රැකියාවට යන මව දරුවාට කිරි දොවා තැබිය යුතු ආකාරය

රැකියාවට යන මව දරුවාට කිරි දොවා තැබිය යුතු ආකාරය

වාට්ටුභාර හෙදි සොයුරිය (1 ශ්‍රේණිය)
ශික්ෂණ රෝහල -මහනුවර, මනෝවිද්‍යා හා උපදේශණ පාඨමාලාභී හා කළමනාකරණ හා සංවර්ධන ඩිප්ලෝමාධාරිණී, විශ්ව විද්‍යාලය-පේරාදෙණිය
ප්‍රියංගිකා අඹගස්පිටිය

සති කීපයක් පුරාම අපි මව්කිරි ලබාදීම සම්බන්ධව ඔබව දැනුවත් කළා. එනමුත් තවත් ගැටලු බොහෝමයක් ඔබට ඇතිබව නම් නිසැකයි. අපි තව දුරටත් එම ගැටලු නිරාකරණය කර ගනිමින් අපි අපේ රටට, ඇයට නීරෝගි, බුද්ධිමත් දරුවෙකු දායාද කරන්නට වෙර දරමු.

අපි මුලින් කතා කළ දේත් එක්කම මේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න එවිට ඔබේ සිතේ පවතින දෙගිඩියාවත් තුරන් වේවි.

බිළිඳාට මව්කිරි දීමේදී සමහර මව්වරුන් එක පියයුරකින් සෑමවිටම කිරි දීමට පෙළඹෙන්නේ විවිධ හේතු මුල්කර ගෙනයි.

1. දරුවා තබා ගැනීමට ඇති හුරුව හා පහසුව

2. තනපුඩු පැලී තිබීම.

3. කිරි තද වී /ගල් වී තිබීම

4. වේදනාවක් දැනීම

මේ කුමන හේතුවක් මත වුවද එක් පියයුරකින් මව්කිරි ලබා නොදුන් විට, එම පියයුරේ කිරි නිෂ්පාදනය නොවේ. එනම් නොකඩවා කිරි එරීමට නම්, පියයුරේ කිරි ඉවත් වීම (හිස් වීම) සිදුවිය යුතුමයි.

දරුවා එක් පියයුරකින්ම කිරි උරා බොන්නේ නම්, එම පියයුර වැඩි කිරි ප්‍රමාණයක් නිපදවයි. එවිට එය අනෙක් පියයුරට වඩා විශාල වේ.

දරුවා කිරි උරා නොබන්නේ නම්, එම පියයුරේ කිරි දොවා ඉවත් කිරීම හෝ කළ යුතුයි.

දැන් ඔබට හිතෙනවා ඇති “කොහොමද එක පියයුරක කිරි එරෙද්දී, අනෙක් පියයුරට කිරි එරෙන්නේ නැතිව තියෙන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. කිරි නිපදවීම අඩු කරන්න (නිෂේධනය) කරන්න සමත් ද්‍රව්‍ය මව්කිරිවල තියෙනවා. ඒවාත් අවශ්‍යයි. වැදගත් වෙන අවස්ථා තියෙනවා. පියයුරේ කිරි වැඩි ප්‍රමාණයක් ඉතිරිව තිබියදී තවත් නොකඩවාම කිරි නිපදවූවොත්, ඉන් සිදුවන වේදනාව, අපහසුතාවය, පීඩාවලින් ආරක්ෂා කර ගැනීම වගේම බිළිඳා මියගිය හෝ වෙනත් හේතුවක් නිසා මව්කිරි ලබාදීම නොකළ යුතු විට. (උදා. ඒඩ්ස් රෝගය සහිත මවක් නම් දරුවාට මව්කිරි ලබාදීම නොකළ යුතුයි) මෙවැනි විශේෂිත අවස්ථාවකදී නොකඩවා කිරි එරීම නතර කිරීමට මෙම නිෂේධක වැදගත් වේ.

දැන් ඔබට තේරෙනවානේ, කිරි උරා බීම හෝ කිරි දොවා ඉවත් කිරීම මඟින් තමයි කිරි එරෙන්න මඟ පෑදෙන්නේ කියලා.

කිරි දෙවිම ගැනත් ඔබට බොහෝ ගැටලු ඇති බව මං දන්නවා. අපි ඒ ගැනත් කතා කරමු.

කිරි දොවන්න වෙන අවස්ථා මොනවාද?

දරුවා එක පියයුරකින් පමණක් කිරි උරා බොයි නම්, අනෙක් පියයුරේ කිරි දොවා ඉවත් කළ හැක.

කිරි තද වී ඇති විට

තන පුඩු පැලි ඇති විට දරුවා කිරි උරා බීම නොකරයි නම්

රැකියාවට යන මවකට තම දරුවාට ලබාදිමට කිරි දොවා තබා යාමට පුළුවන.

මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන දන්නවාද?

