ජයවර්ධනපුර රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයෙන් සිදු කෙරෙන කලල වෛද්‍ය සේවාවන්

ජයවර්ධනපුර රෝහලේ ප්‍රසව හා නාරි ඒකකයෙන් සිදු කෙරෙන කලල වෛද්‍ය සේවාවන්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ෂමූන් මර්ලීන්

ශ්‍රී ජයවර්ධනපුර රෝහල මේ වනවිට ලංකාව තුළ පවතින වඩා උසස් මට්ටමේ පහසුකම් සහිත මහජනතාවට වඩාත් විශ්වාසදායී හා සාධාරණව සේවයක් ලබාදෙන ප්‍රමුඛ පෙළේ ශික්ෂණ රෝහලකි. පෞද්ගලික රෝහල් තුළ ඉහළ මිල ගණන් යටතේ පවතින පහසුකම් මහජනතාවට දැරිය හැකි මට්ටමින් ඉතා සාධාරණ මෙන්ම ඉහළ ගුණාත්මක භාවයකින් ලබා ගත හැකිවීම ජයවර්ධනපුර රෝහල සතු විශේෂත්වයකි. මෙවර කථා බහට ලක් කරනු ලබන්නේ ප්‍රසව හා නාරිවේදය අංශය යටතේ සිදුවන සේවාව පිළිබඳවයි.

ප්‍රසව හා නාරිවේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රය තුළ මේ වනවිට කලල වෛද්‍ය විද්‍යාවට ප්‍රමුඛතම ස්ථානයනක් හිමි වී තිබේ. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ එම විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ සුදුසුකම් ලත් වෛද්‍යවරු ඉතා සුළු ප්‍රමාණයක් පමණක් සිටින අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ද එවැනි වෛද්‍යවරයෙකු ගේ සේවාව (කලල වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂ වෛද්‍ය ෂමුන් මර්ලීන් ) එහි ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකය යටතේ ලබාගැනීමේ පහසුකම් නුදුරේදීම මහජනතාවට හිමිවනු ඇත.

මෙම කලල වෛද්‍ය විද්‍යාව යටතේ සිදු කළ හැකි සේවාවන් ලෙස දරුවකු ප්‍රසූත කිරීම සඳහා අදාළ දින නිර්ණය කිරීම, ළදරු කලල ආශි‍්‍රත විකෘතිතා හඳුනා ගැනිම, සහ ඒ පිළිබඳ මවුපියන් දැනුවත් කිරීම, සාමාන්‍ය කලලයක වර්ධන වේගයට වඩා අඩු වර්ධනයක් සහිත කලල හඳුනා ගැනීම මෙන්ම දීර්ඝකාලීන සිදු කෙරෙන පසු විමර්ශන හරහා නිසි කාලයේදී ගැටලුවකින් තොර දරු ප්‍රසූතියක් ලබා ගැනීමට කටයුතු කිරීම ද දැක්විය හැකියි. මීට අමතරව නිවුන් දරු, තුන් දරු උපත් ආදියේ ඇතිවිය හැකි සංකූලතා නිවැරදිව හඳුනා ගැනීම මෙන්ම සංකූලතා අවම වන ආකාරයේ දරු උපතක් ලබා දීම වැනි ප්‍රතිකාර ද මෙම කලල වෛද්‍ය ක්ෂේත්‍රය හරහා සිදු වේ.

එමෙන්ම වර්ණදේහික වශයෙන් පවතින ගැටලු නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා ඇතිවන ළදරු කලල ආශි‍්‍රතව ඇතිවිය හැකි සංකුලතා හඳුනා ගැනීමට අදාළ විවිධ පරීක්ෂණ ක්‍රම පිළිබඳව ද මේ යටතේ කථාබහට ලක් කළ හැකිය. එහිදී වර්ණදේහික වශයෙන් ඇතිවන විකෘතිතාවන් හඳුනා ගැනීම සඳහා ඇති ධ්වනි තරංග ආධාරයෙන් (Ultrasound Guided) කුඩා ඉදිකටුවක් කලලයට ඇතුල් කිරීම හරහා ලබා ගන්නා ගර්භාෂිත තරලය (Amniotic Fluid) පරික්ෂා කිරීම ආදිය ඇතුළුව වඩාත් සංකීර්ණ මට්ටමේ පරික්ෂණ ද මේ යටතේ සිදු කරනු ලැබේ.

