කවුරු බලන්න ද කවුරු දකින්න ද මා දැන් මහලු වියේ....

කවුරු බලන්න ද කවුරු දකින්න ද මා දැන් මහලු වියේ....

කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය අංශයේ කථාකාචාර්ය රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ආසිරි රොද්‍රිගු
රාගම ශික්ෂණ රෝහලේ මානසික සෞඛ්‍ය ලේඛකාධිකාරී වෛද්‍ය නිසංසලා ලියනගේ

මෙලොව උපන් මොහොතේ සිට ගතවන හැම තත්පරයකම ඔබත් මමත් එක්තරා ගමනක් යනවා. ඒ ගමනේ එක් අන්තයකට ළං වෙනවිට සමහර අයට මේ විදිහටත් සිතෙන්නට පුළුවන්.

“කබාය ඉරිලා. ඊට කමක් නැහැ. කවුුරු බලන්න ද කවුරු කවුරු දකින්න ද මා දැන් මහලු වියේ.....”

ගතින් මහලු වුවත් සිත තවමත් අතීත මතකය පුරාම සැරිසරන නිසාම තවත් සමහර අයට මේ විදිහටත් සිතෙන්නට පුළුවන්.

“පාරට බැස්සම නොවැ සීතල වැඩි තනිකම ඊට වැඩියි. හිරිපොද වැස්සේ එකම කුඩය යට තෙරපි තෙරපී අර යුවළක් යන හැඩ. මමත් ඔහොම ගිය හැටි මතකයි. මට හොඳ හැටි මතකයි”

ඒ මතකයන් අතර තනිවන මහලු සිතක ඇතිවන හුදෙකලාව, පාලුව කෙතරම් වේදනාකාරී විය හැකිද? වයසින් කෙතරම් මුහුකුරා ගියත් ඔබට එය දරාගන්නට හැකිවේවිද? මනෝ වෛද්‍ය විද්‍යාත්මකව විමසා බලමු.

වයස්ගත බව අවබෝධ වීම

ඕනෑම පුද්ගලයකුගේ වයස්ගත වීම එක් දිනකින් සිදුවන ක්‍රියාවලියක් නොවේ. එය දීර්ඝකාලින වූවක්. ඕනෑම අයෙකු තමන්ගේ යෞවන විය ඉක්මවනවාත් සමඟ මෙම තත්ත්වයට ක්‍රම ක්‍රමයෙන් මුහුණ දීමට සිදුවීම අතිශය ස්වභාවික ක්‍රියාවලියක්. නමුත් විවිධ අයට වයස්ගත වීම පිළිබඳ සංවේදන ඇති වන්නේ විවිධාකාර අයුරින්. උදාහරණ ලෙසට හිසකෙස් සුදු පැහැති වීම, ලෙඩ රෝග ඇතිවන විට තමා දැන් වයස්ගත අයෙක් යැයි සිතන්නට හැකියි. එසේ වුවත් සාමාන්‍ය සමාජය තුළ වයස්ගත විම බොහෝදුරට විශේෂීකරණය වන්නේ විශ්‍රාම ජීවිතයට ඇතුළු වූ පසුවයි. එනම් වයස අවුරුදු 60 ඉක්මවූ පසුව.

වයසත් සමඟ ඇතිවන ගැටලු

ශාරීරික සෞඛ්‍යයේ පිරිහීම වයසත් සමඟ ඕනෑම අයෙකුට මුහුණ දීමට සිදුවන ස්වභාවික තත්ත්වයක්. බොහෝදුරට ඔවුන් දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වැනි බහුලව දැකගත හැකි කුමන හෝ රෝගී තත්ත්වයකින් පීඩාවට ලක්විය හැකියි. එසේ නොමැති නම් ඇස් පෙනීම අඩුවීම, ශ්‍රවණය දුර්වලවීම, සන්ධි වේදනා ගෙන දීම ආදී විවිධාකාර ඉන්ද්‍රියය දුර්වලතා පෙන්විය හැකියි.

සමාජමය වශයෙන් ඇතිවන වෙනස්කම්

යම් ලෙසකින් වයෝවෘද්ධ භාවයට මුහුණදෙන තැනැත්තා පෙරදී රැකියාවක් සිදුකළ අයෙක් නම් තම තරුණ අවදිය තුළ රැකියාව සමඟ රැඳුණු සමාජීය සබඳතා පෙරට වඩා අවම මට්ටමට පත්විය හැකියි. අත මිට මිල මුදල් ගැවසීම ද අවම වන අතර තමාගේ වෘත්තිමය සඟයන්, මිතුරු මිතුරියන් පමණක් නොව තම දුවා දරුවන්ගෙන් පවා වෙන් වීමට සිදුවීම නිසා සමාජමය වශයෙන් ඔවුන්ට ඇතිවන්නේ විශාල පසුබෑමක්. විශේෂයෙන් වර්තමානය තුළ බහුල වශයෙන් දුවා දරුවන් විදේශ ගතවීම හෝ මාපියන් තනිකර වෙන්ව ජිවත් වීම නිසාද ඔවුන් තව තවත් හුදකලාවට ලක් වේ. මේ අනුව තොරතුරු විමසා බැලීමේදී පුද්ගලයෙකු ක්‍රමයෙන් වයස්ගත වනවිට මිතුරන්, දරුවන්, වෘත්තීමය සඟයන් වගේම විශේෂයෙන් ජීවන සහකරු හෝ සහකාරිය මිය යාම නිසා විවිධාකාර වූ පැතිකඩ ඔස්සේ ඔවුන් හුදකලා වනු ලැබේ.

