ෆේස් බුක් මිතුරාගෙන් පාසල් දරුවන් බේරාගන්නේ කොහොමද?

ෆේස් බුක් මිතුරාගෙන් පාසල් දරුවන් බේරාගන්නේ කොහොමද?

ව්‍යවහාරික මනෝ විද්‍යාඥ

ආචාර්ය

නිමල් ලියනගේ

ෆේස්බුක් (face book) එසේත් නැත්නම් මුහුණු පොත මේ දිනවල ඉතාම ජනපි‍්‍රය මාතෘකාවක්. ෆේස් බුක් අද සමාජයට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. කෙසේ වෙතත් ඇතැම් පිරිසක් එහි හොඳ පැත්ත දකිනවා වගේම තවත් සමහර අය එහි නරක පිළිබඳ චෝදනා ඉදිරිපත් කරනවා. මේ සෑම ආකාරයේම අදහස් කැටි කොටගෙන ෆේස්බුක් වෙබ් අඩවිය හා සම්බන්ධ මෙවර ලිපිය ප්‍රධාන වශයෙන් යොමු වන්නේ පාසැල් යන වයසේ දරුවන් සඳහාමයි.

අන්තර්ජාල උන්මාදය

මේ වනවිට ලෝකයේ ජනපි‍්‍රයම සමාජ වෙබ් අඩවි අතර ෆේස් බුක් සඳහා හිමිවන්නේ වැදගත් තැනක්. ඒ නිසාම මෙම නැඹුරුව උන්මාදයක් බවට පත්වන්නට එතරම් කාලයක් ගත නොවුණා පමණක් නොව ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල ද බොහෝදෙනා අතර මේ වනවිටත් නැතිවම බැරි මිතුරෙක් බවට පත් වූවා. එසේ වුවත් මේ වනවිට මෙම වෙබ් අඩවිය නිසා ඇතැමෙකුට තම ජිවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදු වුණා. එපමණක් නොවෙයි විවාහ ගණනාවක් පවා දෙකඩ වන්නට තරම් මුහුණු පොත සමත් වි ඇති බව මේ වනවිටත් ඔබ හොඳින්ම දන්නා කරුණක්. විශේෂයෙන් මීට බහුල වශයෙන් ඇබ්බැහිවන්නේ පාසැල් යන වයසේ පසුවන අහිංසක දුවා දරුවන්. ඒ පිළිබඳ හරිහැටි අවබෝධයක් නොමැති වුවත් හැමදෙනාම මේ සඳහා ඇදී එන්නේ අදහා ගත නොහැකි ආකාරයටයි.

ෆේස් බුක් මිතුරා නිසා

රෝගියෙක් වෙලා

මෙසේ ඉගෙන ගැනීමේ දුර්වලතා, මතකය අමත වීම, සමාජයෙන් මෙන්ම පවුලෙන් ඈත් වීමෙන් ඔවුන් අමුතුම ආකාරයේ සිතුවිලි දාමයකට මැදි වේ. මෙහිදී චිත්ත වේගවලට මුහුණ දීමේ නොහැකියාව ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්.

ඒ වගේම මෙම මානසික ගැටලුවලට පරිබාහිරව එකම තැනක දීර්ඝ වේලාවක් එකම ඉරියව්වෙන් සිටීමෙන් කායික වශයෙන් ගැටලු රැසකට ද මුහුණ දීමට ඔවුන්ට සිදුවිය හැකි වේ. විශේෂයෙන් පරිගණක දිගුකාලීනව භාවිතය නිසා කොන්ද, අත් පා ආශි‍්‍රත ලෙඩ රෝග පමණක් නොව දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී බෝ නොවනා රෝග ද මේ අතර ප්‍රධාන තැනක හිමිකර ගනියි.

දැඩි ලෙස ඇබ්බැහිවිම නිසා මානසික රෝග

ආතතිය - විෂාදය

මුල් කාලයේදී හොඳින් අධ්‍යාපන ලබාගත් දරුවන් පවා පසුකාලයේදී මෙවැනි අහිතකර ඇබ්බැහැවීම් නිසා දුර්වලයන් බවට පත්වනවා පමණක් නොව නිවැරදි දේ කුමක්ද යන්න පිළිබඳ පවා ඔවුන්ට නිසි අවබෝධයක් ද නොමැත. කෙසේ වෙතත් මේ ප්‍රතිඵල බොහෝදුරට අවසන් වන්නේ භයානක මට්ටමේ මානසික රෝගවලින් විය හැකිය. ඊට හේතුව මුල්කාලීනව ආරම්භ වූ පීඩාකාරී තත්ත්ව නිසා හටගත් ආතතිය පසුව විෂාදය දක්වා වර්ධනය වීම නිසා විය හැකියි.

වඳුරන්ට දැලි පිහිය ලැබුණා වාගේ

“වඳුරන්ට දැලි පිහිය අහුවුණා වාගේ” වැනි යෙදුම් ඔබ අසා තිබෙනවාද? ඕනෑම දෙයක් එහි වටිනාකම, එසේත් නැත්නම් භයානකම නොදත් පිරිසක් අතට පත් වීමෙන් ඉතා භයානක ප්‍රතිඵල අත්විය හැකියි. ඒ නිසා ඔබ ඔබේ දරුවාට යම්දෙයක් ලබා දෙනවා නම් ( උදා. පරිගණකයක්, දුරකථනයක් වැනි) ඔවුන්ට ඒ සඳහා නිසි වයස හා අවබෝධයක් ලැබෙන තුරු සිටීම ඉතා වැදගත්. එසේ නැත්නම් ඔබ ලබාදෙන දේ වටිනා දෙයක් වුවත් එමඟින් ඔබේ දරුවාට වන්නේ මිල කළ නොහැකි හානියකි.

