ගර්භණී සමයේ දියවැඩියාව පාලනය නොකළොත් සිදුවන දේ

ගර්භණී සමයේ දියවැඩියාව පාලනය නොකළොත් සිදුවන දේ

අලුත විවාහ වූ යුවළකගේ ප්‍රේමයේ අග්‍රඵලය වන්නේ දරු සිඟිත්තෙකුගේ මුහුණ බැලීමය. සිඟිත්තා කුස තුළට එන්නේ කෙදිනෙකදැයි බලාපොරොත්තු දහසක් දල්වාගෙන මාපිය යුවළ සිටින්නේ දරුවා ජීවිතයේ වටිනාම වස්තුව වන බැවිණි.

කුසහොත් දරුවා මොලොව එළිය දකින මොහොත එළඹෙන්නේ කවදාදැයි දිනෙන් දින මෝරණ කුස පිරිමදිමින් මව බලා සිටින්නේ උත්තරීතර මව් සෙනෙහසේ අගය කියා පාමිනි.

එහෙත් අවාසනාවකට මව්කුස තුළදීම දරුවාට අනතුරක් වුණොත්? ගර්භාෂය තුළම දරුවා මියැදුණොත්? ඒ වේදනාව මවට දරාගත හැකිවේවිද?

දරුවා මව්කුස තුළ මියයෑම, දරුවා ආබාධිත තත්ත්වයන් සහිතව ඉපදීම, දරුවා අඩු මාසයෙන් බිහිවීම, දරුවා අසාමාන්‍ය ලෙස විශාල වීම. මේ සියලු අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ නොදී නීරෝගිමත් දරුවකු බිහි කිරීමට නම් සත්තකින්ම මව නීරෝගීව සිටිය යුතුමය. මෙවැනි අවාසනාවන්ත සිද්ධීන්වලට ප්‍රධාන වශයෙන් බලපාන රෝගයක් ඇත. ඒ දියවැඩියාවයි. දියවැඩියාව යනු කිසිදා සුව නොවන රෝගයකි.

ඇතැම් ගැබිණි මව්වරුන්ට/ගර්භණී සමයේ දියවැඩියාව ඇතිවීමට ඉඩ ඇත. එයට බලපානුයේ ගර්භණී වූ විට මවගේ සිරුර අභ්‍යන්තරයේ ඉන්සියුලීන් හෝර්මෝන ප්‍රතිරෝධය වැඩිවීම මත සිදුවන වෙනස්කම්ය. එවිට දියවැඩියාව ඇතිවිය හැකි නමුදු මෙවැනි තත්ත්වයක් උදාවන්නේ ගර්භයට මාස 5 -6 සම්පූර්ණ වූ විටය. ගර්භණී මාතාවන්ගෙන් 10% කට මේ තත්ත්වය උදාවිය හැකි අතර නාගරික ගම්බද වෙසෙන ජනකොටස් සියල්ලටම මේ තත්ත්වය පොදුය. ගැබට මාස 6ක් වනවිට දියවැඩියාව වැළඳුණ ද දරු ප්‍රසූතියෙන් පසු දියවැඩියාව සුව අතට පත් වේ. මේ මාස 4 තුළ හට ගන්නා දියවැඩියාව තාවකාලික වේ. මේ සඳහා නිරන්තරයෙන් රුධිරයේ සීනි පරික්ෂාව (FBC) සිදු කරමින් එසේත් නැතිනම් ග්ලූකෝ මීටරයක් භාවිතා කොට දිනකට දෙවතාවක් (කෑමට පසු) රුධිරය පරීක්ෂා කිරීමෙන් අනතුරු වෛද්‍ය නිර්දේශය අනුව ඖෂධ භාවිතය ආහාර පාලනය තුළින් ගර්භණී සමයේ ඉතිරි මේ මාස 4 තුළ ඇතිවූ දියවැඩියාව සුවකර ගත හැක.

නමුත් බරපතල තත්ත්වය ලෙස සැලකෙන්නේ දියවැඩියා රෝගී කාන්තාව ගර්භනී වීමයි. අවාසනාවකට ඇයට දියවැඩියාව වැළඳී ඉහත සඳහන් කළ පරිදි ගබ්සාවිම ආදිය සිදුවීමට හේතුවන්නේ ගැබ් ගත් සමයේදීම මවට දියවැඩියාව ඇතැයි හඳුනාගත් මව්වරුන්ටය.

වර්තමානයේ දියවැඩියා ලෝකයේ ප්‍රමුඛත්වය දිනා සිටින්නේ ආසියාවයි. අපේ ලංකාව ද ඊට අයත් වීම නිසා ශ්‍රී ලාංකිකයන් 15% ක් දැනටමත් දියවැඩියාවට ගොදුරු වී ඇත. කුමක්දෝ අවාසනාවකට දියවැඩියා තරඟයෙන් ජය ගන්නට දකුණු ආසියාතිකයන්ගේ ජාන සමත් වී ඇති බව කියැවේ. එවැනි ජානමය තත්ත්වයක් තිබෙද්දී සීනි කාබෝහයිඩ්‍රේට්, ක්ෂණික ආහාර, වර්ග අධික ලෙස බුදිමින් ශරීර හොරුන් ලෙස පුටු රත්කරමින් සිටිද්දී දියවැඩියාව වැළඳීම අරුමයක් නොවේ.

