ඉන්ෆ්ලුවෙන්සා ද? කුරුළු උණ ද?

ඉන්ෆ්ලුවෙන්සා ද? කුරුළු උණ ද?

මහනුවර ශික්ෂණ රෝහලේ

අණුක වෛරසවේදී

විශේෂඥ වෛද්‍ය

නදික ජානගේ

ඉන්ෆ්ලුවෙන්සාව යනුවෙන් හඳුන්වන්නේ ස්වසන මාර්ගය ආශි‍්‍රතව පැතිර යන වෛරස් රෝගයකි. මිනිසාගෙන් මිනිසාට වාතය ආග්‍රහණය තුළින් මෙම වෛරසය පැතිර යන අතර අපවිත්‍ර දෑත් මඟින් ද රෝගය සම්පේ‍්‍රෂණය වේ.

ඉන්ෆ්ලුවෙන්සාව ඇති කරන වෛරසය කොටස් දෙකට බෙදෙන අතර එවා වනුයේ ඉන්ෆ්ලුවෙන්සා ඒ සහ ඉන්ෆ්ලුවෙන්සා ඕ යන වෛරස දෙකයි.

විශේෂයෙන් ශීත දේශගුණය සහිත දෙසැම්බරයේ සිට පෙබරවාරි දක්වාත් මැයි සිට ජුලි දක්වාත් රෝගය වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින නමුදු වර්තමානයේ මුළු අවුරුද්දේ මාස 12 පුරා ඉන්ෆ්ලුවෙන්සාව වැළඳුන රෝගීන් රෝහල්වලින් වාර්තා වේ.

ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය වර්ග දෙකකට බෙදිය හැක. ඒ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සාව සහ කුරුළු උණයි. ඉන්ෆ්ලුවෙන්සාව වැළඳුන විට ඇතැමුන් විසින් සාමාන්‍යය ඉන්ෆ්ලුවෙන්සාව සහ කුරුළු උණ එකට පටලවා ගැනීමක් සිදු කරගෙන අනිසි බියක් හට ගැනීම ද බොහෝවිට දක්නට ලැබෙන තත්ත්වයකි.

නමුත් මේ දිනවල සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී ඇත්තේ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සාව මිස කුරුළු උණ නොවේ. ඉන්ෆ්ලුවෙන්සාව පැතිර යාමේදී වාතය මඟින් මෙන්ම අපවිත්‍ර දෑත් මඟින් සම්ප්‍රේෂණය වන අතර ඉහත දැක වූ පරිදි වාතය හරහා පැතිර යාමට වඩා අපවිත්‍ර දෑත් මඟින් පැතිර යාමේ ප්‍රවණතාවය වැඩි බව වාර්තා වේ. මෙම වෛරසය වාතය හරහා ගමන් කරනුයේ මීටර් 1ක පමණ කුඩා දුර ප්‍රමාණයකටය. නමුත් රෝගියෙකු සිටින ස්ථානයේ සිට අවම පරිසරය ඉක්මවා මේ වෛරසය සම්පේ‍්‍රෂණය වන්නේ අපේ අපවිත්‍ර දෑත් ඇඳුම්, පැළඳුම් මඟිනි. අපගේ දෑත් හෝ ඇඳුම් මඟින් සම්පේ‍්‍රෂණය වන මෙම වෛරසය නොදැනුවත්වම තවත් පුද්ගලකුගෙ ස්වසන මාර්ගයට ඇතුල් වේ. මෙම වෛරසයට පැය 2 -8 කාලයක් පරිසරයේ විනාශ නොවී තිබිය හැකි බැවින් දුරස්තරව සිටින පුද්ගලයකුට වුවද මේ ආකාරයට වෛරසය සම්පේ‍්‍රෂණය විය හැක.

නමුත් වර්තමානයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රතිකාර ක්‍රම පවතින බැවින් රෝගය සුවකර ගැනීමට තිබෙන අවකාශ බොහෝ වේ.

ඉන්ෆ්ලුවෙන්සා ස්වසනය මඟින් බෝවන රෝගයක් හෙයින් වෛරසය පැතිර යාම පාලනය කිරීමට නොයෙකුත් ක්‍රමවේදයන් අනුගමනය කළ හැක. එබැවින් එම ක්‍රමවේද අනුගමනය කිරීමෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ආරක්ෂා වීමට අපට හැකියාව පවතී.

