හෙළ ඔසු රැක ගැනීම පාසලෙන් ඇරැඹිය යුතුය

හෙළ ඔසු රැක ගැනීම පාසලෙන් ඇරැඹිය යුතුය

බොහෝ පිරිස් හෙළඔසු හඳුනන්නේ නොමැතිකම නිසා ඒවා පහසුවෙන් සොයා ගැනීමට ඇති අපහසුතාවය නිසාත්, පාරම්පාරික රහස් වෙදකම් උරුම කරගත් හෙළ වෙදදුරන්ගේ තොරතුරු අප්‍රකටව ඇති බැවිනුත්, හෙළ වෙදකම නැත්තම් සිංහල ආයුර්වේදය ජනතාවගෙන් දුරස්ව යමින් පවතින බව නොරහසකි.

මෙයට විසඳුම් සොයා ගැනීම උදෙසා ශ්‍රී ලාංකීය ආයුර්වේදයේ තොරතුරු සහ මාර්ගෝපදේශයන් සහිත හෙළ වෙදකම, නවීන සන්නිවේදන තාක්ෂණයෙන් යාවත්කාලීන කර ජංගම දුරකතනයෙන් තොරතුරු ගෙන්වා ගත හැකි වනසේ සකස් කරමින් ජනතාවට සමීප කරවීම උදෙසා හෙළ වෙදකම් මාර්ගෝපදේශය නම් වූ ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සකසා ඇත. එසේම ඔසු පිළිබඳවත් වෙදදුරන් පිළිබඳවත් තොරතුරු සොයා ගැනීම උදෙසා ශ්‍රී ලංකා ආයුර්වේද නාමාවලියක් ද නුදුරේදීම එළි දැක්වීමට නියමිතය.

විස වෛද්‍ය විශේෂඥ කුඹුක එච්.ඩී.එස්. සම්පත් පුෂ්පකුමාර වෙදදුරන්ගේ මග පෙන්වීම අනුව සැකසූ මෙම ව්‍යාපෘතියේ වාර්තාව, හෙළ වෙදකම් මාර්ගෝපදේශයේ නිර්මාතෘ එම්.එස්.සි.පෙරේරා මහතා විසින් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පිළිගන්වන ලදී.

හෙළවෙදකම රැකගැනීමට නම් පළමුව කල යුත්තේ හෙළඔසු රැකගැනීමය. අතීතයේදී ඒවා ස්වභාවධර්මය විසින්ම රැකගෙන තිබුණි. එහෙත් ක්‍රමක්‍රමයෙන් නොයෙකුත් හේතු මත වනාන්තර එළිකිරීමත් මෙන්ම නිවාස ඉදිකිරීම සඳහා නාගරික හා ගම්බද කැලෑ එළිපෙහෙලි කිරීමත් හේතුවෙන් හෙළ ඔසු එනම් ආයුර්වේදයේ ඖෂධ සඳහා යොදා ගත් පැලෑටි වර්ග හා ගස්වැල් වඳවි යන්නට විය.

මෙහි ඇති තවත් ගැටලුවක් වනුයේ වර්තමානයේ ජීවත්වන තරුණ පිරිස් හා ළමා පරපුර ඖෂධවලට යොදා ගන්නා ගස් වැල් හා පැලෑටි වර්ග හඳුන්නේ නැතිකමය.

අද ළමුන් සියයක් ගතහොත් කුප්පමේනියා ගසක්වත් හඳුනන අය සිටින්නේ කීයෙන් කීදෙනාද? ළමුන්ට ඒවා ගැන කියා දෙන්නේ කවුද? අද ළමුන්ට කැලෑවල් ගානේ ගොස් ඒවා ගැන දැනගැනීමට වෙලාවක් තිබේද? ගම්බද කෙසේ වෙතත් නගරයේ ජීවත්වන ළමුන්ට එසේ කිරීමට ලඳුකැලෑවක්වත් ඉතිරිවී තිබේද? තත්ත්වය මෙසේ නම් මොවුන් වැඩිහිිටියන් වී රට බාරගත්කල ඔවුන්ගෙන් හෙළවෙදකම රැකේවිද?

මෙය අදට වඩා බලපානු ලබන්නේ මතු උපදින පරපුරයන්ටය. එයද වැඩි ඈතක නොවේ. දරුවන් යමක් ඉගෙන ගන්නේ පාසලෙන්ය. එසේ නම් ගහ කොළ ගැන ද දැනගත යුත්තේ පාසලෙනි. අද එවැනි දෙයක් සිදුවන්නේ නැත. එහෙත් එදා සිටි අධ්‍යාපන විශේෂඥයින් රටේ පැවැත්ම ගැන සිතා පාසල් විෂය මාලාවට පරිසරය, සෞඛ්‍යය, භූගෝලය, ඉතිහාසය වැනි විෂයන් එකතු කර තිබුණේ ඇයි දැයි යන්න සිතාගත හැක.

එදා පරිසරය යනුවෙන් ඉගැන්වුයේ අප අවට ඇති ගස්කොලන් කාලගුණය වැනි එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය භෞතික දේවල් ගැන දැනැගැනීමටය. එහෙත් අද එවැනි දෙයක් සිදු නොවන හෙයින් අද ජීවත්වන ළමුන්ට අප අවට ඇති බාහිර දේ ගැන දැනුමක් නොමැතිවීම පුදුමයට කරුණක් නොවේ. අද එම විෂයන් ගැන අසන්නටවත් නොමැත. පාසැල් විෂය මාලාවලින් ඒවා ඉවත්ව ගොසින් ඇත.

අද ඇත්තේ පරිසරය, සෞඛ්‍යය, භූගෝලය, ඉතිහාසය වැනි විෂයන්ගෙන් කරුණු ටික ටික ගෙන එක විෂයක් සේ ඉගැන්වීමය. මෙය වෙනස්විය යුතුය. අවුරුදු 10ක් පාසැලේ සිටින සිසුවා ඉන් අවුරුදු 2ක්වත් හෙළඔසු ගැන ඉගෙන යුතුය. නොඑසේ නම් හෙළඔසු නොහඳුනන කම නිසාම හෙළ වෙදකමත් ඔවුන් දුරස් කරනු ඇත.

හෙළ ඔසු නැතිවි ගියකළ හෙළ වෙදකමද නැතිවි යන්නේය. හෙළඔසු රැක ගැනීම පාසලෙන්ම ඇරඹිය යුත්තේ එහෙයින්ය. ඒ සඳහා සමස්ථ පාසල් ජාලයම එකතුකර ගනිමින් හෙළඔසු රැකගැනීමේ ජාතික මෙහෙවර අප විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පරිගණකය හා තාක්ෂණය සමග ගැටෙන දරුවන්හට ඔවුනගේ සිතැඟි පරිදි දුරකතන සන්නිවේදන තාක්ෂණයෙන්ම ඊට සහභාගි වීමට ඉඩ සලසා දීම එහි විශේෂත්වය වනු ඇත.

එම්.එස්.සී.පෙරේරා

සම්පාදක - හෙළ වෙදකම් මාර්ගෝපදේශය