දරුඵල ලබාගැනීමට ගතයුතු ඖෂධීය වට්ටෝරු

දරුඵල ලබාගැනීමට ගතයුතු ඖෂධීය වට්ටෝරු

ආයුර්වේද වෛද්‍ය

නන්දා කස්තුරිආරච්චි

උතුම් මාතෘත්වය අරඹයා දරුවකු ලබාගැනීමට අවැසි වටපිටාව සකස් කරගනිමින් ජිවිතයේ ඉදිරි ගමන් මග සකසා ගන්න අන්දම හා මදසරුභාවයට ඇතිවන බාධා මොනවාද යන්න පසුගිය සතියේ මදසරුභාවය පිළිබඳ ලිපියෙන් ඔබව දැනුවත් කළා.

පරිසරයේම කොටසක් වන අපි පරිසරයෙන් රැකිය යුතු නිසා ස්වභාව ධර්මයාගේ පැවැත් මේ කොටසක්. එබැවින් මේ සම්බන්ධතාවය මත ජීවිතය ගොඩ නැගිය යුතුයි. ඕනෑම සත්ත්වයෙකුගේ ජීවන පැවැත්ම ද මේ අනුසාරයෙන් ගොඩ නැගෙන අතර ජීවන පැවැත්ම ගෙන යෑම අඩපණ වූ විට ඇතිවන දුෂ්කරතා මඟහරවා ගැනීමට සුදුසු ප්‍රතිකර්ම පවා පරිසරයෙන්ම අපට දායාද කර ඇත. මෙහිදී ප්‍රතිකාරවලදී ඖෂධ ලබාගැනීම හා ආහාරපාන ලබාගැනීම වැනි දෑ පර්යේෂණාත්මකව අත්හදා බලා, ලබාගත් ඖෂධ භාවිතය මහඟු ප්‍රතිඵල ගෙනදේ.

අප ජීවත්වන්නා වු පරිසරය ඇතැම් විට අපට දරුවකු ලබා දෙන්නට පටහැනි ලෙස ක්‍රියා කරන්නේ අපගේම වරදිනි. පරිසරයේ අපට නොපෙනෙන ඇතැම් විෂමතා වළක්වා ගත හොත් දරුවකු ලබා ගැනීමට පරිසරය අපට ප්‍රතිඋපකාර කරනු ඇත.

පිරිමින්ගේ මද සරුභාවයට බලපාන හේතු

* ආර්ථික හේතු

* අවිවේකී බව

* අවශ්‍යතාවයන් සුහදව සාකච්ඡා නොකිරීම

* අන්‍යොන්‍ය අවබෝධය නැතිකම

* ගන්නා ආහාරපාන වල පවතින කෘත්‍රිම බව

* ඇඳුම් පැළඳුම්

* පරිසරයේ පවතින විවිධ විෂමතා (කාලගුණික හා දේශගුණිකව)

* නවීන උපකරණ භාවිතය (උදා - Mobile phone)

* විකිරණ සම්බන්ධතාවයන් (Radio Station)

* රසායනික ද්‍රව්‍ය භාවිතා කරන ස්ථානවල අනාරක්ෂිතව රැකියාවේ නියැලීම

* උෂ්ණත්වය අධික ස්ථානවල රැකියාවේ යෙදීම

* එක දිගට වාඩි ව සිටීම (උදා - රියැදුරන් - පිරිමි)

රියැදුරකු එවන් අවස්ථාවකදී එක දිගට යාම අතරමග පහසු තැනක නවතා සුළං වඳින ස්ථානයකට පිවිස ගිමන් හැරිය යුතුයි.

මුහුණ කට සෝදා සිසිල් ජලයෙන් තෙමා සිරුරට සිසිලසක් ලබාදීම වඩාත් සුදුසුයි.

කාන්තාවන්ට දරුඵල පමා වන්නේ මේ හේතු නිසයි.

