දන්ත පථ

දන්ත පථ

අපගේ මුඛයේ බැක්ටීරියා ගහණය (දන්ත පථ) නිරන්තරයෙන් වැඩීම සිදු වේ. එසේම එය නිරන්තරයෙන් පාලනය විමක් ද සිදු වේ. සාමාන්‍යයෙන් අප තන්තුමය ආහාර ගැනීමේදී හා විකීමේදී සිදුවන මුඛයේ ක්‍රියාකාරීවීම හරහා යම් පමණකට ඒවා ඉවත්, වීමක් ද සිදු වේ.

ඒ අයුරින් පුරාණ මිනිසුන්ගේ දත් දිරා යෑම් අඩු මට්ටමක තිබූ බව හඳුනාගත හැක. හේතුව ඔවුන්ගේ ආහාර රටාව වෙනස් එකක් වූ අතර තන්තුමය ආහාර බහුලව පැවතීමය. එම තන්තුමය, රළු ආහාර සැපීමේදී ස්වභාවිකව දත්වල ඇති මැලියම් ගැලවී දන්ත පථ ඇති වීම ද පාලනය වේ.

අද තත්ත්වය මෙයින් බොහෝදුරට වෙනස්ය. කාර්යය බහුල ජීවන රටාවට ගැලපෙන පරිදි වැඩිදෙනෙකු තෝරා ගනුයේ පිරිපහදු කරන ලද හා සීනි අධික ආහාර වේ. නමුත් තන්තු සහිත ආහාර සැපීමට වැඩි වේලාවක් ගත වේ.

එමඟින් ඛේට ග්‍රන්ථි උත්තේජනය වීමෙන් ඛේට ස්‍රාවය ද වැඩි වේ. එහි වාසිය නම් එමඟින් ආහාරයේ ඇති පැණි රස අඩු වී ඛේටය සමඟ මිශ්‍ර වීමෙන් එහි සාන්ද්‍රණය අඩු වීමය. එමඟින් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ද ස්වභාවිකව පාලනය වී දත් දිරායාමේ හැකියාව ද පාලනයකට ලක් කරයි.

බැක්ටීරියා වැඩීම නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවලියකි. එබැවින් එය පාලනයකට යටත් කිරීම පමණක් කළ හැකි වේ. නිවැරදිව දත් මැදීමෙන් දන්ත පථ ඇති වීම පාලනයක් කළ හැකි වේ.

නමුත් දන්ත පථ ඇතිවීම දිගින් දිගටම පාලනය නොකළහොත් ඒ මතට ඛේට ග්‍රන්ථියෙන් ස්‍රාවය වන කැල්සියම් තැන්පත් වී ඒවා ඝන වේ. එය දන්ත අශ්මිය නම් වේ.

එම තත්ත්වයට පත් වූ විට එය දත් මැදීමෙන් පමණක් ඉවත් කළ නොහැකි වේ. එම අවස්ථාවේදී එම දන්ත පථ ඉවත් කිරීම දන්ත වෛද්‍යවරයෙකු මඟින් සිදු කළ යුතු වේ. විශේෂයෙන්ම මෙමඟින් විදුරුමස් රෝග ඇති වීමට ද බලපෑමක් ඇති බැවින් දන්ත පථ පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වීම වැදගත් වේ.

මුඛ රෝග වළක්වා ගනිමු

නිවැරදි ආහාර රටාවක් පවත්වා ගැනීම මඟින් මුඛ රෝග වළක්වා ගැනීම පහසු වේ.

මුඛ සෞඛ්‍ය නිසිලෙස පවත්වා ගැනීම මඟින් අනිකුත් රෝග වළක්වා ගත හැකි වේ.

දියවැඩියාව හා විදුරුමස් රෝග අතර සම්බන්ධයක් ඇතැයි හඳුනාගෙන ඇති බැවින් දියවැඩියාව වළක්වා ගැනීම හෝ පාලනය ද වැදගත් වේ.

මුඛ රෝගවලට හේතු

අපගේ මුඛය තුළ නිරන්තරයෙන් බැක්ටීරියා ජීවත් වේ. නමුත් බිළිඳකු උපදින අවස්ථාවේ දරුවාගේ මුඛයේ බැක්ටීරියා නොපවතින අතර මවගේ ඇසුරේදී දරුවාට බැක්ටීරියා සම්පේ‍්‍රෂණය වීමක් සිදු වේ. එම බැක්ටීරියා ගහණය දරුවකු ඉපදි ගෙවෙන මුල් අවුරුදු තුන ඇතුළත කාලයේදි ස්ථාවර වේ. ඉන් පසු එය මුළු ජීවිත කාලය පුරාම නොවෙනස්ව පවතී. එහිදි මවගේ මුඛයේ දන්ත හා මුඛ රෝග අධිකව පවතී නම් ඊට හේතුකාරක වන බැක්ටීරියා, දරුවාට ද සම්ප්‍රේෂණය වේ. එවැනි දරුවකු දත් දිරායාම් හා වෙනත් මුඛ රෝගවලට පහසුවෙන් ගොදුරුවීමේ අවදානමක් පවතී.