බඩ දැවිල්ල බඩ පුරවා දැමීම හොඳ කරන්න පුළුවන්ද?

බඩ දැවිල්ල බඩ පුරවා දැමීම හොඳ කරන්න පුළුවන්ද?

වෛද්‍ය නිලධාරි
ආයුර්වේද රෝහල - මීගොඩ
අභයතිලක දේවගිරි
 

අම්ල පිත්ත රෝගය

බඩ පපුව දනවා කියන්නේ, බොහෝ විට ඔබව අසීරු අවස්ථාවකට පත් වූ විටෙක හෝ ඔබ තැති ගැන්මකට එහෙමත් නැත්තම් බිය වීමකට ලක් වූ විට දැනෙන අවස්ථාවක්.

එවන් අවස්ථාවක් ඔබ ඉදිරියේ නම්, ‘අම්මේ මගෙ බඩ පපුව දාලා ගියා” යනුවෙන් කියයි. එහි අදහස එසේ සීමාවක් තුළ හැඟුණත් ඇත්ත වශයෙන්ම බඩ පපුව දනවා යනුවෙන් කිව්වොත් මුලිකව රෝග ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකියි.

විශේෂයෙන් මෙහිදී කට වහරේ එසේ සඳහන් වුවත් රෝග ලක්ෂණයක් ලෙස අපට දැනෙන්නේ බඩේ දැවිල්ලයි. වේදනාකාරී හා දැඩි අපහසුතාවයට පත් මෙම රෝගය සම්පුර්ණ වීමට තවත් කාරණා කිහිපයක් එකතු විය යුතුයි.

අප ඒ ගැන කළ විමසුමකදී මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍ය අභයතිලක දේවගිරි පැවසුවේ මෙය බොහෝ විට අම්ල පිත්ත රෝගයේ ලක්ෂණයක් බවයි.

දැවිල්ල හා වමනය

බඩේ දැවිල්ල ඇතිවීම, ඒ ඔස්සේ වමනයට ඒම හා බඩ පුරවා දැමීම මෙහිදී සිදුවේ. මේ සමඟම නිතර උගුරට එන ගතිය ද ඇති වේ. ඒ සමඟම හිසරදය හා ශරීරයට පණ නැති ගතියක් ද ඇතිවීමට හැකියි. සිරුර අප්‍රාණික වීම මින් ඇතිවේ.

බොහෝ විට මේ තත්ත්ව ඇති අයෙකු, පපුව ප්‍රදේශයේ දැවිල්ල හා වේදනාව ඇතිවීම හෘද රෝගයක් යැයි නිගමනය කොට ඊට ප්‍රතිකාර කිරීමට පෙළඹේ. නමුත් අම්ල පිත්ත රෝගය යැයි මෙම රෝග ලක්ෂණ හමුවේ රෝගය නිශ්චය කර ගැනීම සඳහා ඉක්මනින් වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකිරීම වැදගත් වේ.

කුඩා දරුවන්ට

බොහෝ කුඩා දරුවන් රාත්‍රී ආහාරයෙන් පසුව පැය ගණනක් නිරාහාරව සිට පසුදා උදෑසන ආහාරය ද හරි හැටි නොගෙන පාසල් යාම සිදු කරයි. එවිට ඔවුන්ගේ උදෑසන ආහාරය මඟ හැරී යනු ඇත.

මෙම කරණාව හේතුකොට ගෙන පෝෂණය නොලැබෙනවා පමණක් නොව අම්ලපිත්ත රෝගයට ගොඳුරු වීමද සිදු වේ. එබැවින් දරුවාගේ උදෑසන ආහාරය ගැන සැලකිලිමත් වීම වැදගත්. දරුවන්ව මේ අම්ල පිත්ත රෝග උවදුරෙන් බේරා ගැනීමට වැඩිහිටි ඔබ මේ පිළිබඳව දැනුවත් වීම මඟින් නිරෝගී දරුවන් ඔබට අහිමි නොවනු ඇත.

අම්ල පිත්ත රෝගය ඇතිවීමට

ඔබ ගන්නා ආහාරවල බලපෑම මෙම රෝගයට මුලික වේ. විශේෂයෙන්ම විරුද්ධ ආහාර ගැනීම එනම් එකිනෙකට පටහැනි වූ ආහාරයි. උදාහරණ ලෙස කිරි සමඟ මාළු, මස් සමඟ මාළු, මුදවපු කිරි සමඟ කිරිබත් ඒ වගේම නරක් වූ ආහාර ගැනීම ද මීට බලපාන තවත් හේතුවකි.

ආම්ලික තත්ත්වයේ ආහාර ගැනීම ද බලපායි. එනම් නිතර අම්ල රස අධික ආහාරවලට යොමුවීමයි. ඒ අන්නාසි, තත්කාලි, දෙහි, අච්චාරු, චට්නි, විනාකිරි ආදියයි. ආයුර්වේදයේ සඳහන් විදාහී ආහාර හෙවත් උෂ්ණ සහිත ආහාර ගැනීම නිසා මෙම රෝගයට ගොදුරු වීමට පුළුවන. උදාහරණ ලෙස ඉස්සෝ, දැල්ලෝ, බල මාළු, දෙල්, සැමන් ආදිය දැක්වීමට හැකියි. එසේම මත්පැන් පානය ද මීට හේතු වන තවත් කරුණකි.