1. කිරි දෙවීම කළ යුත්තේ දෑත් අඟිලි තුඩු භාවිතයෙන් පමණයි. මේ සඳහා කිරි දෙවීමට ඇති උපකරණ භාවිතා නොකළ යුතුයි.

2. මව තම පියයුරු හා දෑත් සබන් දමා හොඳින් සෝදා පිරිසිදු වියළි රෙදි කැබැල්ලකින් පිස දමා ගත යුතුයි.

3. කිරි දෙවීමට සුදුසු බඳුනක් (මේ සඳහා වෙළඳපොලේ ඇති සුදු යකඩ (ඵබචඪදතඥඵඵ ඵබඥඥත) කුඩා කෝප්ප සුදුසුයි. වතුර බඳුනක බහා හොඳින් උතුරුවා විෂබීජකාරක ඉවත් කර ගත හැකිය.

මෙසේ දොවා ගන්නා මව්කිරි පෙවීමට බෝතල් සූප්පු භාවිතා කිරීම කිසිසේත්ම නුසුදුය. ඊට හේතුව සූප්පුවෙන් පහසුවෙන් කිරි උරා බීමට පුරුදු වන දරුවා, මවගේ තනපුඩුව ඉරීම ප්‍රතික්ෂේප කරනු ඇත.

එහෙම නම් කොහොමද මේ කිරි පොවන්නේ කියලා කියලා ඔබට හිතෙනවා නේද?

කුඩා හැන්දකින් මුවට ළං කළ විට දරුවා හැන්දේ ඇති කිරි උරා බොන අයුරු අපූරුය.

කෝප්පය මුවට ළං කළ විට ද එලෙසම කිරි උරා බීමට, කුඩාම දරුවන්ට පවා හැකියාව ඇති බව අපි අත්දැකීමෙන් දනිමු.

ඔබ මේ සඳහා පුරුදු පුහුණුවීම හොඳයි. ඒ සඳහා ඔබට අපගේ සෞඛ්‍ය කාර්්‍ය මණ්ඩලවල සහාය ලබා ගන්න පුළුවන්. රෝහල් ගතව සිටින අවධියේදී හෙදි නිළධාරීන් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනු ඇත. නිවසට ගිය පසුද ඔබට හිතවත් ගමේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීණිය ඔබට සහාය වනු ඇත. ඇගේ සහාය ලබා ගැනීමට ඔබ උනන්දු විය යුතුය.

මෙහෙම දොවා ගත්ත කිරි කොච්චර වෙලාවක් තියා ගන්න පුළුවන්ද? මෙහෙම ගැටලු ඔබේ හිතෙත් පැන නගිනවා නේද?

දොවා ගත් මව්කිරිවල ඇති ආසාදනවලට එරෙහිව ක්‍රියා කරන සාධක නිසා එළකිරි වලට වඩා දිගුකලක් නරක් නොවී තබාගත හැකියි.

දොවාගත් මව්කිරි පැය 4 -8 ක් සාමාන්‍ය උෂ්ණත්ව ඇති කාමරයක තබා භාවිතා කළ හැකියි. කාලගුණය උණුසුම් වුවත් එය ගැටලුවක් නොවේ. කිරි බඳුන වසා තබා දරුවාට පෙවිය හැකියි.

ශීතකරණයක තියලත් මව්කිරි දෙන්න පුළුවන් කියලා ඔබ මොහොතකට සිතුවාද? දැන් පුළුවන් නේද එහෙම කරන්න.

එහෙම පහසුකම් නැත්නම් දොවා විසිකලද ඔබේ දරුවාට ඉන් පාඩුවක් නම් නොවේ.

දරුවාට දීමට නැවත කිරි එරෙනවා විතරක් නොවෙයි මව්කිරෙන් හිරවුණ පියයුරුවල වේදනාවෙන් ඔබට මිදෙන්නත් පුළුවන්. ඔබේ ඇඳුම් මව්කිරි නිසා තෙත් වෙන්නෙත් නෑ.

මව්කිරි දීම ගැන නම් තවත් ඔබ දැනුවත් වෙන්න ඕන දේවල් තියෙනවා. අපි ඉදිරියේදීත් ඒ ගැන කතා කරමු.

කිරි දෙවීමට ඇඟිලි තුඩු යොදා ගැනීමෙන් මවට ඇතිවිය හැකි වේදනාව ද වළක්වාගත හැකිය.

කිරි දෙවීමට විනාඩි 20 -30 වගේ කාලයක් වැය කරන්න වේවි. නිවැරදිව මෙය කරන්නේ නම් කිරි කෝප්ප දෙකක් වුව දොවාගත හැක.

(400 - 500ථත)

මෙසේ දොවාගත් මව්කිරි කාමර උෂ්ණත්වයේ තබා පැය 4 -6 ක කාලයක් තබා භාවිතා කළ හැකියි.

ශීතකරණයේ පහළ කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 - 4 තබා පැය 48ක් තුළ භාවිතා කළ හැකියි.

අධි ශීතකරණයේ තබා මාස 03ක් භාවිතා කළ හැකි බව ඔබ දන්නවාද?