවාසික වී ප්‍රතිකාර ලබා ගැනීමට හැකියි.