උදරයේ අනවශ්‍ය වාතය බැහැර කරන යෝග ආසනය

උදරයේ අනවශ්‍ය වාතය බැහැර කරන යෝග ආසනය

ප්‍රවීණ යෝගාචාර්ය

රෝලන්ඩ් විතානගේ

අද පාඩම තුළින් ඔබට ඉදිරිපත් කරනුයේ පවත මුක්ත ආසනයයි. සංස්කෘත භාෂාවෙන් පවන යනු සුළඟ හෝ වාතය හැඳින්වීමට භාවිතා වේ. මුක්ත යනු ඉවත් කිරිමයි. සැකවින් පවසතොත් උදරයේ පිරි තිබෙන අනවශ්‍ය වාතය බැහැර කර හැරීමයි.

අප දැන් මෙම ආසනයට පිවිසෙන ආකාරය මදක් විමසා බලමු. ඔබ පළමුවන ඡායාරූපයේ දිස්වන ආකාරයට ආස්තරණය මත උඩුකුරු අතට වැතිරී පළමු ඡායාරූපයේ ආකාරයට වම් පාදය දණහිසෙන් නවා පාදය බිම තබන්න. මෙවිට ඔබගේ දෑත් දෙක ශරීරය දෙපස තබා ගනිමින් තත්පර දෙකක් පමණ සිට දෙවන ඡායාරූපයේ දැක්වෙන පරිදි දෑත් දෙකෙන් ඔබගේ දණහිස් ප්‍රදේශය අල්ලාගන්න. එසේ සිටිමින් ආශ්වාස කරන්න. නාසයෙන් එම වාතය රඳවා තබාගනිමින් තෙවන ඡායාරූපයේ දිස්වන ආකාරයට එම පාදය දෑත් දෙකින්ම ඇඟිලි අතර ඇඟිලි පටලවා ගනිමින් අල්ලා ගනිමින් දැන් ප්‍රාශ්වාස කර ඔබට හැකිනම් දණහිස් මත නළල ගාවන්න. ඒත් ඔබ ආයාසයෙන් එසේ නොකරන්න. සමහරවිට ප්‍රථම අවස්ථාවේදී ඔබගේ නළල දණහිස් මත ස්පර්ශ කිරීමට නොහැකි වූවත් පුරුදු පුහුණුවෙන් පසුව ඔබට පහසුවෙන් යෙදිය හැකි වනු ඇත. මේ ආකාරයෙන් වම් පාදයට වාර තුනක් ද දකුණු පාදයට වාර තුනක් ද යෙදෙන්න.

ප්‍රතිඵල

උදරය නෙරා ඒම පාලනය වේ.

එමෙන්ම උදර ආම්ලිකත්ව නොහොත් ගැස්ට්‍රයිටීස් රෝග තත්ත්වයට යම්කිසි සහනයක් ගෙන දේ. බඩ පිපුමට ද සහනයක් ගෙන දෙන ආසනයකි.

සැලකිය යුතුයි

කොන්දේ කැක්කුම් සහ ගෙල ආශි‍්‍රත රෝගාබාධ වලින් පෙළෙන අයට මෙම ආසනය සුදුසු නොවේ.

එමෙන්ම ගර්භනී මාතාවන් සහ මෑතකාලීනව ශල්‍යකර්මවලට ලක් වූවන්ට ද සුදුසු නොවේ.