කෘත්‍රිම රසකාරක යෙදු කෘත්‍රිම ආහාර හා බේකරි කෑම (පාන්, පැටිස්, රෝල්ස්, පේස්ට්‍රි වර්ග) ගැනීම නිසාත් ඇතිවේ. මෙහි ක්ෂණික නුඩ්ල්ස්, පැණි බීම, රසකාරක යෙදු බිස්කට් වර්ග හා ටිපිටිප් වර්ග, ඇතුළු සියලුම කෘත්‍රිම ආහාර පානවලට යොමු වීම විශේෂයි. ඔබ වෙනත් රෝගවලට ගන්නා සමහර ඖෂධ වර්ග හේතුවෙන් ද ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවීමට මඟ පැදෙනු ඇත.

ඒ වගේම ඔබගේ වැරදි ආහාර පුරුදු එනම් නිසි වෙලාවට ආහාර නොගැනීම, හෝ අවේලාවේ ආහාර ගැනීම, කෑ පිට කෑම වැනි හේතු මීට බලපෑ හැකියි. දුම්බීම, නිදි මැරීම බලපාන තවත් හේතු කරාණායි. ඔබගේ මනස තුළ පවතින කලබලකාරීබව හෝ ආකූල ව්‍යාකූල බව ඇතුළුව පැන නගින මානසික ආතතිය ඔබව මෙම රෝගයට ඇද දැමිය හැකි තවත් අවස්ථාවක් වන්නේය.

අම්ල පිත්ත රෝගයේ ලක්ෂණ

* ආහාරය නොදිරවීම

* නිදිමත ගතිය

* ශක්තිය අඩුවීම

* විඩාව දැනීම

* ආම්ලික රසය උගුරට එම

* බඩ පුරවා දැමීම

* ඔක්කාර ගතිය ඇතිවීම

* පපුව උගුර යන ප්‍රදේශවල ඇතිවන දැවිල්ල

* ආහාර අරුචිය

* ශරීරයේ බර බව

අම්ල පිත්ත රෝගය සඳහා සුදුසු ආහාර

පුහුල්, තම්පලා, කරවිල, කොහිල අල සහ දළු, කෙකටිය, බාර්ලි, මුං ඇට, දෙළුම්, තැඹිලි, රට ඉඳි, මුං ඇට තැම්බු වතුර

සැලකිලිමත් වන්න

අධිකව වෙහෙසීම. දුම්පානය කිරීම, නිදි වැරීම, මානසික අවිවේකී බව නුසුදුසුය.

මේ සියලු කාරණාවලින් පාලනය වී ආයුර්වේද දින චර්යා අනුගමනය කිරීම කළ හැකියි. එමඟින් මෙවැනි රෝගවලින් මිදී සිටිය හැකියි. මින් ඔබට නිරෝගී හෙට දිනක් උදාවනු ඇත.

රෝගයෙන් වැළකීමට

අම්ල පිත්ත රෝගයට බලපාන සියලුම හේතු කාරණා වලින් ඉවත්වීම ප්‍රධානවම ගත හැකි සාධකයයි. උදෑසන,දවල් හා රාතී‍්‍ර ආහාරවේල් අවශ්‍ය ප්‍රමාණයෙන්් නිසි ක්‍රමවේදයකට අනුගතව ගැනීම කළ යුතුයි. වැරදි ආහාර රටාවන් අනුගමනය නොකළ යුතුයි. අප වටා ඇති විවිධ වර්ගයේ කෑමවලට ඔබ කෙතරම් පි‍්‍රය බවක් දැක්වුවත් ප්‍රමාණය නොඉක්ම විය යුතුයි. අම්ල පිත්ත රෝගය සඳහා විශේෂයෙන්ම බලපාන්නේ ආහාර පිළිවෙත් අනුගමනය කළයුතු අතර මානසික ආතතියෙන් මිදීමේ යෝගී භාවනා පුහුණුක්‍රම ද සුදුසු වෛද්‍ය උපදෙස් පිළිපැදීම ද වැදගත්.

ප්‍රතිකාර

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී අම්ල පිත්ත රෝගයට ශෝධන ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කොට ගැනීම කළ හැකියි. එහිදී මුලින් ම වමනය, කළ යුතුයි. ඒ අනුව ඖෂධ අනුසාරයෙන් වමන කර්මය කළ හැකියි. ඉන් අනතුරුව විරේකය ද සිදුකළ හැකියි. එමඟින් සුව නොවුයේ නම් රක්ත මෝක්ෂණය ද සිදුකළ හැකිය. පසුව නියත දින චර්යා අනුගමනය කිරීම තුළින් නිරෝගී දිවි පැවැත්මක් ගත කිරීම කළ හැකියි.

අම්ල පිත්ත රෝගයට ඖෂධ කිහිපයක්

* වැල් මී කුඩු තේ හැඳි 1 එළකිරි සමඟ මිශ්‍ර කර බීම

* කෙසෙල් බඩ ඉස්ම මේස හැඳි 02 මී පැණි මේස හැඳි 01 මිශ්‍ර කර බීම

* ගොටුකොළ, පොල්, රතුළූණු එකට ගෙන කොටා එහි යුෂ හිස්බඩ බොන් (උදේ සවස)

* කෝමාරිකා මද කෑම

* කැහිපිත්තන් කොළවලින් සැදු ජෙලි උදේට කෑම

* දියබත් කෑම

* කී කිරිදිය යුෂ කිරි සමඟ හිස්බඩ උදයට බොන්න.

* දුම්මැල්ල, වියළි ඉඟුරු, කොත්තමල්ලි කෂාය කර බොන්න

* රසකිඳ, කොහොඹ, දුම්මැල්ල, අරළු යුෂ, නෙල්ලි කෂාය කර බොන්න.

* ආඩතෝඩ, රසකිඳ, කටුවැල් බටු කෂාය කර බොන්න.

* විෂ්ණු ක්‍රාන්තිය කෂාය කර බොන්න.