බියගුලුකම නැති කරගන්නට මඟක්

බියගුලුකම නැති කරගන්නට මඟක්

ලෝකයේ බොහෝ දෙනෙක් බය නිසා බියට පත්වෙනවා. තවත් පිරිසක් බය නිසා සතුටක් විඳිනවා. ඒ නිසාම තමයි හොල්මන් චිත්‍රපට, කතාන්දර විතරක් නෙමෙයි හොල්මන් මන්දිර පවා මුදල් ගෙවා නරඹන්නට තරම් ඔවුන් විශාල උනන්දුවක් දක්වන්නේ. ඒ විතරක්ම නෙමෙයි. සමාජ විරෝධී ක්‍රියා වගේම වැරදි වැඩ කරන්න බයක් ඇති කර ගැනීම ඉතාම යහපත් දෙයක් වුණත් බය සීමාව ඉක්මවා ජිවිතයට අහිතකර බලපෑම් ඇතිකරනවා නම් ඒ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුයි. එසේ බය මූලික කරගෙන ඇතිවන මානසික රෝගී තත්ත්වයක් වන ෆෝබියා පිළිබඳ මෙවර මානසික රෝග ලිපිය යටතේ විමසා බලමු.

බිය සාමාන්‍ය හැඟීමක්

“බිය” යනු ඕනෑම අයෙකුට ඇතිවන සාමාන්‍ය හැඟීමක්, කුඩා දරුවන් සතුන්ට, විශාල ශබ්ද වලට පමණක් නොව ඇතැම් විට පුද්ගලයන්ට පවා බිය ඇති කරගනු ලැබේ. නමුත් දරුවකු ක්‍රමයෙන් වයසින් මුහුකුරා යන විට එම හැඟීම ඉවත් වේ. ඇතැම් විට වැඩිහිටියන්ට පවා බියක් තැති ගැනීමක් ඇතිවන වන අවස්ථාද ඕනෑ තරම්.

බිය රෝගී තත්ත්වයක් වන විට

බිය රෝගී තත්ත්වයක් වශයෙන් සලකා බැලීමේදී ෆෝබියා (Phobia) නමින් හැඳින්වේ. Anxiety Disorders රෝග කාණ්ඩය යටතට වැටෙන මෙම ෆෝබියා තත්ත්වයේදී කායික මෙන්ම චිත්තාවේගික ලක්ෂණ ද දැකගත හැකියි. බිය සාමාන්‍ය හැඟීමක් වශයෙන් සලකා බැලීමේදී ජීවිතයට බාධාවන් ඇති නොකළ ද මානසික රෝගී තත්ත්වයක් වශයෙන් විමසා බලන විට අසීමාන්තිකව ඇතිවන බිය ජීවිතයේ ගුණාත්මක භාවයට විශාල තර්ජනයක්. හේතු රහිතව ජීවිතයට ඇතිවන බිය එසේත් නොමැති නම් ෆොබියාව වස්තූන් , ස්ථාන සහ සිද්ධීන් මුල් කරගෙන ඇතිවිය හැකියි.

Phobia තත්ත්වයේදී ඇතිවන කායික හා චිත්තාවේගික රෝග ලක්ෂණ

මෙහිදී දැක ගත හැකි කායික රෝග ලක්ෂණ වන්නේ හෘද ස්පන්දන වේගය වැඩි වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ ඇතිවන වේදනාව, අත් පා වෙව්ළීම, ශරීරිය අප්‍රාණිකවීම හා සීතලවීම ආදියයි.

චෛතසික වශයෙන් ෆොබියා තත්ත්වයක් ඇති අයෙකු මුහුණ දෙන ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ ඕනෑම දෙයක් පිළිබඳව අනවශ්‍ය ආකාරයට සිතීමයි. විවිධ සිදුවීම්, පුද්ගලයන් ස්ථාන ආදී වශයෙන් ෆොබියා තත්ත්වයන් ඇතිවන අතර තමාට මුහුණ දීමට සිදුවන අත්දැකීම පිළිබඳ අනවශ්‍ය ආකාරයෙන්් සිතීම, තමා මුහුණ දෙන අත්දැකීම පිළිබඳ වද වීම (Worry), එම අවස්ථාවන්ට මුහුණ නොදී මඟ හැරීමට විවිධ හේතු ඇතිකර ගැනීම ආදී රෝග ලක්ෂණ මේ යටතේ හඳුනාගත හැකියි.

Phobia ප්‍රධාන කොටස් 03කට වර්ග කළ හැකියි.

