තුනපහ කුඩුවලටත් විවිධ ද්‍රව්‍ය කලවම් කරනවා

තුනපහ කුඩුවලටත් විවිධ ද්‍රව්‍ය කලවම් කරනවා

ආර්.එම්.ජී.බී.රාජනායක

කොළඹ නාගරික අනුමත

රස පරීක්ෂක

ආහාර සකසා ගැනීමේ දී අත්‍යවශ්‍යයෙන්ම අපි භාවිතයට ගන්නා කුළුබඩු අතර තුනපහ ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙනවා. කාර්ය බහුල දිවියක් ගෙන යන ගෘහණියන් වෙළෙඳපොළෙන් තුනපහ මිල දී ගෙන යන්නට හුරු පුරුදුව සිටිනවා. බොහෝ විට ඔබත් මේ දේ සිදු කරනවා ඇති. එහෙත් ඔබ මේ ලෙස මිල දී ගැනුමට සූදානම් වන්නේ සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කෙරෙන තුනපහද? එසේත් නොමැති නම් විවිධ බාල වර්ගයේ ද්‍රව්‍ය භාවිතා කරමින් විවිධ දේ එක්කාසු කරමින් සකසා වෙළෙඳපොළේ විකිණීමට තැබූ තුනපහද? තුන පහ සඳහා වැඩි වශයෙන් කලවම් කරන්නේ කුමන ද්‍රව්‍යද? එසේ නම් එය නිවැරදිව හඳුනාගන්නේ කෙසේද යන්න මෙවර කතාබහට ලක් කළෙමු.

තුන පහ කියන්නේ සරලව කිව්වොත් කුළුබඩු තුනක හෝ ඊට වැඩි වර්ග කිහිපයක මිශ්‍රණයක්. කොත්තමල්ලි, සූදුරු,මහදුරු,උළුහාල්, වැනි ද්‍රව්‍ය එහි අඩංගු වී තිබිය හැකියි. බොහෝ වෙලාවට වෙළෙඳපළේ විකිණීමට තබා ඇති මෙම තුනපහ කුඩුවලට විවිධ ද්‍රව්‍ය කලවම් කරන බවක් අප සිදුකරන ලද විවිධ වැටලීම්වලදී අපට සොයා ගන්නට හැකි වී තිබෙනවා.

බහුලවම තුනපහ සඳහා කලවම් කිරීමට යොදා ගනු ලබන්නේ පිටියි. විශේෂයෙන්ම තුනපහ සඳහා පාන් පිටි, හාල්පිටි කලවම් කරන අවස්ථා දක්නට ලැබෙනවා. තුන පහ සඳහා ඩයි වර්ග ද යොදන අවස්ථා දක්නට ලැබෙනවා. බහුලවම කලවම් කරනු ලබන්නේ පිටි වර්ගයි. මෙලෙස තුනපහ සඳහා පිටි කලව්ම් කර ඇත්දැයි සොයා ගැනීමට ගෙදරදී වුණත් සරල පරීක්ෂණයකින් ඔබට සොයා ගැනීමට පුළුවන්. පිටි කලවම් බවට සැක නම් ඔබ මිල දී ගත් තුනපහ කුඩු ටිකක් ගෙන වතුරට දමා හොඳීන් උතුරුවන්න. පසුව එම වතුර ටික පෙරා ඉතිරි දෑ පරීක්ෂණ නලයක් ඇත්නම් එයට හෝ ‍තරමක් උස බෝතලයකට දමන්න. පසුව එයට අයඩින් ස්වල්පයක් හෝ නිවෙසේ ඇති බෙටර්ඩින් ( තුවාල සඳහා යොදන) දියර බිදුවක් දමන්න. එවිට පරීක්ෂණ නළයට හෝ බෝතලයට දැමූ තුනපහ මිශ්‍රණය නිල් පැහැ ගැන් වී ඇත් නම් එයට පිටි කලවම් කර තිබේ. සාමාන්‍යයෙන් තුනපහ වල කහ තිබුණොත් යන්තම් නිල්පාට වී නැති වී යයි. එලෙසම තද නිල් පැහැයෙන් යුතුව දිස් වුවොත් තුන පහ සඳහා කළවම් කර ඇත්තේ කුමන පිටි වර්ගයක් දැයි අන්වික්ෂයක් භාවිතා කර සොයා ගැනීමට හැකියාව පවතී. තවද තුනපහ සඳහා ඩයි යොදා ඇත්නම් එයත් මීට පෙර අපි ඔබ දැනුම්වත් කළ බැටළු වූල් ‍හෝ කපු රෙදි කැබැල්ලක් යොදා සිදු කරන පරීක්ෂණයෙන් සොයා ගත හැකියි. සාමාන්‍යයෙන් තුන පහ නිතර පාවිච්චියට ගනු ලබන නිසාම හොඳ තත්ත්වයේ තුනපහ රසයෙන්,පාටින් මෙන්ම සුවඳීන්ද හඳුනාගන්නට හැකියි. විශේෂයෙන්ම තුනපහ සඳහා යොදාගනු ලබන කොත්තමල්ලි, සූදුරු, මහදුරු හොඳීන් මේරීමට ලක් නොවී නෙලා ගෙන වේලීමෙන් සකසන තුනපහවල ගුණාත්මක බවේ, රසයේ මෙන්ම සුවඳේ ද අඩුවක් තිබීමට පුළුවන. එවිට එවැනි ද්‍රව්‍ය යොදාගෙන සකසන තුනපහ බාල වර්ගයේ තුනපහ බවට පත්වේ.

