ඇදුම සහ කැස්ස පාලනයට කළ යුතු භෞතචිකිත්සක ප්‍රතිකාර ප්‍රතිකාර

ඇදුම සහ කැස්ස පාලනයට කළ යුතු භෞතචිකිත්සක ප්‍රතිකාර ප්‍රතිකාර

රිඡ්වේ ළමා රෝහලේ භෞතචිකිත්සකවේදී

ශ්‍රී ලංකා භෞතචිකිත්සකවේදීන්ගේ සංගමයේ සභාපති

ආචාර්ය ජාලිය උඩුවැල්ල

අපේ පෙනහලුවල කාර්යය වන්නේ වායුගෝලයේ තිබෙන වාතයේ අඩංගු ඔක්සිජන් රුධිරයට ලබාදීමයි. මෙම කාර්යයට බාධාවක් වන්නේ පෙර කී අපිරිසුදු වාතය වැඩියෙන් එකතු විමයි. එවිට රුධිරයේ ඔක්සිජන් අඩු වී කාබන්ඩයොක්සයිඩ් ඉහළ යයි. එවිට මොළයේ තිබෙන ශ්වසන මධ්‍යස්ථානය මඟින් අඩු ඔක්සිජන් ලබා ගැනීම පිණිස ශ්වසන වේගය වැඩි කරයි.

මේ තත්ත්වයේදී විශේෂිත හුස්ම ගැනීමේ ව්‍යායාම ක්‍රම මඟින් වැඩි අපිරිසුදු වාතය ඉවත් කළ හැක. එනම්, එක් උදාහරණයක් නම් රෝගියාගේ පපුව දෙපසට අත්ල තබා රෝගියා හුස්ම පිට කරන විට අත්ල ගස්සවමින් පෙනහලු තෙරපිය යුතුය. එවිට වැඩි අපිරිසිදු වාතය පිට වී පිරිසුදු වාතය පැමිණේ. එවිට නැවතත් රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රනය ඉහළ ගොස් ශ්වසන වේගය සාමාන්‍ය අතට පත් වේ.

හුස්ම පිට කරන වේගය මනින උපකරණ (peak flow meter) උපයෝගි කරගෙන දළ මිනුමක් ලබාගෙන හුස්ම ගැනීමේ ව්‍යායාම ද වෙනස් කරමින් කළ යුතුව ඇත.

පෙනහලුවලට ඇති එක් එක් ඛණ්ඩිකා පිම්බෙන අයුරින් හුස්ම ගැනීම පුුරුදු පුහුණු කිරීම ද භෞතචිකිත්සකවරු අතින් සිදු වේ. (Localized breathing exercises)

සමහර රෝග සඳහා හුස්ම ගැඹුරට ගැනීම කළ යුතුව ඇති අතර, සමහර රෝග සඳහා කෙටි හුස්ම ගැනීම කළ යුතුය. හුස්ම දරා සිටීම පාලනය කරන ව්‍යායාම ද ඇත.

තවද ඇදුම වැනි රෝග පාලනය කළ හැකි ඉරියව් කීපයක් ද භෞතචිකිත්සාවේ උගන්වනු ලැබේ.

උදාහරණ ලෙස ඇදුම ඇති අවස්ථාවලදී පුටුවක වාඩි වී උකුල මත කොට්ට කීපයක් තබාගෙන ඉදිරියට නැමී හිස පහත් කරගෙන සිටීම වැනි ඉරියව් පෙන්වා දිය හැක.

මෙම ඉරියව්වේදී බ්‍රොන්යල් පේශිවල දරදඬු භාවය අඩු වී ඉහිල් වේ.

මෙම භෞතචිකිත්සක ප්‍රතිකාර ආහාර ගැනීමට පෙර කළ යුතුය. නැතහොත් වමනය ඇති විය හැක. උදේ කෑමට, දවල් කෑමට සහ රෑ කෑමට ප්‍රථම දිනකට 3 වරක් මෙය කළ යුතුය.

තවද සෙම ඉවත් කිරීමට කැස්ස ඇති කළ යුතුය. කුඩා දරුවන්ට කැස්ස උත්තේජනය කරන ක්‍රම ද ඇත. සුදුසුකම්ලත් භෞතචිකිත්සකයෙකුගේ උපදෙස් පරිදි ගෙලෙහි ඇති ට්‍රැකියල් නොච් (Trachial Knoch) තෙරපීමෙන් කැස්ස ඇති කළ හැක. තවද දෙමාපියන්ට දිය යුතු අවවාදයක් නම් දරුවාගේ කැස්ස ඇති වූවාට කලබල නොවිය යුතුය යන්නය. එය ශරීරයේ ඇති මහඟු ප්‍රතික්‍රියාවකි. එය වැකුම් ක්‍රමයකි. එමඟින් සෙම පෙනහලුවලින් ඉවතට අදී. ශ්වසන මාර්ගයට ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වන විටදීත් කැස්ස ඇති වී එය ඉවත් කරයි.

