මැදිවියේ අයට බහුලව වැළඳෙන ගම්භීර වාත රක්තය

මැදිවියේ අයට බහුලව වැළඳෙන ගම්භීර වාත රක්තය

ආයුර්වේද වෛද්‍ය
එම්.කේ.ජී.ඩබ්ලිව්.ඒ.සෙනෙවිරත්න

සන්ධි ආබාධ බොහෝවිට හට ගැනීමේ ප්‍රවණතාවය වැඩි වයසට යාමත් සමඟ බව අප හොඳින් දන්නා කරුණකි. නමුත් සන්ධි ආබාධයක් ඕනෑම අවස්ථාවක ඕනෑම වයස් මට්ටමක ද ඇතිවිය හැකියි. මෙවැනි සන්ධි රෝග හදිසියේදී ඇතිවන ක්‍රම කිහිපයකි. එය වැටීමකින් හෝ තැලිමකින් සිදුවිය හැකියි. නමුත් අප දන්නා සන්ධි රෝග ඇති වීමට ත්‍රිදෝෂවල බලපෑමක් ම විය යුතු බව ආයුර්වේදයට අනුව පැවසේ. සන්ධි ආශි‍්‍රතව හට ගන්නා රෝග අවස්ථාවක් නිසා සන්ධිවල බොහෝ දුර්වලතාවයන් තිබීම ද මීට බලපායි. මෙම රෝග බොහොමයක් අපගේ ආහාර විහරණ රටාවන්ගේ විවිධ විෂමතා නිසා හටගත් ඒවා මෙන්ම මේ සඳහා සරල පිළිවෙත් උපයෝගී කරගනිමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ සුව කළ හැකි බව ආරෝග්‍යා වෙත වෛද්‍ය අනුෂන සෙනෙවිරත්න අදහස් දක්වයි.

සන්ධි ආශි‍්‍රත රෝග කිහිප ආකාරයකින් දැක්විය හැකියි.

ඒ,

1. ගම්භීර වාත රක්තය

2. අමවාත සන්ධි ශ්‍රෝථය

3. සන්ධිගත වාත රෝග අවස්ථාව

4. අභිඝාතජ අවස්ථාව ලෙසයි.

ප්‍රතිකාර

1. අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය

2. දිරවීමට පහසු සැහැල්ලු ආහාර ගැනීම

3. විවේකය ලබා ගැනීම

4. මානසික නිරවුල් භාවය පවත්වා ගැනීම

ගම්භීර වාත රක්තය

අපේ ආහාරවල පවතින උෂ්ණ බව (ඉස්සො, දැල්ලො, කකුළුවෝ, බල මාළු, සැමන්, ගවමස්, දෙල්) තෙල් බහුල බව (ඌරු මස්, බටර්, චීස්,ආදිය) අම්ල ලවණ බහුලව (අඹ, අන්නාසි, අච්චාරු, විනාකිරි, ලුණු, දෙහි) වැනි ආහාර නිතර නිතර ගැනීම ශරීරයට අවශ්‍ය පමණ ජලය පානය නොකිරීම, එකිනෙකට විරුද්ධ අහාර ගැනීම, කෑ පිට කෑම වැනි හේතූන් නිසා රක්තය දූෂණය වේ. දහවල් නිදාගැනීම, රාත්‍රී නිදිවැරීම, අධික ව්‍යායාමය, ක්‍රෝධ කිරීම ආදිය නිසා කෝපවන්නා වූ වාතය සමඟ දූෂණය වූ රක්තය සමඟ එක් වී සන්ධිස්ථාන පීඩා වට පත් කෙරේ. මෙහිදී සිදුවන්නේ ඉහත දැක්වූ පරිදි ආහාර රටාවේ විෂමතාවයන් නිසා ශරීරය තුළ යූරික් අම්ලය වැඩි වීමයි. එම තත්ත්වය වකුගඩුවලට දරා ගැනීමට නොහැකිවීමෙන් නැවත ලේවලට එකතු වේ. මෙවිට රක්තය දූෂණය වේ. මෙසේ දූෂිත වූ රක්තය කුඩා සන්ධිවලින් පටන් ගෙන ක්‍රමයෙන් විශාල සන්ධි කරා ගොස් සිරුරේ සන්ධි ස්ථානවල තැන්පත් වී කාටිලේජයන් හිද ස්නායු හා කණ්ඩරාවන් හා මාංශ පේෂීන් පීඩාවට පත් කෙරේ. මෙම රෝගී තත්ත්වය, ඇඟිලි, මැණික් කටුව, වළලුකර වැනි කුඩා සන්ධිස්ථානයන්ගෙන් ආරම්භ වී ක්‍රමයෙන් සිරුර පුරා පැතිරේ. මෙම අවස්ථාවේදී අවශ්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් දණහිස්, තුනටිය, බෙල්ල ආදී අනෙකුත් ප්‍රධාන සන්ධි ස්ථානයන් කරාද පැතිරී පසුව අත් පා විකෘති වීමට පවා හේතුවිය හැකියි.

මෙම රෝගයේදී ඇතිවන මූලික ලක්ෂණ

* උදෑසන අවදි වනවිට ඇතිවන විලුඹ ආශි‍්‍රත වේදනාව

* දණහිස් ඉදිමුම

* තුනටිය පහල කොටසේ ඇතිවන වේදනාව

* බෙල්ලේ පහළ කොටසේ ඇතිවන වේදනාව

* ඇඟිලි ආශි‍්‍රතව එන වේදනාව

* අව බාහුක රෝගය (උරහිස ආශි‍්‍රතව ඇතිවන රෝගය)

රෝගයට ප්‍රතිකාර

පළමුව රෝගියාගේ රක්තය ශෝධනය කළ යුතුයි. අහාර ජීර්ණ ගැටලු නිරාකරණය කළ යුතුයි. මෙවිට සමහර සන්ධි ආශි‍්‍රත වේදනා සමනය වී යනු ඇත. නමුත් ඉතිරි හානි වූ සන්ධි ස්ථාන ස්ථානික ප්‍රතිකාර කළ යුතුයි. ඒ සඳහා තෙල් ගෑම, තැවිලි පොට්ටනි තැවීම, පත්තු වර්ග, ආලේපය වාෂ්ප ස්වේදනය කළ යුතුයි.

