අන්න ඔයාගේ දුව කවුද කොල්ලෙක් එක්ක ත්‍රීවිලර් එකේ යනවා මම දැක්කා

අන්න ඔයාගේ දුව කවුද කොල්ලෙක් එක්ක ත්‍රීවිලර් එකේ යනවා මම දැක්කා

මහනුවර මහ රෝහලේ
ලිංගික හා ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ගංගා පතිරණ

“ඈ කොණ්ඩෙ දිගට දලා හැම උදේම එනවා. පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා. පොත් මිටියයි කුඩේයි අතේ නැහැ වරදින්නේ එයාට අපි ටීචර් කියලයි අමතන්නේ.”

අම්මාගේත් තාත්තාගෙත් සුරතලිය වුණු ෂෙහානි පුංචි කාලේ ඉඳලා මේ සින්දුව නිතරම මුමුණවා. ඒ විතරක් ද අම්මාගේ සාරි ඇඟේ පටලවාගෙන අඩි උස සපත්තු දාගෙන පොත් මිටියක් තුරුල් කරන් වේවැලක් අරන්

ළමයින්ට උගන්නවා. ෂෙහානි පුංචි කාලේ ඉඳලා හීන දැක්කේ ටීචර් කෙනෙක් වෙන්න. පවුලේ එකම දරුවා වුණු ෂෙහානිට තිබුණු හීනය දිනෙන් දින මල් ඵල දරණ බව ඉස්කෝලෙදි එයා දැක්වු දක්ෂතා නිසා අම්මා තාත්තා විතරක් නෙමෙයි පාසලේ හිටපු ගුරුවරු පවා හොඳින්ම අවබෝධ කර ගෙන හිටියේ. පන්ති කාමරයේ වැඩ කටයුතු වලදී විතරක් නෙමෙයි ක්‍රීඩා තරඟ, නර්තන, ගායන, වාදන මේ සෑම අංශයකටම ෂෙහානි දැක් වූ දක්ෂතාව පුදුමාකාරයි. පවුලේ එකම දරුවා වුණු ෂෙහානි අම්මා තාත්තගේ ආදරේ විතරක්ම නෙමෙයි, පාසලේ කාගෙත් ආදරය අවදානය නොඅඩුව දිනාගත්ත දරුවෙක්.

දරුවාගේ දක්ෂතා ගැන බොහොම සතුටින් කාලය ගත කරපු ෂෙහානිගේ අම්මත් තාත්තත් දරුවට කිසිම වෙලාවක අඩුවක් වෙන්න දුන්නේ නැහැ. ලැබෙන සුළු පඩිය පවා පිරිමහගෙන කාටවත් කරදරයක් නොවී ලස්සනට තමන්ගේම කියලා ගෙදරක ජීවත්වුණු ෂෙහානිලා, ජීවිතේ ගත කළේ හරිම සතුටින්. හැම වෙලාවෙම ගෙදර පිළිවෙලට පිරිසුදුවට තියා ගන්න අම්මා කොයි වෙලාවෙත් උත්සාහ කළේ තමන්ගේ දරුවාගේ ඉගෙනීමට තව තවත් උදව්වක් වේවි කියලා හිතාගෙන. කාලය මේ විදිහට ගත වෙලා O/L වලටත් සුදානම් වෙන්න තරමට ෂෙහානි දැන් උස් මහත් වුණු දරුවෙක්.

වයස අවුරුදු 16ක් කියන්නේ ඒ තරම්ම හොඳ වයසකුත් නෙවෙයි. කවුරුවත් හිතුවේ නැති විදිහට ෂෙහානි ගෙදරටත් හොරා පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තේ වයසේ වැරැද්දටම වෙන්න ඕන. පාසල තුළත් ගමේත් කැපී පෙනුණු චරිතයක් වුණු ෂෙහානි කා අතරත් කථා බහට ලක් වුණු ජනපි‍්‍රය චරිතයක් නිසා මේ විදිහේ සම්බන්ධයක් ඇති කර ගත්ත එක වැඩි දවසක් හංගාගෙන ඉන්න එයාට ඉඩ ලැබුණේ නැහැ.

ෂෙහානි විනෝජ් අතර සම්බන්ධය කොයි තරම් දුරදිග ගියාද කියනවා නම් ෂෙහානි ඉස්කොලේ යනවා කියලා බොරු කියලා විනෝජ් එක්ක හොර ගමනක් ගියා. ෂෙහානි කියන්නේ කවුරුත් දන්න හඳුනන කෙනෙක් නිසා කාටත් හොරෙන් මේ ගමන යන්න හිතුවත් වැඩක් වුණේ නැහැ. හොරෙන් යන්න හිතපු මේ ගමන අන්තිමට අවසාන වුණේ ෂෙහානිලාගේ අම්මලාට මේ බව ආරංචි වෙලා.