සමහර අවස්ථාවලදී සෙම නැතිවත් කැස්ස ඇති වන අවස්ථා ඇත. උදාහරණ ලෙස ශ්වසන මාර්ගය හැකිලීමේදී කැස්ස උත්තේජනය වේ. මෙය වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන නිසි ඖෂධ ලබා දේ.

සාමන්‍යයෙන් ඔබ වෛද්‍යවරයෙක් ළඟට යනවිට කැස්ස ඇති වන ස්වභාවය, එය මතුවන වේලාව ආදි දේ පැවසීම තුළින් වෛද්‍යවරුන්ට එය විනිශ්චය කිරීම පහසුය. උදාහරණයක් ලෙස පාන්දර 2න් පසු කැස්ස ඇති වන්නේ බොහෝවිට ශ්වසන මාර්ගය දරදඬු වී ඇති වන හතිය තත්ත්වය නිසාය. එය උදෑසන 8 -9 වනවිට අඩු වේ.

සමහර විට ආහාර ගන්නා විට කැස්ස ඇති වේ. සමහර අයට නිදාගන්න ඉරියව්වේදී කැස්ස ඇති වේ. මේ ආකාරයට විවිධ රෝග තත්ත්ව වලට කැස්ස එන ක්‍රම ද විවිධය. එබැවින් හරියට ඒ දෙස විමසිලිමත් වී වෛද්‍යවරුන්ට පවසන්න. තවද රෝගීන් වැඩි අවධානය යොමු කර ගැනීමට කැස්ස උදේ සහ දවල් ඇතිවනවා ලෙස පවසයි. එවිට එය විනිශ්චය කිරීමට අපහසු වී රෝග නිදන්ගත තත්ත්වයට පත් වේ. අනෙක් කාරණාව නම් බොහෝ දෙමාපියන් සිතන්නේ කුඩා දරුවන් සෙම කටින් පිට නොකිරීම නිසා මෙම රෝග තත්ත්වය අඩු නොවන බවය. දරුවා කැස්සත් සමඟ සෙම ගිල දමයි.ඒවා ආමාශයට ගොස් මල සමඟ පිට වේ. සෙම ජීර්ණය නොවන නිසා සමහර විට මල බුරුල් වී කිහිපවටක්ම යා හැකිය.

දරුවා සෙම ස්‍රාවයන් ගිලින නිසා ආමාශය එම ස්‍රාවයන්ගෙන් පිරී යයි. එම නිසා දරුවාගේ කෑම රුචිය අඩු වේ. තවද කිරි බිව් පසු වමනය ද ඇතිවිය හැක.

තවද කුඩා දරුවන්ගේ නාස් කුහර ද ස්‍රාවයන්ගෙන් පිරී යයි. එවිට දරුවා හුස්ම ගැනීමට මුඛය භාවිතා කරන අතර කිරි උරාබිම ප්‍රතික්ෂේප කරයි. මෙවැනි තත්ත්ව වලදී සක්ෂන් උපකරණයක් මඟින් සෙම ස්‍රාවයන් පිටතට ගැනීම සුදුසුය. එවිට දරුවාගේ අපහසුතා දුරු වී යයි.

තවත් වැදගත් කරුණක් වන්නේ නියුමෝනියා වැනි රෝග තත්ත්වලදී පෙනහලුවල ඇතිවන සෙම පැල්ලම් ඉතුරු නොවී ඉවත් කළ යුතු වීමයි. නැතහොත් අප හුස්ම ගන්නා වාතය සමඟ එන ක්ෂුද්‍ර ජීවීන් එම සෙම පැල්ලම් තුළ නැවත ව්‍යාප්ත වී අපව යළිත් ලෙඩ කරවයි. හරියට බිමට කෑම කොටසක් වැටී ඇති විට කුහුඹුවන් එය වට කරගන්නා සේ අප ගන්නා වාතයේ පාවී එන ක්ෂුද්‍ර ජීවින් එම සෙම පැල්ලම වටා රොක්වී එයින් පෝෂණය ගෙන එම ක්ෂුද්‍ර ජීවින්ගේ ගහනය වැඩි වී අපට පාලනය කර ගත නොහැකිව නැවත ආසාදනයක් පටන් ගනී. සතුරන්ට ආයුධ දෙන්නාක් සේ එම සෙමවලින් ක්ෂුද්‍ර ජීවින්ට ආහාර ලැබේ. එබැවින් එම සෙම පැල්ලම ඉවත් වනතුරු ගෙදරදී එම භෞතචිකිත්සක ව්‍යායාම දිනකට 3 වරක් බැගින් දින 7ක් පමණ කළ යුතුය.

පෙනහලු වටා ඇති ප්ලූරල් අවකාශය තුළ සමහර අවස්ථාවල සැරව ඇති වේ. එය ප්ලුරල් එෆියුෂන් ලෙස හැඳින්වේ. එවිට ශල්‍ය වෛද්‍යවරු (IC tube) අන්තර් පර්ශුක බට දමා එම සැරව පිටතට ගනී. එම ක්‍රියාවලියේදී එය පහසුවෙන් ඉවත් කිරීමට භෞත චිකිත්සාවේදී කරන ව්‍යායාම වැදගත් වේ.