බැඳලා සති දෙකෙන් නෝනට ලිංගික හර්පීස් හැදුණේ සැමියාගෙන්

බැඳලා සති දෙකෙන් නෝනට ලිංගික හර්පීස් හැදුණේ සැමියාගෙන්

පිරිමියෙකු වු පමණින් සල්ලාල ජීවිතයක් ගත කිරීම හොඳ දෙයක් නොවෙයි

මහනුවර මහ රෝහලේ

ලිංගික හා ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ගංගා පතිරණ

විවාහය කියන්නේ ඕනෑ ගෑනු ළමයෙකුගේ ජීවිතේ තිබෙන ලොකුම බලාපොරොත්තුවක්. ඒත් අවාසනාවට ෂර්මිලාට මුහුණ දෙන්න සිදුවුණු අත්දැකීම ගැන හිතලා බලනකොට විවාහ වෙන්න තියා පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්නවා කියන එක ගැනත් හිතන්නට වෙනවා.

ෂර්මිලා නිලාම් එක්ක විවාහ වුණේ තමන්ගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම මල්ඵල ගැන්වෙයි කියා සිතාගෙන තාත්තත් නැතුව හැදුණු ෂර්මිලාට තාත්තා වගේ හිටියේ එයාගේ එකම අයියා. හැමෝටම වැඩිය ෂර්මිලාගේ කසාදය හොඳට සිද්ධවුණු හින්දා සතුටු වුණේ එයාගේ අයියා.

නිලාමි කියන්නේ තමන්ගේ ජීවිත කාලේ බොහොම කෙළිදොළෙන් සතුටින් විනෝදයෙන් ගත කරපු කෙනෙක්. ජීවිතේ ගැන එයා හැම වෙලාවෙම හිතුවේ බොහෝම සැහැල්ලුවට. කාලය මෙහෙම ගතවෙලා රස්සාවක් කරලා වයස අවුරුදු 30දී තමයි එයා අවුරුදු 20ක් වුණු ෂර්මිලාව එයාගේ බිරිඳ හැටියට තෝර ගත්තේ. වෙඩින් එකෙන් පස්සේ ෂර්මිලාගේත් නිලාම්ගේත් ජීවිතේ සුන්දරතම දවස් ටික එයලා ගත කරලා ගෙදර ඇවිත් සති දෙකක් යනකොට ෂර්මිලාට හිතා ගන්නත් බැරි විදිහට අසනීප වුණා. මුලින්ම තදබල විදිහට ඇතිවුණු මුත්‍රා දැවිල්ලට නිවස අසල හිටපු දොස්තරගෙන් ප්‍රතිකාර ලබා ගත්තත් ඒ බෙහෙත් වලට එතරම් සුවයක් නැති බව එයාට තේරුණා.

පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමුවෙලා එතැනින් ලිංගාශි‍්‍රත රෝග සායනයට ආවට පස්සේ තමයි, තමන්ට ඇතිවෙලා තියෙන්නේ ලිංගික හර්පීස් බව ෂර්මිලා දැන ගත්තේ. රෝගය හඳුනා ගත්තට පස්සේ එයට තිබුණු රෝග තත්ත්වයට ප්‍රතිකාර කළත් කසාද බැදලා සති 2ක් ගතවෙලා තමන් පණ වගේ ආරක්ෂා කරපු නංගිට ඇතිවුණු මේ ගැටලුව ගැන දැන ගන්න ෂර්මිලාගේ අයියට තිබුණේ පුදුමාකාර කුතුහලයක්. සැරින් සැරේට ෂර්මිලාට කථා කර කර ලෙඩේට හේතුව මොකක්ද කියලා දැනගන්න එයාගේ අයියා හැම වෙලාවකම උත්සාහ කළා. අයියා කරන මේ කලබලය නිසා ෂර්මිලාටත්, තමන්ට මේ ලෙඩේ ඇතිවුණේ කොහොමද කියලා දැන ගන්න ලොකු වුවමනාවක් තිබුණා. ලිංගාශි‍්‍රත රෝග සායනයේ ප්‍රතිකාර කරන වෛ්‍යවරුන්ට මේ ගැන හොඳ අවබෝධයක් තිබුණු නිසා ෂර්මිලාගේ හිතේ තමන්ගේ සැමියා ගැන සැක හිතෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න ඔවුන්ට පුළුවන් වුණා.

නිලාම්ගෙත් රුධිර පරීක්ෂාවක් කරලා මේ බව තහවුරු කරගන්න වෛද්‍යවරු කටයුතු කරපු වෙලාවේ නිලාම් කාලෙක ඉඳලා මේ රෝගයෙන් පෙළෙන බව තහවුරු කර ගත්තා . නිලාම්ට රෝගය ඇති වුණේ කොහොමද කියන කාරණේ පස්සේ පස්සේ එයා තමන් විවාහ වෙන්න කලින් ගත කරපු ජිවිතේ ගැන කියපු දේවල් වලින් තහවුරු කරගන්නට පුළුවන් වුණා.

