කිසිදා සුව නොවන හිඟන්නාගේ තුවාලේ වගේ

කිසිදා සුව නොවන හිඟන්නාගේ තුවාලේ වගේ

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

සාමාන්‍යයෙන් අපගේ ශරීරයට සිදුවන තුවාලයක් දින කිහිපයක් තුලදී සම්පූර්ණයෙන්ම සුව වී යනවා. නමුත් සමහර රෝග තත්ත්වයන්හිදී මෙම තුවාල සුවවීම තරමක් කල්ගත වනවා. සමහරවිට අවුරුදු ගණනක් සුව නොවන තුවාල පවා රෝහල්වලදී දකින්නට ලැබෙනවා.

අද අපි කතා කරන්නේ දියවැඩියාව නිසා තුවාල සුව නොවීම පිළිබඳවයි. කාලයක් තිස්සේ තමන්ට තිබුණු දියවැඩියා තත්ත්වය නිසා ශරීරය තුළ ඇති ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් රාශියක් සිදුවෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙසට තුවාල සුව වීමට උපකාරී වන තුවාලය තුළින් දකින්නට ලැබෙන “රතු මස” granulation tissue කිසියම් අසාමාන්‍ය විකෘති ස්වරූපයක් දකින්නට ලැබෙනවා.

ඒ වාගේම එහිදී නිපදවන AGE (Advanced glycation end products)  ඒ තුළ ඇති ප්‍රෝටීන මත ඇති වී, සමේ ගැඹුරින් තුවාලය සුව කිරීම අවහිර කරනු ලබනවා. මීට අමතරව සම තුළ ඇති විවිධ පටක වර්ග වලට ද මේවා බලපාමින් තුවාල වූ ප්‍රදේශය ශරීරය මඟින් අලුත්වැඩියාව අවහිර කර දමනවා.

තුවාලයක් සඳහා බෙහෙත් දැමීමේදී බොහෝවිට සිදු කරන්නේ තුවාලය මතුපිට ඇති විෂබීජ අපද්‍රව්‍ය පිරිසිදු කර, ඉවත් කර එය මත නැවතත් විෂබීජ ඇතිවීම වැළැක්වීමට බැක්ටීරියා නාශකයක් යෙදීම පමණයි. ඒ කියන්නේ තුවාලය බාහිර විෂබීජ වර්ගවලින් පැසවීම වැළැක්වීම පමණයි. තුවාලය සම්පූර්ණයෙන්ම සුව කරනු ලබන්නේ ශරීරය විසින්මයි.

මින් ඉහත ජේදයේ දැක්වූ ආකාරයට, ස්වභාවික සුව වීමේ ක්‍රියාවලියට දියවැඩියාව නිසා ඇති කරන බලපෑම මත සුවවීම ප්‍රමාද වෙනවා ඒ කියන්නේ අපි කොයිතරම් විෂබීජ රහිත පරිසරයක තුවාලය පවත්වාගෙන ගියත් දියවැඩියාව නිසා ශරීරයේ සමට යටින් ඇති පටකවලට ඇතිකර තිබෙන හානිය මත තුවාල සුවවීම ප්‍රමාද වෙනවා.

උදාහරණයක් ලෙසට දහඩිය දැමීම අඩුවීම නිසා ඇතිවන වියළි සම පාදයට සිදුවන සුලු හෝ අනතුරුවලට ඔරොත්තු දීම අවම කරන අතර, පහසුවෙන් තුවාලවීමට ඉඩ ඇති තත්ත්වයක් උදාවෙයි. එසේ ඇතිවන තුවාලය සුව වීමට ලිපියේ ඉහත සඳහන් කළ අයුරු පටකවලින් සහයෝගය නොලැබීම එම තුවාලය කල් පැවැතීමට හේතු වෙයි.

ස්නායු සැපයීමට බාධා ඇතිවීම නිසා හිරිවැටීම මඟින් ද තුවාලවල අවදානම වැඩි කරන අතර, අස්ථි හා කාටිලේජවල සිදුවන වෙනස්කම නිසා පාදය විරූපි වී පාදය පොලවේ තබනා ආකාරය අනුව තුවාල සුවවීම කල් පවතියි. රුධිර ගමනය ඇන හිටීම නිසා නිසි පෝෂනයක් නොලැබෙන පටක විනාශ වී තුවාල ඇති වේ.

මේ අනුව බලන විට තුවාලය ඇතිවීමට වාගේම කල් පැවතීමට ද කරුණු කාරණා විශාල ප්‍රමාණයක් විවිධ ආකාරයෙන් උදව් වෙන බව පාඨක ඔබට දැන් පැහැදිලි ඇති. කකුලේ හිරිවැටීමත් (diabetic neuropathy ලේ නහර අවහිර වීමත් (peripheral vascular disease) සිගරට් දුම්පානයත්, දියවැඩියාවේ සීනි මනාලෙස පාලනය නොකිරීම නිසා තුවාල සුව කිරීම පිණිස ටික කාලයක් අවශ්‍ය වුණත්, අවදානම් කාරණා මනාලෙස පාලනය කිරීමෙන්, පාදය නොකපා බේරා ගැනීමට ඉවහල් වේ.