1)Agoraphobia
2)Social Phobia
3)Specific Phobia

මෙවැනි රෝගීන් නිතරම උත්සාහ කරන්නේ නිවස තුළටම වී කාලය ගත කරන්නටයි. නිවසින් පිට වන්නට ඔවුන් අධික බියකින් පසුවේ. එසේ නිවසින් පිටවීමට අත්‍යාවශ්‍ය නම් එම හේතු මඟ හැරීම දැඩි උත්සාහයක් ගනු ලැබේ. උදාහරණ ලෙස යම් මවකට මේ ගැටලුව තිබෙනවා නම් නිවසින් පිට තිබෙන වැඩ කටයුතු, දරුවන්ගේ වැඩ කටයුතු හැකි තරම් මඟ හැරීම හෝ ඒවා මඟහැර සිටීමට නොහැකි වන විටදී තමන්ගේ සැමියාට හෝ වෙනත් අයෙකුට එම කටයුතු පැවරීම ද දැකගත හැකියි. හදිසියේ හෝ නිවසින් පිට වී ගියත් ඒ සඳහා තවත් අයකුගේ සහාය ද බලාපොරොත්තු වේ.

Agoraphobia

යොවුන් වියේ ආරම්භවන මෙම ෆෝබියා තත්ත්වය වැඩිහිටිකාලය දක්වා දීර්ඝ කාලීනව පැවතිය හැකියි. මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන අය සමාජයේ අන් අය සමඟ ගැටෙමින් කටයුතු කිරීමට අකමැති අතර හැකි තරම් එවැනි අවස්ථා මඟහරිමින් කටයුතු කරනු ලැබේ. එම අවස්ථාවලට මුහුණ නොදී ඒවා මඟ හරිනු ලබන්නේ තමා අතින් යම් වරදක් වී අවට සිටින පිරිසගේ සිනහටව ලක්වේවි යන අනියත බිය නිසාය. ඒ නිසා හැකි සෑම විටෙකම එවන් අවස්ථා මඟ හැරියත් ඒවා තව දුරටත් මඟ හැර කිරීමට නොහැකි වූ විට එම අවස්ථාවට ඔවුන් මුහුණ දෙන්නේ ඉතාම අපහසුවෙන්. මෙවැනි තත්ත්වයකින් පෙළෙන අයට එය ජීවිතයේ ගුණාත්මක භාවයට විශාල තර්ජනයක් ඇති කරනු ලැබේ.

Social Phobia

යම් දෙයක් මුල්කරගෙන ඇතිවන බිය මේ නමින් හැඳින්වේ. උදාහරණ කැරපොත්තන්, මකුළුවන් උස් ස්ථාන, එන්නත් කටු, රුධිරය, ගුවන් ගමන් වැනි

නමුත් මෙය සාමාන්‍යයෙන් පවතින බිය ඉක්මවා යන අවස්ථාවකි. උදාහරණ ලෙස ඕනෑම අයෙක් එන්නත් ලබා ගැනීමට බියවීම. සාමාන්‍ය දෙයක් වුණත් මෙවැනි රෝගීන් එන්නත ලබාගන්නවා තබා ඒ පිළිබඳ මතක් කරනවාට පවා බිය වේ. ඒ අනුව මෙවැනි රෝගී තත්ත්ව නිසා පුද්ගලයාට ඇතිවන බිය සාමාන්‍ය තත්ත්වය ඉක්මවා ගොස් අදාළ පුද්ගලයාව අපසුතාවට පත් කරනු ලැබේ.

Phobia සඳහා හේතු

ඡානමය වශයෙන් ඇතිවන බලපෑම, පාරිසරික සාධක මේ සඳහා බලපාන ප්‍රධාන හේතු වශයෙන් හඳුන්වා දිය හැකියි. පාරිසරික වශයෙන් ඇතිවන හේතු ලෙස මව යම් ෆෝබියා තත්ත්වයක් පෙන්නුම් කරනවා නම් දරුවාද ඊට ස්වභාවිකවම හුරුවක් ඇති කරගනු ලැබේ.

ප්‍රතිකාර

මේ සඳහා සිදු කෙරෙන ප්‍රතිකාර වන්නේ චර්යාත්මක ප්‍රතිකාරයි. නමුත් ඇතැම් අවස්ථාවල ඖෂධ නියම කරන අවස්ථා ද තිබේ. මුල් කාලීනව මෙසේ ඇතිවන සුළු සුළු ෆෝබියා තත්ත්ව වැඩිහිටිවියට පත්වන විට ඉබේම මඟ හැරි යනු ලැබේ. එසේ නොමැති නම් දිගින් දිගටම තමා බියට පත් කරන අවස්ථා වලට නොබියව මුහුණදීම මඟින් ද රෝගී තත්ත්වය යම් පාලනයකට යටත් කළ හැකියි. නමුත් ඒවා දිගින් දිගටම මඟ හැරිය හොත් ඒ නිසා දීර්ඝකාලීනව පැවතිමට ද හැකියි.