මෙසේ සමාජය සමඟ එතරම් නොගැවසීම නව මිතුරන් ඇති කර ගැනීමට බාධාවක් වන අතරම මෙම සියලු තත්ත්වයන්ගේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඔවුන් තම ජීවිතය තුළ තව තවත් තනිකමට හුදකලාව පත්විමයි.

තනි වීම හා වයස්ගත වීම

නවතම මනෝ වෛද්‍ය විද්‍යාත්මක පරීකෂණ අනුව පුද්ගලයකු ක්‍රමයෙන් වයස් ගතවනවිට හුදකලාවට පත්වීම ජීවිතයේ ගුණාත්මකභාවයට දැඩි තර්ජනයකි. කෙසේ වෙතත් මෙසේ ඇතිවන තනිකම ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් මත රඳා පවතිනු ලැබේ. ඒවා නම් සමාජ සබඳතා කෙතරම් දුරට පවතිනවාද? හා එම සබඳතා කෙතරම් තදින් අදාළ පුද්ගලයාට දැනෙනවාද යන්නයි.

උදාහරණයක් වශයෙන් ඇතැම් අයට කෙතරම් මිතුරන් සිටියත් තමා තනි වී ඇති බව හැඟෙන අතර තවත් සමහර පිරිසකට තමාට මිතුරන් එක් අයෙක් දෙදෙනෙක් පමණක් සිටියත් තමාට සැමදේම හිමි යැයි සිතනු ලැබේ.

මේ අනුව විමසා බලන කල තනිකම, පාළුව කෙතරම් දැනෙනවාද යන්න විවිධ පුද්ගලයා අනුව වගේම ඔවුන් සිතන ආකාරය අනුව යම් යම් වෙනස්කම් වලට ලක් වේ. මීට අමතරව තවත් වයෝවෘද්ධ මට්ටමේ පසුවන අයට තම දෛවය තමාට වෙනස් කරගත හැකි යැයි සිතෙනවා නම් හා ඕනෑතරම් මුදල් හිමි නම් මිතුරන් සිටියත් නොසිටියත් පාළුව තනිකම එතරම් නොදැනෙන බවද වෛද්‍ය පර්යේෂණ මත තහවුරු වී ඇත.

වයස්ගත ජනගහනය ක්‍රමයෙන් වර්ධනය වීම මේ වනවිට අප රටට තිබෙන බරපතළ ගැටලුවක්. එවැනි තත්ත්වයක් සඳහා අපේ තිබෙන සූදානම කුමන ආකාරද? විවිධාකාර හේතු මූලික කරගෙන පාළුවෙන් තනිකමින් සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් අපට තිබෙන විසඳුම් පිළිබඳ අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවකි.

අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග

* පන්සල, පල්ලිය, කෝවිල වැනි ක්‍රම හරහා වයෝවෘද්ධ ජනතාව අතර සමාජීය සබඳතා වැඩි දියුණු කිරීම

* ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එක්රුස් විය හැකි, විනෝද වියහැකි වගේම ක්‍රීඩා කිරීමේ පහසුකම් සහිත “ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එකතු වන මධ්‍යස්ථාන” ඇති කිරීම (වෙනත් රටවල මේ ක්‍රමය දැනට සාර්ථකව භාවිතා වේ.)

* දරුවන් සිටිනවා නම් තමන්ට හැකි සෑම අවස්ථාවකදීම හැකි උපරිම අවධානය ඔවුන් වෙත ලබා දීම, සුවදුක් විමසීම, තම දුවා දරුවන් (මුණුබුරු මිණිබිරියන්) සමඟ කාලය ගත කිරීමට, විනෝදවීමට අවස්ථාව සලසා දිය හැකියි.

* ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජීය සහභාගීත්වය වර්ධනය කිරීමේ උපක්‍රම වැඩි දියුණු කළ හැකි අතර මුදල් ගෙවීමකින් තොරව සේවය සැපයීමේ අවස්ථාවන් සලසා දීමට හැකි අතර වෙනත් රටවල් වල සුලබව සිදුවන මෙවැනි දේ මඟින් රට තුළ දිනෙන් දින වයස් ගතවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තත්ත්වය වඩාත් යහපත් කරවිය හැකියි.