වෛරසය පැතිරීම පාලනය කළ හැකි ක්‍රම

1. කැස්ස සහ කිවිසුම් /ආවරණය කිරීම

2. කහින විට, උරහිස දෙසට මුහුණ හැරවීම නිසා වාතය මඟින් පැතිර යාම අවම කර ගත හැක. එසේම එම බිඳිති මඟින් දෑත සහ ලේන්සුව අපවිත්‍ර වීම සිදු නොවේ.

3. අපවිත්‍ර දෑත් සහ ලේන්සු මඟින් වෛරසය පැතිර යාම සිදුවන බැවින් ඉවත දැමිය හැකි ටිෂූ එක්වරක් භාවිතා කොට ඉවත් කළ යුතු වේ.

4. ස්වසන බිඳිති මඟින් දෑත් අපවිත්‍ර වූ සෑම විටම දෙඅත් සබන් යොදා හොඳින් සෝදා ගැනීම කළ යුතුයි.

5. තවද රෝගියකු සාත්තු කළ පසු ගමනක් ගොස් පැමිණි පසු සබන් යොදා දෑත් සේදීම කළ යුතු වේ.

* අනවශ්‍ය ලෙස මුහුණ ඇල්ලීම සිදු නොකළ යුතුය.

* මුඛ ආවරණයක් රෝගීන් පැළඳ සිටින්නේ නම් එය වඩාත් යෝග්‍ය සෞඛ්‍ය පියවරකි. රෝගියාගේ අවට පරිසරය (මීටර් 1 තුළ ප්‍රමාණය) සුදුසු පිරිසිදු කාරකයක් යොදා පිරිසිදු කිරීම.

* රෝගීන් එකිනෙකා මුණගැසීමෙන් වළක්වා ගැනීම

* මෙවැනි රෝගීන් බැලීමට යාම සීමා කිරීම

* අවදානම් කාණ්ඩවලට අයත් රෝගීන් (පහත සඳහන් වන පරිදි) අනවශ්‍ය ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලට යාමෙන් වැළකීම.

මෙයට හේතුව වන්නේ ආසාදිත පුද්ගලයකු රෝග ලක්ෂණ ආරම්භ කළ දා පටන් එම ලක්ෂණ පහවන තුරු වෛරසය සම්පේ‍්‍රෂණය විය හැකි බැවිණි.

සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ

සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා වෛරසය රෝග ලක්ෂණ රහිත ආසාදන සිට තදබල නිව්මෝනියාව දක්වා යන පරාසයක රෝගි තත්ත්ව ඇති කරයි. එම නිසා ප්‍රායෝගික භාවිතයේ අප සැළකිලිමත් විය යුත්තේ සෞඛ්‍යයට බලපාන රෝගී තත්ත්වයන් පිළිබඳවයි. එහිදී සෙල්සියස් අංශක 38ට වැඩි උණ සමඟ උගුර රිදීම, කැස්ස හෝ හුස්ම ගැනීමේ ස්වසන අපහසුතා ඇත්නම් ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය ගැන සැක කළ යුතු වේ. එනම් සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වුවද ඉන්ෆ්ලුවෙන්සාව විය හැකිය. අවදානම් කාණ්ඩවලට අයත් නොවන සාමාන්‍ය රෝගීන් බොහෝවිට සංකූලතාවලට (නිව්මෝනියා තත්ත්වයට) යොමු නොවුණද, අවදානම් කාණ්ඩවල රෝගින්ට ඉතා පහසුවෙන් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු විය හැකිය. මෙම සංකූලතා ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නිසා හෝ ඊට පසුව ඇතිවන බැක්ටීරියා ආසාදන ද නිසා සිදුවිය හැකිය.

සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා වෛරසය නිසා තදබල නිව්මෝනියා තත්ත්ව ඇතිවිය හැකි රෝගී කාණ්ඩ

අවදානම් කාණ්ඩවල රෝගීන්

1. ගර්භණී මාතාවන්

2. අවුරුදු 65ට වැඩි පුද්ගලයන්

3. නිදන්ගත රෝගවලට ඇති ගොදුරු වූවන්

4. රෝගී තත්ත්වය නිසා හෝ ඖෂධ නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු වූ රෝගීන්

5. දියවැඩියාව පාලනය නොකළ රෝගීන්

6. මාස 6ට අඩු ළදරුවන්

7. නිදන්ගත පෙනහලු රෝග ඇති රෝගීන්

තද උණ, කැස්ස, උගුර රිදීම හෝ ස්වසන අපහසුතා ඇති වූ විට පමා නොවී වෛද්‍යවරයකු හමුවිය යුතුය. ඊට හේතුව, අදාළ කාලය තුළ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ පැතිරීම වැඩිපුර සිදුවන කාලයේ රෝගියාගේ රෝග ලක්ෂණ සලකා බලා, අවශ්‍ය පරීක්ෂණ සහ ඉන්ෆ්ලුවෙන්සා විශේෂ ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයාට රෝගියාව ඉක්මණින් යොමු කළ හැකි වීමයි. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා සිදු කරන පරීක්ෂණ හෝ විශේෂිත ප්‍රතිකාර බාහිර රෝගීන් ලෙස සිදුකළ නොහැක. එවැනි සැක කටයුතු රෝගීන් රෝහලට ඇතුළත් කර නේවාසික රෝගීන් ලෙසට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි. විශේෂ කරුණ වන්නේ, අවදානම් කාණ්ඩවල රෝගීන්ට නිව්මෝනියා තත්ත්වය වැළඳීමට ප්‍රථම රෝගයේ මූලික අවස්ථාවේදීම ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබාදීමට හැකි වීමය.

අවදානම් කාණ්ඩයට නොගැනෙන සාමාන්‍ය රෝගීන්

අවදානම් කාණ්ඩවලට අයත් නොවන රෝගීන් හට සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මඟින් සංකූලතා (නිව්මෝනියා තත්ත්වය) ඇතිවන ප්‍රවණතාව ඉතා අඩුය. බොහෝ අවස්ථාවලදී සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර පමණක් ඔවුනට සෑහේ. විශේෂිත පරීක්ෂණ හෝ විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය නොවේ. නමුත් කලාතුරකින් වුවද එවැනි සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් පවා සංකූලතාවලට ගොදුරු විය හැකිය. එම නිසා සාමාන්‍ය පුද්ගලයන් වුවද උණ, කැස්ස, ස්වසන අපහසුතා ඇතිවිට සහ සුව නොවන උණ, කැස්ස ඇති විට වෛද්‍යවරයකු හමු වී පෙනහලු පරික්ෂා කොටගෙන නිව්මෝනියා තත්ත්වයන් නැතැයි තහවුරු කරගත යුතුය. නිව්මෝනියා තත්ත්වයන් ඇත්නම්, අවදානම් කාණ්ඩයට අයත් නොවන පුද්ගලයන් වුවද විශේෂිත ඉන්ෆ්ලුවෙන්සා පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වේ.

ඉන්ෆ්ලුවෙන්සා පරීක්ෂණය

මෙම විශේෂිත ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පරීක්ෂණය දැනට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට අමතරව, මහනුවර රෝහලේ අණුක වෛරසවේදී රසායනාගාරයේදී ද සිදු කෙරේ. මෙය ඉතා මිල අධික පරීක්ෂණයක් බැවින් වෛද්‍ය නිර්දේශය මත පමණක් රෝහලේ නේවාසික රෝගීන් සඳහා සිදු කරනු ලබයි. නිව්මෝනියා රෝග තත්ත්වයන් නොමැතිව වුවද ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනයක් යැයි සැක කෙරෙන අවදානම් කාණ්ඩවල රෝගීන් සඳහා ඉන්ෆ්ලුවෙන්සා පරික්ෂණය සුදුසු වේ. ඊට අමතරව හඳුනා නොගත් නිව්මෝනියා රෝග තත්ත්වයන් ඇති ඕනෑම රෝගියෙකුට මෙම පරික්ෂණය, වෛද්‍ය නිර්දේශය මත සිදු කරනු ලබයි. මුලින් සඳහන් කළ පරිදි මෙම පරීක්ෂණය බාහිර රෝගී අංශයේ රෝගීන් සඳහා සිදු නොකෙරේ. මෙම පරීක්ෂණය සිදු කළ යුතු රෝගීන්වන්නේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් විසින් තෝරා බේරාගෙන රෝහලට ඇතුළත් කරගත් රෝගීන්ය.

සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සාව සඳහා විශේෂිත ප්‍රතිකාරය

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා විශේෂිත වූ ප්‍රතිකාරයක් භාවිතා වේ. එය ද සීමාසහිතව අවශ්‍යම රෝගීන්ට පමණක් ලබා දේ. අනවශ්‍ය භාවිතා නොකෙරෙන්නේ මෙම ඖෂධය අනවශ්‍ය ලෙස භාවිතා කළොත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය, ලබාදෙන ඖෂධයට ප්‍රතිරෝධයක් දැක්වීම ඉඩ ඇති බැවිනි. එම නිසා මෙම ප්‍රතිකාරය වෛද්‍ය නිර්දේශය මත නේවාසික රෝගීන්ට ලබා දේ. සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සාව සැක කෙරෙන අවදානම් කාණ්ඩවල රෝගීන්ට සහ නිව්මෝනියා රෝග ලක්ෂණ ඇති රෝගීන්ට මෙම විශේෂිත ප්‍රතිකාරය ලබා දෙනු ලැබේ.

ඉන්ෆ්ලුවෙන්සා එන්නත

මෙම එන්නත අවුුරුද්දකට දෙපාරක්, අදාල ඉන්ෆ්ලුවෙන්සා වෛරස් කාණ්ඩයට ගැලපෙන පරිදි අලුතින් නිෂ්පාදනය වේ. එන්නත ලබාගත් පසුව එහි ආරක්ෂාව පවතින්නේ අවුරුද්දක් පමණ බැවින් එන්නත අවුරුදු පතා ලබාගත යුතු වේ. මෙහි ආරක්ෂාව 100%ක්ම නොවන නිසා, එන්නත ලබාගත් පුද්ගලයෙකුට වුවද ඉන්ෆ්ලුවෙන්සාව වැළදිය හැකි බැවින් අදාළ රෝග ලක්ෂණ ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතුය.

මෙම එන්නත මාස 6ට අඩු ළදරුවන්ට දෙනු නොලැබේ. අවුරුදු 60 වැඩි අවදානම් කාණ්ඩවල සිටින රෝගීන් සඳහා අවුරුදු පතා ලබාදීම සිදු කළ යුතුය. බිත්තරවලට අසාත්මික වූ පුද්ගලයින්ට මෙම එන්නත ලබාදිම නුසුදුසුය.

කුරුළු උණ

කුරුළු උණ ලෙස හඳුන්වන්නේ මීට වඩා වෙනස් තත්ත්වයකි. අප ඉහත සඳහන් කළ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා වෛරසවලට වඩා වෙනස්, කුරුල්ලන් අතර සංසරණය වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයයි. මෙවැනි වෛරස ඇතැම් පුද්ගලයන් තුළ දරුණු නිව්මෝනියා තත්ත්ව ඉතා ඉක්මණින් ඇති කිරීමට සමත්ය. වාසනාවකට හඳුනාගෙන ඇති එවැනි දරුණු කුරුළු වෛරසය තවමත් මිනිසාගෙන් මිනිසාට පහසුවෙන් පැතිරී වසංගත තත්ත්වයක් ඇති කිරීමට සමත් වී නැත. නමුත්, එවැනි දරුණු කුරුළු උණ වෛරසයකට, අතීතයේදී මෙන් මිනිසාගෙන් මිනිසාට පහසුවෙන් පැතිරීමේ හැකියාව ලැබුණහොත්, ඉතා භයානක ගෝලීය තත්ත්වයක් මතු විය හැක. මේ සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසි ක්‍රමවේදයක් දියත් කරමින් එවැනි වෛරසයක් අනාගතයේදී මතු වුවහොත් එයට නිසි ප්‍රතිකාර ක්‍රමයක් දියත් කරුණු ඇත.