මෙහිදී රෝගියා මෙම ප්‍රතිකාර කරන අතරතුරදී

1. අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය

2. දිරවීමට පහසු සැහැල්ලු ආහාර ගැනීම

3. විවේකය ලබා ගැනීම

4. මානසික නිරවුල් භාවය පවත්වා ගැනීම

ඉතා වැදගත් කරුණු අතර වේ.

අභිඝාතජ සන්ධිගත

වාත අවස්ථාව

මෙහිදී සිදුවනුයේ වැටීමකින් හෝ තැලීමකින් සන්ධියකට සිදුවන අනතුරුය.

වෙනත් රෝග නිසා හටගන්නා සන්ධිගත රෝග අවස්ථා ද ඇත.

උදා. පොතු කබර රෝගයේදී ඇතිවන සන්ධි ආශි‍්‍රත රෝග තත්ත්ව සහ ඇතැම් උණ වර්ගවලින් හට ගන්නා සන්ධිගත රෝග තත්ත්ව එම අවස්ථාවලදී අදාල රෝගයට අනුව ප්‍රතිකාර කළ යුතුයි.

ආමවාත සන්ධි ශ්‍රෝථය (රූමටොයිඩ් ආතරයිටීස්)

අපගේ ආහාරවල පවතින දුර්වලතා නිසා හරිහැටි නොදිරවා ශරීරයට උරාගත් ආහාර රසය (ආම රසය) හේතුවෙන් ලේ දූෂිත වේ. එම ආම රසය (ආහාර නොදිරවීම නිසා) ලේවලට එකතු වී ගොස් සන්ධි ස්ථාන පීඩාවට පත් කර වාතය කෝප කිරීමෙන් එහි තැන්පත් වී ආම වාතය ඇති කරයි. මෙහිදී පීඩාවට පත්වන සන්ධිය ආශි‍්‍රතව, ඉදිමීම, රතු වීම හා රත්වීම වැනි ප්‍රදාහයික ලක්ෂණ ඇතිවීමට පටන් ගනී. තවද රෝගියාට උණ ඇතිවීමට ද පුළුවන. මෙම ආම වාත රෝග හේතුවෙන් සන්ධි ස්ථාන පමණක් නොව හෘද වස්තුවට ද විශාල වශයෙන් හානි සිදුවිය හැකියි.

ලක්ෂණ

* දණහිස ඉදිමුම

* දණහිස අධික වේදනාව

* පීඩාවට පත් සන්ධියන්හි සංඥාා නොදැනීම

* උණ ගතිය

මෙම රෝගී තත්ත්වය ඉක්මන් ප්‍රතිකාරවලට යොමුවිය යුතු අවස්ථාවකි.

ප්‍රතිකාර

ආමය බහුල බැවින් රෝගියාට තෙල් ගැල්වීම නොකළ යුතුයි. ප්‍රථමයෙන් ම ශරීර ශෝධනයක් කළ යුතුයි. එනම් සිරුරේ පවතින අපවිත්‍ර විෂ කොටස් සිරුරින් බැහැර කිරීමයි. මල හා මුත්‍රා විරේකය අභ්‍යන්තරිකව සිදු කෙරේ. වැලි පොට්ටනිවලින් තැවීම, මැල්ලුම් බැදීම, බාහිරව කළ හැකි ප්‍රතිකාරයි. මෙහිදී රෝගියාගේ ශරීරියේ උණ පවතී නම් ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුය.

රෝග සමන ප්‍රතිකාරවලට යොමුවීම කළ යුත්තේ පංචකර්ම ප්‍රතිකාරවලින් පසුවය. මෙවිට සිරුරේ හානි වූ සන්ධිස්ථාන සාමාන්‍ය තත්ත්වයට පත්කර ගත හැකියි.

තර්පණ ප්‍රතිකාර තුළින් කෙරෙනුයේ රෝගියාගේ බලය වර්ණය හා ආයුෂ වැඩි කිරීමයි. මෙහිදී රසායන ඖෂධ භාවිතා කරයි.

මෙම රෝගයේදී ඇතිවන

මූලික ලක්ෂණ

* උදෑසන අවදි වනවිට ඇතිවන විලුඹ ආශි‍්‍රත වේදනාව

* දණහිස් ඉදිමුම

* තුනටිය පහල කොටසේ ඇතිවන වේදනාව

* බෙල්ලේ පහළ කොටසේ ඇතිවන වේදනාව

* ඇඟිලි ආශි‍්‍රතව එන වේදනාව

* අව බාහුක රෝගය (උරහිස ආශි‍්‍රතව ඇතිවන රෝගය)

සන්ධිගත වාත රෝග

වයසට යාමත් සමඟ සිරුරේ සන්ධි ස්ථාවල කාටිලේජ (තරුණ අස්ථි) ගෙවී යාම නිසා ඇති වේ. මෙම රෝග තත්ත්වය වැඩිවන්නේ ක්‍රමයෙනි.

ලක්ෂණ

* දණහිස් කෙවිම

* දණහිස් චලනයේදී ශබ්දයක් නැගීම

* ඇවිදීමේ අපහසුව