බොරු මවාපෑම් සහ සාවද්‍ය තොරතුරු නිසා දරුවන් රැවටෙනවා

“ෆේස්බුක්” සමාජ වෙබ් අඩවියක් ලෙස බාල මහලු, තරුණ කොයිකාගේත් සිත් ගත්ත ද එහි සිටින මිතුරන්ගේ තොරතුරු සියයට සීයක්ම විශ්වාසදායක නොවේ. ඇතැම්විට ඔවුන්ගේ ඡායාරූප පවා පරිගණකය මඟින් සූක්ෂමව නිර්මාණය කරන ලද්දක් විය හැකියි. මෙවැනි ආරක්ෂා රහිත කලාපයක් තුළට පාසැල් දරුවෙක් ද එකතු වීම හා ඔවුන්ගේ අල්ප වූ අත්දැකීම් මෙන්ම කුතුහලය මත තව තවත් ඔවුන්ගේ ජිවිත අනාරක්ෂිත බවට පත්විය හැකියි. ඒ නිසා බොරු මවා පෑම් හා සාවද්‍ය තොරතුරු මත ඔවුන් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට උත්සාහ කිරීම මත වර්තමානයේදී ඇති වී තිබෙන තත්ත්වයට ප්‍රධාන වග උත්තරකරුවා බවට පත්වන්නේ එම දරුවන්ගේ දෙමාපියන්ය.

වගඋත්තරකරුවෝ දෙමව්පියෝ

මෙසේ දරුවන් සිටින අනවබෝධය නිසා ඇති වූ ඇබ්බැහිවීම් සඳහා ප්‍රධාන වග උත්තරකරුවෝ වන්නේ දෙමාපියන්ය. මෙම සමාජ වෙබ් අඩවිය පිළිබඳව හා ඒ නිසා ඇතිවන අයහපත් ප්‍රතිඵල පිළිබඳ මාපියන්ට හරිහැටි අවබෝධයක් නොමැතිකමත් තම දරුවන් තව තවත් නවීන තාක්ෂණයට සමීප කරවීමත් යන වුවමනා නිසා නොදැනුවත්වම තමාගේ දරුවන් ද එහි ගොදුර බවට පත්විය හැකියි. එය කිසිවිටෙක ෆේස්බුක් වෙබ් අඩවියේ වරදක් සිදු වූවක් නොව එය භාවිතා කරන අයගේ අනවබෝධය හා අල්ප වූ දැනුම මත සිදු වූවක් බවද විශේෂයෙන්ම කිව යුතු වේ.

උපක්‍රමශීලිව පියවර ගන්න

වෙබ් අඩවි සඳහා බැණ වැදීමට වඩා තමාගේ දරුවන් අනවබෝධයෙන් වළකා ගැනීමේ ප්‍රධාන වගකීම දෙමාපියන් සතු වේ. ආදරය නිසා දරුවන්ව තාක්ෂණයට තව තවත් දරුවන්ව සමීප කළත් එය යම් සීමාවක් සහිතව කළ යුතු වේ. ඒ වගේම එම තාක්ෂණික දැනුම අවබෝධය දෙමාපියන් ලෙස ඔබද ලබා ගැනීම ඉතා වැදගත් වේ. මෙය පරිගණකයට පමණක් නොව දුරකථනයට ද එකසේ අදාළ කරුණක්. ඒ නිසා ෆේස්බුක් පිළිබඳ හොඳ නරක පිළිබඳ විමසනවාට වඩා දරුවන් ඉන් වළකා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සමාජ කථිකාවක් ගොඩනඟා ගැනීම ජාතික අවශ්‍යතාවක් බවට පත් වී අවසන්. ඒ නිසා දරුවාගේ මානසික වයසට ගැලපෙන ආකාරයට තාක්ෂණය ක්‍රමානුකූලව ළඟා කරවි යුතු අතර ඇබ්බැහි වීම් නිසා තමාගේ පාසැල් ජිවිතය විනාශ කරගන්නවා නම් ඒ ඇබ්බැහි වීම් වළක්වාලන්නට ක්‍රමානුකූල පියවර උපක්‍රමශීලිව අනුගමනය කළ යුතු වේ.

ඇබ්බැහිවීමෙන් මුදවන්නට නොහැකි නම්?

මෙවැනි අවස්ථාවක මනෝ වෛද්‍ය ප්‍රතිකාර කරා යා යුතු අතර එහිදී මනෝ උපදේශනය පමණක් ප්‍රමාණවත් නොවිය හැකියි. ඒ වගේම දෙමාපියන්ගේ බලකිරීමෙන් තොරව තමාගේ කැමැත්තෙන් වෛද්‍ය ප්‍රතිකාර පතා පැමිණෙන දරුවන්ට ඇබ්බැහිවීම්වලින් නිදහස්වීම පහසුවනවා මෙන්ම සාර්ථකව තම ජීවිතය ඉදිරියට පවත්වා ගෙන යා හැකි වේ.