ඒ තොරතුරුවලට අනුව නිලාම් විවාහ වෙන්න කලින් යාළුවොත් එක්ක ඉන්න කාලේ ලිංගික සම්බන්ධකම් දෙක තුනක් පවත්වලා තිබුණා. ඒත් එයා කියන විදිහට මේ සම්බන්ධකම් එයා පවත්වලා තියෙන්නේ බොහොම විශ්වාසවන්ත අය එක්ක. ඒ විතරක් නෙමෙයි ආරක්ෂිත විදිහට ෂර්මිලාට තිබුණා වගේ රෝග ලක්ෂණ මොනවත් නොතිබුණු නිසා නිලාමි තමන්ට කිසිම රෝගයක් නැහැයි කියලා හිතාගෙන හිටියට විවාහ වෙලා ඒ තරම් කාලයක් ගත වෙන්නටත් කලින් තමන්ගේ බිරිඳට මේ රෝගය හැදෙනකම් එයාට ඒ ගැන දැනගන්නට පුළුවන් වුණේ නැහැ. ආරක්ෂිත ක්‍රම, පාවිච්චි කරලා ලිංගික සබඳතා පවත්වලා තිබුණු නිසා නිලාම් එතරම් ඒ ගැන බය වුණේ නැහැ.

මේ කථාවෙන් තරුණ වයසේ කෙළිදෙලෙන්, බොහොම විමෝදකාමීව ගත කරන තරුණ පිරිමි දරුවන්ට ඉගෙන ගන්න බොහොම දේවල් තියෙනවා. කවුරුහරි කවදාහරි අධි අවදානම් ලිංගික චර්යාවල යෙදිලා තියෙනවා නම් ආරක්ෂිත ක්‍රම ඇතිව වුණත් විශේෂඥ වෛද්‍යවරයෙක් මඟින් තමාට යම් ලිංගික රෝගයක් සම්ප්‍රේෂණය වෙලාද කියලා දැන ගන්න එක බොහොම වැදගත්. විශේෂයෙන් තරුණ කාලයේ විවාහයට පෙර එවැනි හැසිරීම් තිබුණා නම් අනාරක්ෂිතව ලිංගික චර්යාවල යෙදෙනවාට වඩා ආරක්ෂිතව හැසිරීම් වඩාත් සුදුසුයි. නමුත් ඉන් පසුව සුදුසු විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම වගේම වෛද්‍ය උපදෙස් මත අදාළ කාලසීමා වල රුධිර පරීක්ෂණ සිදුකර තමාගේ ලිංගික සෞඛ්‍ය පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්. නමුත් ඒ විදිහට නොසැළිකිලිමත්ව කටයුතු කරන්න ගියොත් තමන්ටත් නොදැනීම තමා රෝගියෙක් වෙනවා විතරක්ම නෙමෙයි විවාහ වුණත් තමන්ගේ බිරිඳටත් එය ගැටලු ඇති කරනවා. ඒ වගේම තමන්ගේ පවුලේ අය වගේම තමා අලුතින් සබඳකම් ඇතිකර ගන්නා පවුල්වල අයත් මෙවැනි ගැටලු නිසා අපහසුතාවට පත් වෙන්න පුළුවන්.

කාන්තාවන් ගේ කුමරිබඹසර ගැන නිතර අපි කථාබහට ලක් කළත් මෙවැනි සිදුවීම් මඟින් තව තවත් තහවුරු වන්නේ පිරිමි පාර්ශවයත් තමාගේ කුමරබඹසර ආරක්ෂාකර ගැනීම ඉතාමත් වැදගත් බවයි. විශේෂයෙන් තරුණ කාලය විනෝදකාමීව ගත කළ අය මේ ගැන හොඳටම සිහියේ තබාගන්නට අවශ්‍යයි. ඔබ පිරිමියෙකු වු පමණින් වගකිව යුතු අයෙක් වශයෙන් කටයුතු කිරීමේ වගකීමෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ.

ඒ වගේම විශේෂයෙන් මාපියෝ වැඩිහිටියන් විතරක් නෙමෙයි ගුරුවරුන්, මාධ්‍ය ආදී සමාජයේ සෑම ස්ථරයකම සිටින අයට මේ පිළිබඳ තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ වගකීමක් තිබෙනවා වගේම තමන්ගේ ජීවිතයේ සතුට සැනසුම විතරක් නෙමෙයි නිරෝගීකම රදා පවතින්නේ ඔබේම වගකීමක් සහිත හැසිරීමෙන් බව හොඳින්ම සිහි තබා ගන්නට අවශ්‍යයි.