කොළකැඳ වලටත් අහිතකර රසකාරක සහ වර්ණක

කොළකැඳ වලටත් අහිතකර රසකාරක සහ වර්ණක

දවස ආරම්භයේ දීම කොළකැඳ කෝප්පයක් පානය කිරීමට අද බොහෝදෙනා හුරුපුරුදුව සිටිති. පාර දෙපස තබාගෙන කොළ කැඳ විකුණන ස්ථානයකින් ඉතාම පහසුවෙන් කොළකැඳ කෝප්පයක් මිල දී ගෙන පානය කරන්නට ඔබත් බොහෝවිට කටයුතු කරනවා ඇති. කෙසේ නමුත් ඔබ මේ පානය කරන්නේ ක්‍රමානුකූලව සෞඛ්‍යාරක්ෂිතව සකසන ලද කොළ කැඳමද? එසේත් නොමැති නම් විවිධ රසකාරක සහ කෘත්‍රිම වර්ණක, ඩයි වර්ග යොදා සකසන ලද කොළකැඳ ද? දෙවරක් සිතීමට දැන් කාලය පැමිණ ඇත. මන්ද අද වෙළෙදපොළේ ලාභය පමණක් සොයා සැරිසරන කූඨ වෙළෙදුන්ගේ ගොදුරක් බවට ඔබද පත්වන්නට ඉඩකඩ බොහෝ ඇති බැවිණි. කෙසේ නමුත් මඟ දෙපස තබාගෙන විකුණන කොළ කැද පිළිබඳවත් කොළකැඳවලට විවිධ රසකාරක හා කලරින් වර්ග මිශ්‍ර කරනවාද යන්න පිළිබඳවත් මෙවර අපි කතාබහ කරන්නට කටයුතු කළෙමු.

ආර්.එම්.ජී.බී.රාජනායක
කොළඹ නාගරික අනුමත රස පරීක්ෂක

කොළකැඳ කියන්නේ අපි ආහාරයට හෝ බෙහෙතට යොදා ගනු ලබන කොළවර්ගයක් හෝ කොළවර්ග කිහිපයක් යොදා ගනිමින් සකසනු ලබන ඖෂධීය පානයක්. කොළකැඳ සැකසීමේ දී බොහෝ විට මේ සඳහා සහල් - පොල්කිරි යොදා ගන්නා අතරම සහල් පමණක් හෝ පොල්කිරි පමණක් යොදා ගෙන ද සකසන්න පුළුවන්.

මේ මොන විදිහට කොළකැඳ හැඳුවත් එය කොළ පැහැයක් ගන්නවා. කොළ කැඳ හදන්න යොදා ගන්නා කොළවර්ග බොහෝවිට යොදා ගන්නේ අමුවෙන්. කොළවල කොළ පැහැය දකින්නට ලැබෙන්නේ එම කොළවල ඇති හරිතප්‍රද වර්ණකය නිසයි. එනිසා කොළකැඳත් හොඳ කොළපැහැයකින් යුක්ත වෙනවා. එනිසා කවරකු හෝ කොළකැඳ සකසත් දී එයට වර්ණක, ඩයිවර්ග යොදනවා නම් එය ඉතාම මෝඩ ක්‍රියාවක්.

මොකද කොළ කැදවල පැහැය කොළපාට නිසා එයට අමුතුවෙන් පැහැයක් අවශ්‍ය නැති නිසා. සමහර විට මෙසේ ශරීරයට අහිතකර රසකාරක යෙදුවොත් එය පිළිකා කාරක විය හැකියි. මන්ද උදේම හිස්බඩ කොළ කැඳ පානය කරන නිසා එය ශරීරගත වෙන්නට තිබෙන අවකාශ වැඩි බැවිණි. වාසනාවකට තවමත් කොළකැඳවලට ඩයි හෝ රසකාරක වර්ණක යොදනවා කියා අපට වාර්තා වෙලා නැහැ.

නමුත් පාරිභෝගිකයාට යම් සැකයක් හෝ රසකාරක යොදන බවට සාක්ෂි තිබේ නම් ඒ පිළිබඳ ප්‍රදේශයේ මහජන ‍සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීමට හැකියි. ඒ වගේම කොළ කැඳ වගේ දෙයකට වර්ණක යෙදීම නීති විරෝධී, තහනම්, නොකළ යුතු වැඩක්. මන්ද ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින නිසා.

