ග්ලෝකෝමා ඔබේ දෑස් අන්ධ කරයි

ග්ලෝකෝමා ඔබේ දෑස් අන්ධ කරයි

විෂන් 2020
වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක
අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය
මුදිතා කුලතුංග

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

කුසුම් රත්නායක

දෙනෙත ජීවිතයේ අනගිතම වස්තූන් අතරින් එකකි. ඒ නිසාම දෙනෙත් රැක ගැනීමට අප හැමවිටම සැලැකිලිමත් වෙමු. එසේ නමුත් ඉතා නිහඬවම පුද්ගලයකු අන්ධභාවය කරා ගෙන යන ඉතා බරපතළ රෝග තත්ත්යන් ද වේ.

ග්ලෝකෝමා ඒ අතරින් එකකි.

ග්ලෝකෝමා

අක්ෂි ස්නායුවට ස්ථිර හානි සිදුවීම නිසා ක්‍රමයෙන් අන්ධභාවයට පත්වීම මෙහිදි සිදු ෙවේ. එසේම ග්ලෝකෝමා රෝගයේ මුල් අවස්ථාවේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. කල් ඇතිව හඳුනා ගැනීම මඟින් පෙනීම ආරක්ෂා කරගත හැක. රෝගය කල් ඇතිව හඳුනා ගැනීම වැදගත් වන්නේ එබැවිනි.

ග්ලෝකෝමා රෝගය වැළඳීමේ වැඩි අවදාමක් ඇත්තේ කාටද?

මවුපියන්ගෙන් කෙනෙකුට ග්ලෝකෝමාව ඇතිවිට

සහෝදර සහෝදරියන්ගෙන් කෙනෙකුට රෝගය ඇති විට

වයස අවුරුදු 60ට වඩා වැඩි අයට ඇස් යට තැල්මක් වී ඇති විට

ඉතා ඝනකම් උපැස් පළඳින අය මෙවැනි අය වසරකට වරක් වත් ග්ලෝකෝමාව හඳුනා ගැනිම සඳහා අක්ෂි පරීක්ෂාවකට යොමු වීම ඉතා වැදගත්ය. තවද වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින් පවුලේ අයෙකුට රෝගය ඇත්නම් වසරකට වරක් ද පවුලේ අයෙකුට රෝගය නොමැති නම් වසර තුනකට වතාවක් ද ග්ලෝකෝමා රෝගය සඳහා වන පරීක්ෂාවකට යොමු වීම වැදගත්ය.

පුද්ගලයකුගේ අන්ධභාවයට බලපාන තුන්වැනි ප්‍රධාන හේතුව වනුයේ ග්ලෝකෝමාවය. තවද වළක්වාගත හැකි අන්ධභාවයෙන් දෙවැනි ස්ථානයේ ඇති රෝගයයි.

විශේෂයෙන් දියවැඩියා රෝගීන්ගේ අක්ෂි පරීක්ෂාවේදී ග්ලෝකෝමා රෝගය සම්බන්ධයෙන් ද පරීක්ෂා කර ගැනීම වැදගත්ය.

කොළඹ අක්ෂි රෝහල මෙන්ම දිවයිනේ අනෙකුත් පර්යන්ත රෝහල්වල ඇති අක්ෂි සායනවලදී ග්ලෝකෝමා පරීක්ෂාව නොමිලේ සිදුකරගත හැක.

මුල් අවධියේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බැවින් අක්ෂි පරික්ෂාවකින් පමණක් එය හඳුනා ගැනීමේ හැකියාව පවතී. එබැවින් මෙම රෝගය නිහඬ සතුරෙකි. එබැවින් එම අවසනාවන්ත තත්ත්වයෙන් මිදීම සඳහා කල් ඇතිව රෝගය හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

රෝගය හඳුනාගත් පසු වෛද්‍ය උපදෙස් නිසිලෙස පිළිපැදීමෙන් පෙනීම ආරක්ෂා කරගත හැකි වේ.

තවද වයස අවුරුදු 40ට වැඩි ඕනෑම අයෙකුට ග්ලෝකෝමා රෝගය වැළඳීමට ඉඩකඩ ඇත. එබැවින් වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින් ග්ලෝකෝමා රෝගය සඳහා අක්ෂි පරීක්ෂාවකට යොමුවීම ඉතා වැදගත්ය.

විශේෂයෙන් ඌන සංවර්ධිත රටවල ජනතාවගෙන් 70%ක්ම තමන් මෙම රෝගයේ ගොදුරක් බවද නොදනිති.

පෙර සඳහන් කළ පරිදිම අක්ෂි පරීක්ෂාවක් මඟින් පමණක් මේ රෝගය හඳුනාගත හැකි බැවින් අක්ෂි පරීක්ෂාවකට යොමුවීම වැදගත් වේ.

විශේෂයෙන් ඇස් කණ්ණාඩි මිලදි ගැනීම සඳහා යොමුවන අවස්ථාවේදී මෙන්ම කණ්ණාඩි මාරු කරන අවස්ථාවේදී ද අක්ෂි පරීක්ෂාවකට යොමුවීම වැදගත්ය. වයස්ගත වීමත් සමඟ මෙම රෝගයට ඇති බලපෑම ද වැඩි බැවින් නිරන්තර සැලකිල්ලක් මෙම රෝගයට දැක්වීම ඉතා වැදගත් වේ.

මෙම පියවර නිසිලෙස අනුගමනය කිරීමෙන් ඔබට මෙම අවාසනාවන්ත රෝගයේ ගොදුරක් වීමෙන් වැළකිය හැක.