උදරය මහත්වීම නිසා හෘදයාබාධ - දියවැඩියාව

උදරය මහත්වීම නිසා හෘදයාබාධ - දියවැඩියාව

ඇපල් ගෙඩියක් සමාන තරබාරුවක් පෙන්නුම් කිරීම හෘදයාබාධ හා දියවැඩියා රෝග වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති බව ඇමරිකාවේ සොල්ට් සිටි ඉන්ටමවුන්ටන් වෛද්‍ය මධ්‍යස්ථානය මඟින් මෑතකදී පැවැත්වූ පර්යේෂණයකින් හෙළි වී ඇති බව වාර්තා වේ. මීට පෙර මෙම තරබාරු වීම නිසා ඇතිවන රෝගාබාධ පිළිබඳව පවත්වනු ලැබූ පර්යේෂණවලදී කෙනෙකුගේ ඉඟ ප්‍රදේශය අධික ලෙස මහත් වී තරබාරු තත්ත්වයක් ඇති වීම සමස්ථයක් වශයෙන් සෞඛ්‍යයේ පැවැත්ම කෙරේ දැඩි බලපෑමක් ඇතිවන බව හෙළි වී ඇතත් විශේෂයෙන් ආමාශයට සම්බන්ධ ප්‍රදේශයේ මහත් වී බර වැඩි වීම නිසා ඉහතින් දැක් වූ රෝගාබාධ ඇති වීමේ හැකියාවක් ඇති බව මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත.

එම කරුණ එම ආයතනයේ ආචාර්ය කර්ක්  (kirk)  තෝල්ටන් ද සනාථ කරමින් පවසන්නේ හෘදයාබාධ හා දියවැඩියා රෝග ඇති වීමට අමාශයට සම්බන්ධ ප්‍රදේශය මහත් වීම නිසා ඇතිවන බර වැඩි වීම බෙහෙවින් බලපානු ඇත යන්නයි.

මෙම අධ්‍යයනය පිළිබඳ තොරතුරු ඇමරිකන් වෛද්‍ය සංගමය මඟින් නිකුත් කරනු ලබන සඟරාවේ පළ කරනු ලැබූ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් විශේෂ ලිපියක් ඉදිරිපත් කළ ලන්ඩනයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ ජොර්ජ් ඩෙවිස් පවසන්නේ, ආමාශයට සම්බන්ධ තරබාරුව අඩු කර ගතහොත් දියවැඩියාව හා හෘදයාබාධ ඇති වීම වලකා ගත හැකියි යන්න සනාථ නොවුණත් මෙම අධ්‍යයන මඟින් එම රෝගාබාධ ඈත්වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බවයි.

ජානමය හේතූන් නිසා ඉඟ ප්‍රදේශ අනවශ්‍ය ලෙස මහත් වීම හේතුකොට ගෙන රුධිරයේ සීනි ප්‍රමාණය, රුධිර පීඩනය හා ට්‍රයිග්ලිසරයිඩ් (triglycerides) මට්ටම වැඩි වීමෙන් දියවැඩියාවට හා හෘදයාබාධ ඇති වීමේ අවදානමක් උදාවන බව පෙන්නුම් කර ඇත. එවැනි තත්ත්වයට විශේෂයෙන් බලපාන්නේ ආමාශ ගත මේදය අධික වීම බව ජානමය ඖෂධ පිළිබඳ මධ්‍යස්ථානයේ සේවයේ නියුතු කොනර් එමඩින් පවසයි.

එමඟින් ගම්‍ය වන්නේ අහිතකර ලෙස ජානමය වෙනස්කම් නිසා ආමාශගත තරබාරුව ඉහත කී රෝගාබාධ ඇතිවීමේ අවදානම් තත්ත්වයක් උදා කරන බවයි.

කෙසේ වෙතත් ශරීරය මැද එනම් ආමාශය හා ඉග ප්‍රදේශයේ පවත්නා බර සැහැල්ලු කිරීමට උත්සාහ කිරීමෙන් ඉහත කී රෝගාබාධ ඇති වීම වළක්වා ගත හැකි වන බව කර්ක් තෝල්ටන් වැඩිදුරටත් පවසයි. ඒ සඳහා ආහාර ව්‍යායාම හා ජීවන පැවැත්ම කෙරේ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව හෙතෙම පවසයි.