ඒ වගේම කොළකැඳ සඳහා භාවිතා කරන කොළ වර්ග ගැනත් සැලකිලිමත් වීම වැදගත්. මොකද කොළ කැඳ සැකසීමට ගස්වල මෙන්ම පහත්බිම් මට්ටමේ වැවෙන පඳුරු වශයෙන් හා පැලෑටි වශයෙන් වැවෙන කොළද යොදා ගනු ලබන නිසා. එනිසා මහා පරිමාණයෙන් කොළ කැඳ සකස්කරන නිෂ්පාදකයන් ඒ සඳහා තමන් යොදා ගන්නේ පිරිසුදු කොළ වර්ග ද යන්න හැම විටම හොඳීන් දැන සිටිය යුතුයි.

ඒ මන්ද කිව්වොත් සාමාන්‍යයෙන් පඳුරු හා පැලෑටි විදිහට වවන කොළ වර්ගවලට නිරතුරු කෘමිනාශක-බෙහෙත් ගැසීම,පොහොර යෙදීම සිදුවන නිසයි.

මෙනිසා කොළකැඳ සඳහා භාවිතා කරන කොළ හොඳ සේදීමකට ලක්කළ යුතුයි. මන්ද කැඳ සෑදීමට කොළය අමුවෙන් යොදා ගන්නා නිසා. සාමාන්‍යයෙන් අතීතයේ මිනිසුන් කොළකැඳ සැකසීම සඳහා බහුලවම භාවිතා කළේ කැලෑවේ ඉබේ වැවෙන කොළවර්ග.

නමුත් නාගරීකරණය නිසා අද මේ තත්ත්වය වෙනස්. එනිසා අපි මේ කොළවර්ග ගැනත් අද හොඳීන් සොයා බැලිය යුතුයි. කොළකැඳ ව්‍යාපාරයක් විදිහට කරන කොට නොයෙක් අකටයුතුකම් සිදුවෙන්න පුළුවන්. කොළවල කෘමීන් ඉන්න පුළුවන්. නොයෙක් වර්ගයේ අපද්‍රව්‍ය ගෑවී තිබෙන්න පුළුවන්. එනිසා කැඳ සඳහා යොදා ගන්නා කොළ ඉතා පිරිසුදුව භාවිතා කළ යුතුයි.

එලෙසම පැහැදිළිවම කොළ ලබා ගන්නා පරිසරය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. තවද ඔබ කොළ කැඳ වෙළෙඳපොළෙන් මිල දී ගෙන පානය කරන්නෙක් නම් ඔබ මිල දී ගන්නා කොළ කැඳ මොන කොළවර්ගය යොදා සකසා ඇත් දැයි දැනුම් වත් වන්න. එලෙසම කොළ කැඳ විකුණන ව්‍යාපාරිකයාගේ ද ප්‍රධාන වගකීමක් වන්නේ තමා කොළ කැඳ සැකසීම සඳහා යොදා ඇති කොළ වර්ගය පිළබඳ තම පාරිභෝගිකයාව දැනුම්වත් කිරීමයි.

වර්තමානයේ කොළ කැඳ අමුද්‍රව්‍ය පැකට් වශයෙන් ද වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට අවස්ථාව ඇත. එම ද්‍රව්‍ය යොදා කොළකැඳ සකස් කළ විට දක්නට ලැ‍බෙන්නේ තරමක් දුඹුරු පැහැයට හුරු කොළ පැහැයකි.

ඒ මන්ද යත් එම පැකට් තුළ ඇති කොළ කපා කුඩු කරත්දී එහි සෛලවල ඇති එන්සයිම දුඹුරු පැහැයට හැරී ඇති බැවිණි. දුඹුරු පැහැයට හුරු කොළ පැහැයක් එම කොළ කැඳවලින් දිස් වුවද එය ගැටලුවක් කර නොගත යුතුය.

කෙසේ නමුත් කොළ කැඳ ශරීරයට විටමින්,ඛණිජ ලවණ,මෙන්ම ශක්තිය ලබාදෙන ඹෟෂධීය ගුණයෙන් පූර්ණ ආහාරමය ඔසුවකි. එනිසා කොළ කැඳ වීදුරුවක් පානය කිරීම ඉතාම ගුණදායකය. මෙනිසාම වඩා වැදගත් වන්නේ උදෑසන පැය භාගයක් කලින් අවදි වී කොළ කැඳ සඳහා යෝග්‍ය කොළ වර්ගයක් හෝ කොළවර්ග කිහිපයක් භාවිතා කොට තමා විසින්ම නිවෙසේ කොළ කැඳ විදුරුවක් සකසා සෞඛ්‍යරක්ෂිතව පානය කිරීමයි.