මේ වන විටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු යටතේ වඩාත් උසස් මට්ටමේ සේවාවක් සපයන අතර වෛද්‍ය ෂමූන් මර්ලීන් පසුගිය වසරේ මෙම ඒකකයට අනුයුක්තව කටයුතු කිරීම ඇරැඹීය.

ඔබට දැනට නාරි වේද සායන දෙකක් (සතියකට) හරහා එතුමියගේ සේවය ලබාගත හැක. මෙය “One Stop” සංකල්පය මත ක්‍රියාත්මක වේ. මෙම සායනය මඟින් එක් දිනයක් තුළ සියලු නාරිවේද රෝග සම්බන්ධයෙන් උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම, ඔසප් චක්‍රයේ මෙන්ම මද සරු භාවය පිළිබඳ ඇති ගැටලු සඳහා උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම, උපත් පාලන ක්‍රම, ස්කෑන් පරීක්ෂණ, පැප් (PAP) පරීක්ෂණ, Pipelle biopsy පරීක්ෂණ (ගර්භාෂයේ ඇතුළත බිත්තියේ සම්පලගෙන පරීක්ෂා කිරීම) ආදී පරීක්ෂණ ද සිදු කරගත හැකියි.

තවද මෙම හා නාරි වෛද්‍ය ඒකකය යටතේ සිදු කරනු ලබන ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට ඉතා කෙටි කාලසීමක් තුළදී ප්‍රමාදයකින් තොරව අදාළ සැත්කම් සිදු කර ගැනීමේ හැකියාව පවතියි. මෙහිදී ගර්භාෂය ආශි‍්‍රත විවිධාකාර ශල්‍ය වෛද්‍යමය ගැටලු සඳහා ලැපරොස්කොපි (උදර කුහරයේ කුඩා විවරයක් හරහා කැමරාවක් ඇතුළු කිරීමෙන් සිදු කරනු ලබන ශල්‍යකර්මයකි) හරහා ශල්‍යකර්ම ප්‍රතිකාර සිදු කෙරෙන අතර විශාල කැපුම් යෙදීමකින් තොරව සිදු කෙරෙන බැවින් ශල්‍ය කර්මයෙන් පසු වේදනාව අවම වන අතර රෝගියාට රෝහල තුළ ගත කිරීමට සිදු වන්නේ ද ඉතා අවම වූ කාලසිමාවකි. එසේ ඉතා කෙටි කලක් තුළ රෝගියාට තමාගේ එදිනෙදා කටයුතුවලට යොමු වීමට හැකි වීම මෙන්ම අවම සංකූලතා ප්‍රමාණයක් සහිත වීම ද මෙම ශල්‍ය කර්මවල විශේෂත්වයකි.

මීට අමතරව ගර්භාෂය තුළ විවිධ වූ ගැටලු (ගර්භාෂගත ගැටිති වැනි) පරීක්ෂාව සහ ඒවා හඳුනාගැනීම සඳහා Hysteroscopy පරීක්ෂණ හැකියාව පවතින අතර එමඟින් වඩා සංකීර්ණ ශල්‍යකර්මවලට නොගොස් ඉතා පහසුවෙන් ශල්‍යමය ගැටලු වලට ප්‍රතිකාර සිදු කළ හැකිය.

විශේෂයෙන්ම ප්‍රසව හා නාරිවේදයට අදාළ කාන්තා වෛද්‍යවරියන් සීමිත ප්‍රමාණයක් සිටීමත් කලල වෛද්‍ය විද්‍යාව මෙන්ම ප්‍රසව හා නාරිවේද වෛද්‍ය කේෂ්ත්‍රය සම්බන්ධ විශේෂඥ පුහුණුව ලත් වෛද්‍යවරියක් ජයවර්ධනපුර රෝහල සතු වීම හරහා කාන්තාවන් වූ ඔබට අපහසුතාවකින් තොරව ප්‍රතිකාර ලබාගැනීමට උපකාරයක් වනු බව ද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.