කොණ්ඩේ සුදුයි පිළියමක් නැද්ද

කොණ්ඩේ සුදුයි පිළියමක් නැද්ද

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය
මහින්ද හේමප්‍රිය

කොණ්ඩය හෙවත් හිසකෙස් සඳහා ලොකු කුඩා බාල මහලු සෑම දෙනා දක්වන්නේ පුදුම උනන්දුවක්. කොතරම් වයසට ගියත් කොණ්ඩය කළු කර තබා ගැනීමට මිනිසුන් දකවන උනන්දුවෙන් පේන්නේ “හිසකෙස්” අප තුළ සිදුකර ඇති බලපෑමයි. හිසකෙස් “සුදුවීම” ගැන අද අපි කතා කරමු.

හිසකෙස් “සුදු” වෙන එක ගැන සාකච්ඡා කරන්න පළමුව හිසකෙස් වල ඇති වර්ණය ගැන ටිකක් දැන ගෙන ඉඳිමු. හිසකෙස් වල වර්ණය සඳහා පාදක වන්නේ එහි ඇති “මෙලනින්” නම් වූ වර්ණකයයි. මෙම වර්ණකය වර්ග දෙකක් ලෙස හිසකෙස් තුළ දක්නට ලැබෙනවා. ඒ තැඹිලි හා කහ පාටට ඇති Pheomelanin සහ කළු දුඔුරු පාටට ඇති eumelanin  වර්ණකයි. මෙම වර්ණක දෙකේ සම්මිශ්‍රණය අනුව අපිට අපගේ හිසකෙස් වල ස්වභාවික වර්ණය ලැබෙනවා. මෙම වර්ණක දෙකේ අනුපාතය අනුව කළු පාට, දුඔුරු පාට, විදේශිකයන්ගේ දක්නට ලැබෙන තඔ පාට, රතු පාට ආදී ලෙස වර්ණය තීරණය වෙනවා. මේ ආකාරයට අපිට ස්වභාවිකව ලැබෙන වර්ණකය අපගේ පරම්පරාගත ජාන අනුව, භූගෝලීය ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි සමෙහි වර්ණය හා ඇස් වල වර්ණය පවා සමහර විට ඒ අනුව තීරණය වෙනවා. දේශීය හා විදේශීය පුද්ගලයන් නිරීක්ෂණය කිරීමේදී මේ කාරණය ඔබට වඩාත් පැහැදිලි වෙනවා ඇති.

හිසකෙස් “සුදු වීම” යන ක්‍රියාවලියේදී සිදුවන්නේ “සුදුපාට” වර්ණකයක් ඇතිවීම නම් නෙවෙයි. මෙහිදී ඇත්තටම සිදු වන්නේ හිසකෙස් වල ඇති ස්වභාවික වර්ණය වයස්ගත වීම හෝ වෙනත් හේතූන් නිසා නැති වී යාමයි. වර්ණකය නොමැතිව, අවර්ණ වූ හිසකෙස් “සුදුපාට” ලෙස දර්ශනය වනවා. අවර්ණ වූ හිසකෙස් සුදුපාටට පෙනෙන්නේ ආලෝකය ඒ මත පරාවර්තනය වීම නිසයි. හිසකෙස් සුදුවීම සඳහා බලපාන ප්‍රධාන සාධකය වන්නේ ‘වයසට ‘ යාමයි. මෙලෙස හිසකෙස් සුදුවන වයස ජානමය හා භූගෝලීය සාධක අනුව වෙනස් වනවා. බටහිර ජාතීන්ගේ වයස 30 ආසන්නයේදීත්, ආසියානු ජාතීන්ගේ වයස 40 ආසන්නයේදීත් අපි‍්‍රකානු ජාතින්ගේ වයස 50 ආසන්නයේදීත් මෙලෙස ‘සුදුවීම ‘ පටන් ගන්නා බව නිරීක්ෂණය කර තිබෙනවා.