* ඔසප් අක්‍රමවත් බව

* රෝම කූප ආසාමාන්‍ය ලෙස වැවීම (මුහුණේ, බඩ, අත්, කකුල්)

* උෂ්ණාධික වීම

* සම වියළි බව

* ඔසප් වීමේදී අධික වේදනා ගෙනදීම

* රුධිරය රත්පැහැ නොවීම

* රුධිරය කළු හෝ දුඹුරු වීම

* දුර්ගන්ධයක් සහිත ස්‍රාවයක් යෝනි මාර්ගයෙන් පිටවීම

* පෝෂ්‍යදායී ආහාරපාන නොගැනීම

දරුඵල සඳහා ලබාගත යුතු ආහාර වර්ග

අලුත් එළවළු හා පලතුරු වර්ග භාවිතය වඩාත් සුදුසුයි. දරු ඵල ලබාගැනීමට ඔබගේ සිරුර සිසිලසකින් තබාගත යුතු බව අනිවාර්ය කරුණක් ද වේ. සිරුරේ වර්ධනයට අවශ්‍ය පෝෂක කොටස් අඩංගු ලේ වඩන එළවළු හා පලතුරු මෙහිදී ඔබේ භෝජනයට ඇතුළත් කර ගත යුතුයි.

වැටකොළු, පතෝල, බණ්ඩක්කා, රාබු, නෝකෝල්, ගෝවා, ලීක්ස්, කැරට්, ලබු, වට්ටක්කා, කොහිල අල, දළු, බෝංචි, දඹල වැනි ස්වභාවික එළවළු හා අඹ, ඇඹරැල්ලා, ගස්ලබු,කොමඩු, කොකෝවා, පේර වැනි නැවුම් පලතුරු සුදුසුය. දේශීය හාල් වලින් සැදු බත් අනුභවය ඉතාමත් අගනේය. සුවදැල්, හීනනැටි, රත්හාල්, පච්ච්පෙරුමාල්, මඩතවාලු ඒ අතර වේ. තම්බපු හාල් ද ගුණදායක වේ.

නුසුදුසු ආහාර

නමුත් සිරුරේ උෂ්ණාධික බවට තවත් ගැටලු ඇතිවන උෂ්ණධික ආහාරපාන සුදුසු නැත. ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, බල මාළු, අච්චාරු, අබ, විනාකිරි, අන්නාසි , තක්කාලි වැනි ආහාර වර්ග උෂ්ණාධික නිසා ඒවා සුදුසු නැත. එසේම පාන්පිටිවලින් සකස් කරන ලද ආහාර ඉතාම අහිතකරවේ. රසකාරක යෙදු ආහාරවලින් ද වැළකී සිටිය යුතුයි. බේකරි කෑම (පේස්ට්‍රි, වර්ග ඇතුළු අනෙකුත් කෘත්‍රිම ආහාර) නුසුදුසුය.

ප්‍රතිකාර

විශේෂයෙන් මෙහිදී සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වී තමාගේ මදසරුභාවය ගැන සාකච්ඡා කිරීමෙන් ප්‍රතිකාරවලට යොමු වීම වඩාත් වැදගත් වේ.

දරුඵල ලබාගැනීම ප්‍රජනන ඉන්ද්‍රීය පද්ධතිය සකස් කිරීමට අවශ්‍ය බෙහෙත් වට්ටෝරු කිහිපයක්.

1.නෙළුම් මල් රේණු එළිඟිතෙල් හා මීපැණි වලින් අනා ආහාරයට ගන්න.

2.පොකුරු වද තම්බා බීම

3.අළු කෙසෙල් අල මාදම් පොතු, තැඹිලි මල්, අට්ටික්කා පොතු කලං 3 බැගින් ගෙන වතුර පත 8 1 ට සිඳ පෙරා වරකට පත 1/2 බැගින් උදේ සවස බොන්න.

මෙය වෛද්‍ය උපදෙස් මත ගැනීම වඩාත් සුදුසුයි.

සියඹලා ඇට කන්න. මෙය ශුක්‍ර වර්ධනය සඳහා පුරුෂ පක්ෂයට ඉතාම යෝග්‍ය වේ.