“අන්න ඔයාගේ දුව කවුද කොල්ලෙක් එක්ක ත්‍රීවිලර් එකේ යනවා මම දැක්කා.”

මේ ආරචිය අහපු ෂෙහානිගේ අම්මාට අදහා ගන්න බැරි වුණා. කලබලේම ඉස්කෝලෙට ගිහින් දරුවා නැති බව දැනගෙන එයාව හොයන්න පොලිසියටත් බාර කළා. මුළු දවසම පොලිසිය, පාසල, අම්මලා හැමෝම එකතු වෙලා ෂෙහානිව හෙව්වත් එයාව හොයාගන්න පුළුවන් වුණේ නැහැ. කොහොම වුණත් රෑ වෙලා ගෙදර ආපු ෂෙහානි කිව්වේ ඒ පිරිමි ළමයාගෙන් තමන්ට කිසිම කරදයක් වුණේ නැහැ කියලා. නමුත් මේ ප්‍රශ්නෙට පොලිසිය මැදිහත් වුණු හින්දා විනෝජ්ව පොලිසියේ අත්අඩංගුවට පත්වුණා.

පස්සේ නිදහස් වෙලා ආවත් නැවත නැවත ෂෙහානි හොයාගෙන එන්න පටන් ගත්ත නිසා නිවසින් පිට තැනක එයාව නවත්නත්න අම්මාලට සිද්ධ වුණා. ඒ වගේම මේ ගැටලුව නිසා ඉස්කොලේ ගුරුවරුන්ට මුහුණ දෙන්න ෂෙහානිට පුළුවන් වුණේ නැහැ. ගමේ හැමෝම මේ ගැන දන්න නිසා ගෙදර ඉන්න බැරි තත්ත්වයක් මේ අසරණ පවුලට ඇති වුණා. මොනතරම් දක්ෂ ළමයෙක් වුණත් අනවශ්‍ය විදිහේ සම්බන්ධයක් ඇති කර ගත්ත නිසා ජීවිතේ නොසිතුව ආකාරයේ කරදරයට මුහුණ දෙන්නට සිද්ධ වුණා. දෙමාපියන් පවා සිතාගෙන සිටියේ දරුවා ඉගෙනීමට දක්ෂ නිසා ඉදිරි අනාගතය දීප්තිමත් කරගන්නට හැකිවේවි කියලා. නමුත් මේ වෙන කොට ඉගෙන ගන්න තිබුණු අවස්ථාව ෂෙහානිට මඟ හැරිලා විතරක්ම නෙමෙයි සමාජයට මුහුණ දෙන්නත් බැරි තරමට ජීවිතය අසරණ වෙලා.

ෂෙහානිට මුහුණ දෙන්නට වුණු මේ කථාව මෙවැනි වයස්වල පසුවන දියණියන්ට හොඳ ආදර්ශයක්, ඉගෙනගන්නට තිබෙන කාලය කැප කරලා අනවශ්‍ය සබඳතාවලට යොමු වීම නිසා ලස්සනට ගොඩ නඟාගන්නට පුළුවන්කම තිබුණු ජීවිතය අනවශ්‍ය ආකාරයට දුකට පත්වෙලා. විශේෂයෙන් ගැහැනු දරුවෙක් තමන්ගේ ජිවිතය ගැන තීරණයක් ගන්න කොට වරක් දෙවරක් නොව සිය දහස් වරක් සිතා බලන්නට අවශ්‍යයි. එසේ නොකළොත් තමාගේ ජීවිතය අසරණ වෙනවා විතරක්ම නෙමෙයි තමාගේ පවුලේ අයට ද බලපෑම් ඇතිවන බව අවබෝධ කර ගන්නට අවශ්‍යයි. ජිවිතයේ තිබෙන යහපත් බලාපොරොත්තු විශේෂයෙන් ඉගෙන ගන්න වයසක පසුවන දැරියක් මුහුණදෙන මෙවැනි සිදුවීම් නිසා විනාශ වී යන්නේ පුදුමාකාර විදිහට. ඒ නිසා ලස්සන අනාගතයක් ගොඩනගාගෙන රටට සමාජයට යහපතක් සිදුකරන වගකිවයුතු අයෙකු ලෙස කටයුතු කිරීම වගබලා ගන්නට අවශ්‍යයි. කිසිවගකීමක් නැති හුදෙක් හැඟීම් වලටම පමණක් වහ වැටිලා කටයුතු කළොත් එය තමන්ගේ ජීවිතය තමා විසින්ම විනාශ කර ගත්තා හා සමානයි.