මීට අමතරව සමහර අවස්ථා වලදී කුඩා වයසේදී පවා සුදු කෙස් ඇතිවීම සිදුවෙනවා. මෙය ජානමය හේතු නිසා හෝ තයිරොක්සීන් ඌනතා නිසා, විටමින් B 12 ඌනතාව ආදී රෝග තත්ත්වයන් නිසා හෝ සමහර විට ඇතිවිය හැකි වෙනවා.

හිසකෙස් ‘සුදු වීම’ හෙවත් හිසකෙස් වල වර්ණය වෙනස් වීම සඳහා බලපාන සාධක ගැන සොයා බලමු. මුලින් සඳහන් කළ පරිදි ප්‍රධාන සාධකය වන්නේ වයසට යාමයි. ශරීරයේ ඇති කෙස් හෙවත් රෝම වර්ග සුදු වීම බොහෝ විට සිදුවන්නේ මුලින්ම නාසයේ ඇති රෝම සුදු වීමත්, මීළඟට රැවුල ප්‍රදේශයෙත්, මීළඟට ශරීරයේ අනෙක් කොටස් වල ඇති රෝමත් අවසානයේ දී ඇහිබැම තුළ ඇති රෝමත් යනාදී ලෙසයි.

වයස්ගත වීමට අමතරව ලෙඩ රෝග වැනි වෛද්‍යමය කාරනා මේ සඳහා බලපානවා. සුදු කබර ඇතිවීම හෙවත් සමෙහි මෙලනින් වර්ණකය නැති වී යාමද, උපතින්ම මෙලනින් වර්ණකය අහිමි වන ‘ඇලි’ (Albinism) රෝග තත්ත්වයේදී මන්ද පෝෂණය ඇති විටදී හිසකෙස් වෙනස් වර්ණයන්ට හැරීමද, විටමින් B12 ඌනතාවයද, Werner Syndrome නම් වූ රෝග තත්ත්යද මෙහිදී සඳහන් කළ හැකි තත්ත්වයක් වෙනවා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් වන්නේ ලිපියේ මාතෘකාවේදී සඳහන් කළ පරිදි “පීනස” සමඟ හිසකෙස් සුදුවීමේ ස්වභාවයක් නොමැති බවයි. පීනසට හිසකෙස් සුදුවීම කිසියම් සමාජමය විශ්වාසයක් පමණක් වනවා.

මෙම කාරණා වලට අමතරව ‘දුම්පානය’ කිරීම අකලට හිසකෙස් සුදුවීම කෙරෙහි තදින්ම බලපාන දෙයක් වනවා. දුම්පානය කරන අයගේ අකලට හිසකෙස් සුදුවීමේ ඉඩකඩ දුම්පානය නොකරන අයකුට වඩා හතර ගුණයක් වැඩිවන බව සොයාගෙන තිබෙනවා.

සුදුකෙස් නැවත කලුබවට හැරවීම සඳහා මෙතෙක් විශේෂ විටමිනයක්, ප්‍රෝටීනයක් හෝ ආහාරමය ඖෂධයක් සොයාගෙන නැති අතර එවැනි ක්‍රම මඟින් සුදුවීම නතර කිරීමට උත්සාහ කිරීම හෝ සුදුකෙස් කලු කිරීමට උත්සාහ කිරීම ද නිශ්චල ක්‍රියාවන් වනවා. සමහර පිළිකා සඳහා ප්‍රතිකාර කරන අවස්ථාවල, පිළිකා නාශක ඖෂධ මඟින් සුදුකෙස් කලුවන අවස්ථා නිරීක්ෂණය කර තිබුණත් සුදුකෙස් කලුකිරීම සඳහා වූ ප්‍රතිකාරයක් ලෙස, ඒවායේ සුදුකෙස් කලු කරීම සඳහා වූ ප්‍රතිකාරයක් ලෙස, ඒවායේ ඇති දරුණු අතුරු ආබාධ නිසා භාවිතා කරන්නේ නැහැ.