එවැනි තත්ත්ව යටතේ පසුවන අපේ කාන්තා පක්ෂයට දියවැඩියාව වැළඳීමට ආරම්භ වන්නේ ඇතැම්විට තරුණ වයසේදීමය. තරුණ අපට මොන දියවැඩියාව දැයි කියමින් රිසි සේ ආහාර බුදින ඇතැම් යෞවනියන් තමන් දියවැඩියා රෝගීන් බව නොදැනීම අවාසනාවකට හේතුවකි. ඔවුන් දියවැඩියා රෝගීන් බව සනාථ වන්නේ මාස 3 පමණ ගිය පසු ප්‍රසව නාරි සායනයට පැමිණීමේදීය. එහිදී සිදු කෙරෙන රුධිර සීනි පරීක්ෂාවේදී (ජ්ඕඛ්) ඇය දියවැඩියා රෝගී මවක් බව පරීක්ෂණවලින් සනාථ වේ.

එපමණක් නොව දෙදෙනෙකුට කන්නට ඕනෑ යැයි පවසමින් වැඩිහිටියන් මෙවැනි ගර්භනී මාතාවන්ට කොස්, දෙල්, බත් පිඟන් ගණන් කන්නට දීමෙන් සිරුරට ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි වී රුධිරයේ සීනි මට්ටම තවදුරටත් ඉහළ අගයක පැවතීමය ඉඩ ඇත.

මේ තත්ත්වය සත්තකින්ම බරපතල වේ. මෙවැනි ගර්භනී මව්වරුන් නිරන්තරයෙන් සායනවලට පැමිණ රුධිර පරීක්ෂා කර වෛද්‍ය නිර්දේශ අනුව නිසි ඖෂධ ලබා නොගතහොත් ඇතැම්විට මවට අධි රුධිර පීඩනය, මව සීසර් සැත්කමට ලක් කිරීමට සිදුවීම, ප්‍රසූතියේදී අධික ලෙස රුධිරය වහනය වීම, කුසේ සිටින දරුවා විශාල වීම ඇතැම්විට අඩු බර දරු උපතක් ඇතිවීම යනාදිය සිදුවීම වළක්වාගත නොහැක.

විශේෂයෙන්ම මෙවැනි මව්වරුන්ට හයිපොග්ලයිසීමියා (රුධිරයේ සීනි සං්‍යුතිය අඩුවීම) තත්ත්වය උදාවිය හැකි අතර එවැනි තත්ත්වයන් යටතේ මවට සහ දරුවාගේ ජීවිතවලට පවා තර්ජන එල්ලවිය හැක. මෙම තත්ත්වයේ ඇතිවන අවාසනාවන්ත අතුරුඵලය වන්නේ 2 වැනි වර්ගයේ දියවැඩියාව වැළඳීමය. මෙවැනි දියවැඩියා රෝගී මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසුව ද දියවැඩියාව නැවත ඇතිවීමේ අකාරුණික ඉරණමට ගොදුරු වීමට තිබෙන අවදානමයි.

දියවැඩියාව කිසිදා සුව නොවන රෝගයකි. එය ගැබිණි මවට ද එකසේ බලපානු ඇත. නමුත් පාලනය කළ හැකි අතර ආහාර ව්‍යායාම් (ඇවිදීම වැනි සරල ව්‍යායාම්) ඖෂධ මඟින් ගැබිණි සමයේ දියවැඩියාව පාලනය කළ හැක.

එබැවින් ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් නම් ඔබ අනිවාර්යෙන්ම රුධිරයේ සීනි පරීක්ෂාවට යොමුවී ඔබේ රුධිරයේ සීනි සංයුතිය පරීක්ෂා කරගත යුතු වේ. නීරෝගි සිරුරක රුධිරයේ ග්ලූකෝස් මට්ටම තිබිය යුතු වන්නේ ථඨ 125 ට අඩුවෙනි.

ඔබ ගැබ්ගත් පසුව මුල් මාස 3 ඇතුළත ද, නැවත මාස 6 -7 ඇතුළත ද දියවැඩියාව සඳහා රුධිර පරීක්ෂාවක් කරගත යුතු වේ. එසේම ගැබිණි සමයේ දියවැඩියාව තිබුණේ නම් ඔබ දරු ප්‍රසූතියෙන් පසු මුල් මාස 3 ඇතුළත ද ඉන් පසු වසරක් පාසා රුධිරයේ සීනි පරීක්ෂාව කරගත යුතුය. දියවැඩියාව හඳුනාගත හැක්කේ රුධිරයේ සීනි පරීක්ෂාව මඟින් පමණි. එය හඳුනාගෙන පාලනය කළොත් දරුවාගේත් මවගේත් නීරෝගි බව රැකෙනු ඇත.

එසේ නොවුණහොත් ඔබගේ අලුත උපන් කිරි කැටියාට අනාගතයේදි උස් මහත්වූ පසු දියවැඩියාව වැළඳීමේ අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු වීමට ඉඩ ඇත.

ඒ දරුවාගේ, දරුවන්ටත් පරම්පරාවෙන් ජානමය තත්ත්වය මත දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාවය ඇති බව මව්වරු දැන සිටීම වටිනා කරුණකි.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දේශනයක් ඇසුරෙනි