නිවැරදිව දත් මැදීම

නිවැරදිව දත් මැදීම

නිවැරදිව දත් මැදීම, දන්ත ගැටලු බොහොමයක්ම අවම කරගත හැකි පහසුම මාර්ගයයි. එහිදී කුඩාම ළදරුවකුගේ මුඛය පවා පිරිසුදුව තබා ගැනීම බොහෝ වැදගත් වේ. එනම් දත් මතුවීමට කලින් සිටම පිරිසුදු රෙදි කැබැල්ලකින් බිළිඳාගේ මුඛය පිරිසුදු කිරීම වැදගත්ය.

දත් මැදීම යනු දත් මතුපිට ඇති සෑම පෘෂ්ඨයක්ම හොඳින් පිරිසුදු කිරීමයි. එනම් දතේ හපන පැත්ත පිට පැත්ත අතුළු පැත්ත සහ දත් අතර යන කොටස් සියල්ලක්ම හොඳින් පිරිසුදු කිරීමයි. දත් මැදීමට ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිතා කිරීම ද ඉතා වැදගත් වේ.

වැඩිහිටියකුට නම් දන්තාලේප, කඩල ඇටයක ප්‍රමාණයක් ද කුඩා දරුවකුට නම් මුං ඇටයක ප්‍රමාණයක් ද නිර්දේශ කරයි. දත් තුන හතරක් මතුවන අවධියේ සිටින දරුවන්ට මේ කාලයේ දී බුරුසුවක් ආධාරයෙන් දත් මැදීම හඳුන්වාදිය හැකි අතර එවැනි දරුවන්ට නිර්දේශ කරනුයේ දන්තාලේප ගැනීමේදී ටියුබය මිරිකීමක් නොකර මූඩිය ඇර බුරුසුව දන්තාලේපවල ඇතිල්ලීමෙන් පමණක් ගන්නා දන්තාලේප ප්‍රමාණයය.දත් මැදීම සඳහා ඔබ තෝරා ගන්නා බුරුසුවේ හිස කුඩා විය යුතුය. එනම් බුරුසුවේ හිස මුඛයේ සෑම දතකටම ළං විමේ හැකියාවක් සහිත ප්‍රමාණයේ මෘදු කෙඳි සහිත විවිධ හැඩයන් වෙනුවට එක සමාන මට්ටමකින් කෙඳි පිහිටා ඇති බුරුසුවකි.

දත් අපට වැදගත් ඇයි?

යාන්ත්‍රික ජීර්ණයට (දත්වලින් ඇඹරීම හා කැඩීම) හා රසායනික ජීර්ණයට ලක් කිරීම සිදු කරයි. එය අපගේ පෝෂණය සඳහා ඉතා වැදගත් වේ.

එසේම පුද්ගලයකුගේ පෙනුමට, හා පෞරුෂයට ද නිවැරදිව වචන උච්චාරණය කිරීමට ද දත් බෙහෙවින් වැදගත් වේ.

ස්වයං මුඛ පරීක්ෂාව

මෙහිදී කණ්ණාඩියක් මාර්ගයෙන් උඩුතොලේ යටිපැත්ත, පිට පැත්ත, ඇතුල් පැත්ත, කම්මුලේ ඇතුළු පැත්ත, උඩ හා යටි හනුවල ඇතුල් පැත්ත, විදුරුමස, දිවට යටින් පිහිටි ශ්ලේෂ්මල පටලය, දිවේ යටි පැත්ත, උඩ පැත්ත, උඩු තල්ල යන කොටස් ස්වයං මුඛ පරික්ෂාවකින් තමාටම පරීක්ෂා කරගත හැක. එහිදි මුඛයේ යම් වෙනසක් ඇත්නම් එනම් පැහැයේ වෙනසක්, ඝන වීමක්, සුදු, රතු ලප, ශ්ලේෂ්මල පටලයේ තුවාල වීමක් වැනි දෙයක් නිරීක්ෂණය කළහොත් ඉක්මනින් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම අවශ්‍ය වේ. විශේෂයෙන්ම බුලත් සපන අය, මධ්‍යසාර භාවිතා කරන, දුම්පානය කරන අය පුවක් ආශි‍්‍රත නිෂ්පාදන පාවිච්චි කරන අය වැඩි අවදානමක් සහිත අය බැවින් එබඳු අයත් අවුරුදු 35ට වැඩි අයත් විශේෂයෙන් පුරුෂ පාර්ශ්වයේ අයත් මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්ය.