තුනපහ සඳහා වැලි සහ ලී කුඩුත් කලවම් කරන අවස්ථාත් වාර්තා වෙනවාද?

එලෙස වාර්තා වූ මෙන්ම හමු වූ අවස්ථාද තිබෙනවා. නමුත් මේ තත්ත්වය දැන් ගොඩක් දුරට අඩූයි. මෙවැනි කූඨ වැඩ සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක වෙනවා. තුනපහ සඳහා වැලි, ලීකුඩු යොදා තිබේ නම් ඒවා රසායනාගාර පරීක්ෂණ මඟින් සොයා ගත හැකියි. ඒ වගේම තුනපහ නිෂ්පාදනය කරත් දී ගල් වංගෙඩිවල දමා කෙටීමෙන් ඒ වායේ ගල් කුඩු මිශ්‍රවීමටත් පුළුවන්. ඒ වගේම තුන පහ සැකසීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය හොඳීන් සෝදා නැති නම් ඒවායේ ඇති විවිධ අපද්‍රව්‍ය ද තුනපහ කුඩු සමඟ මිශ්‍රවිය හැකියි. හැම විටම තුනපහ සඳහා අමුද්‍රව්‍ය මිල දී ගැනීමේ දී ඒවායේ තත්ත්වය පිළිබඳ හොඳීන් සැලකිලිමත් වෙන්න. සෞඛාරක්ෂිතව ගබඩා කර නොතිබූ විට කැරපොත්තන්, මීයන් වැනි සතුන්ගේ අපද්‍රව්‍ය මේවාට මිශ්‍රවීමට පුළුවන. බැලු බැල්මට සම්පූර්ණ කොත්තමල්ලි ඇට මිල දී ගන්න ඔබ වගබලා ගන්න. කෘමින්ගේ විදීමට ලක් වූ, දූවිලි සහිත කොත්තමල්ලි මිල දී නොගන්න. හොඳ සුවදවත්, පූර්ණ ඇටය සහිත, හොඳ පෙනුමක්,වර්ණයක් ඇති කොත්තමල්ලී මිල දී ගන්න වගබලා ගන්න.

තුනපහවල ඇති ගුණ මොනවාද?

තුනපහවල ඇත්තේ ඖෂධීය ගුණයකි. තුනපහ සඳහා යොදා ගන්නා කොත්තමල්ලි මඟින් ශරීරයේ උෂණත්වය පාලනය වන අතර සූදුරු ආහාර ජීර්ණය සඳහා ප්‍රයෝජනවත් වේ. මහදුරු මඟින් බඩ පිපුම වැනි රෝග සංඛ්‍යාවක් වැළකේ. එලෙසම කහ විසබීජ නැසීමටත්, උළුහාල් ඇගේ උෂ්ණය පාලනය කිරිමටත්, මිරිස් විෂබීජ නැසීමටත් උපකාරී වේ. එනිසා තුනපහ අපගේ ආහාරයට එක් කර ගැනීමෙන් ඖෂධීය ගුණ රැසක් අප සිරුරට ලැබෙන අතර සෞඛාරක්ෂිත දිවියක් ගෙනයාමට එය ප්‍රයෝජනවත් වනු ඇත.

අතීතයේ දි අපගේ ගෘහණියන් තුනපහ ගුලියක් අඹරා අවශ්‍ය ආකාරයට ආහාර සඳහා යොදා ගත් අතර වර්තමානයේ දී කාර්ය බහුල දිවියක් ගත කරන ඔබත් තුනපහ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නියමිත පරිදි පිරිසුදු තැනකින් මිල දී ගෙන හොඳීන් සෝදා වියලා කුඩුකර හෝ අඹරා ආහාරයට යොදා ගැනීම වඩාත් උචිතය.