විෂාදය නොසළකාහරින්න එපා

විෂාදය නොසළකාහරින්න එපා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ

මනෝ වෛද්‍ය විශේෂඥ

අනුරාධ ඇල්ලේපොළ

මානසික රෝග අතර විෂාදය සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක්. මේ සඳහා මානසික මෙන්ම කායික හේතු ගණනාවක් බලපාන අතර ඒ අතරින් මානසික වශයෙන් පුද්ගලයෙකුට ඇතිවන ආතතිය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ හැකියි. එසේම හඳුනා නොගත් වෙනත් හේතූන් ද මේ අතර වේ. ඇතැම් අය මෙම විෂාද තත්ත්වය ප්‍රතිකාර නොගෙනම සුව වන බව සිතුවත් එම රෝග ස්වභාවය අනුව අදාළ රෝගියාට ප්‍රතිකාර කරනවාද නැද්ද යන්න වෛද්‍යවරයකු හට තීරණය කළ හැකියි.

මානසික ආතතිය නිසාත් විෂාද ඇති වේද?

මීට අමතරව මානසික ආතතිමය තත්ත්වයන් ඉක්මවා යන අවස්ථාවන් වලදී ද විෂාදය ඇතිවීමේ ඉඩකඩක් තිබේ. උදාහරණ වශයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරණ වයස් වල සිටින දරුවන් ඔවුන්ට ඇතිවන දැඩි ආතතිමය තත්ත්වයන් සමඟ විෂාද තත්ත්වයක් බවට පරිවර්තනය විය හැකි අතර එවන් අවස්ථා සමාජය තුළ සුලබව දැකගත හැකියි. ඒ වගේම ප්‍රේම සබඳතා බිඳ වැටුණු අවස්ථාවලදී, සමීපතම අයෙක් මිය යාම වැනි ජීවිතයට ඇතිවන විවිධ මානසික පීඩාකාරී තත්ත්ව පසුකාලීනව විෂද තත්ත්වයන් බවට පරිවර්තනය විය හැකියි.

කායික රෝග අවස්ථාත් විෂාදයට හේතුවක් ද?

ජානමය තත්ත්වයන් නිසාත් විෂා ද තත්ත්වයක් ඇතිවිය හැකියි. මීට අමතරව කායික රෝග අවස්ථා (වෛරස් උණ) වැළඳීමෙන් පසුව, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන අයටත් විෂාදය තත්ත්වය අන් අයට වඩා ඇතිවීමේ ප්‍රවණතාවක් තිබේ. මීට අමතරව දීර්ඝකාලීන කායික රොග (පිළිකා, හෘදයාබාධ, ක්ෂය රෝගය වැනි) ඇතැම් ඖෂධ වර්ග (ප්‍රෙඩ්නිසිලෝන් වැනි ඖෂධ, රුධිර පීඩනය අවම කිරීම සඳහා ලබාදෙන බෙහෙත් ඖෂධ) නිසාත් විෂාද තත්ත්වයක් ඇතිවිය හැකියි. අධික පවුල් බර (දරුවන් ගණන වැඩි වීම, දරුවන් බලා ගැනීමට නොහැකි වීම ආදිය නිසා ඔවුන්ටත් විෂද තත්ත්වයක් ඇතිවිය හැකියි.

තවද ඇතැම් පෞරුෂ තත්ත්වයන් නිසාත් විෂාදය ඇතිවිය හැකියි. ඇතැම් අය මෙය මානසික වශයෙන් බලපාන හේතු නිසා ඇතිවන රෝග තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඒ පිළිබඳව කථාබහ කළත් කායිකව බලපෑම් ඇති කරනු ලබන රෝග ලක්ෂණයක් වශයෙන් ද මෙය හැඳින්විය හැකියි. බොහෝදුරට මොළයේ ඇතැම් රසායනික වෙනස් වීම මීට හේතුවනු ඇත. මෙම රසායනික සංයුතියේ වෙනස්කම් ස්නායු සංවේදක Neuro Trans mitter සඳහා බලපෑම් ඇති කරනු ලැබේ.

ඇතැම් අවස්ථාවලදී රෝගයට නිශ්චිත හේතුවක් සොයා ගැනීමට පවා නොමැති විය හැකියි. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රත ප්‍රශ්න (තයිරොක්සින් මදකම හෝ වැඩිකම) මෙනන්ම වෙනත් අසනීප වැනි තත්ත්ව නිසා විෂාද තත්ත්වයන් ඇතිවිය හැකියි.

ඒ වගේම විෂාදය එක් වරක් වැළඳුනාට පසුව නැවත ඇතිවීමේ ප්‍රවණතාවක් ඇති අතර එවැනි අය තරමක් ප්‍රවේසම් විය යුතු වනවා සේම තම රෝග තත්ත්වය පිළිබඳ අවධානයකින් කටයුතු කළ යුතුයි. එවැනි අයෙක් පෙර පැහැදිලි කළ විෂාද තත්ත්වයන් සඳහා බලපෑම් ඇති කරනු ලබන හේතුවලින් වැළකී සිටීමට සෑම විටෙකම කටයුතු කළ යුතුයි.

ප්‍රතිකාර

ඇතැම් අය මෙය ප්‍රතිකාර නොගෙනම සුව වන තත්ත්වයක් බව සිතුවත් එහි කිසි පදනමක් නොමැත. ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. විෂාද රෝග තත්ත්වයය සුළු මට්ටමින්, මධ්‍යම මට්ටමේ සහ දරුණු මට්ටමේ පවතින විෂාදය ලෙස කොටස් 3කට වර්ග කළ හැකියි. මෙය මධ්‍යම මට්ටමේ හා දරුණු මට්ටමේ තිබෙන අයට ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි.

මේ සඳහා ප්‍රතිකාර වන්නේ ඖෂධීමය ප්‍රතිකාර හා මනෝ චිකිත්සකමය ප්‍රතිකාරයි. ඉතා බරපතළ මට්ටමේ විෂාද තත්ත්වයන් සඳහා ECT ප්‍රතිකාර (Electro Convulsive Therapy) විද්්‍යුත් කම්පන ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. එම ප්‍රතිකාර ඔස්සේ ඉතා බරපතළ මට්ටමේ පවතින විෂාද තත්ත්වයන් වළක්වා ගත හැකියි. එක් වරක් වැළදුණ අයෙක් නිවැරදිවම ප්‍රතිකාර ලබාගත යුතු අතර අදාළ රෝගී තත්ත්වය සුව අතට පත්වී අවම වශයෙන් මස 06ක් වත් ගතවනතුරු ප්‍රතිකාර ලබාගත යුතුයි. එසේ නොවුණ හොත් නැවත නැවත අදාළ රෝගී තත්ත්වය හට ගැනීමට හැකියි. මනෝ චිකිත්සක ප්‍රතිකාර සඳහා ද ඖෂධීය ප්‍රතිකාර හා සමානවම සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුය.

යම් අයෙක් මෙම ප්‍රතිකාර ලබා ගැනීම නොසලකා සිටීමෙන් තත්ත්වය දරුණු මට්ටමට පත්විය හැකි අතර තමාගේ දෛනික ක්‍රියා සිදුකර ගැනීමට නොහැකි වීම වගේම ජීවිතයට පවා හානි සිදුවිය හැකියි. ඒ නිසා විෂාද රෝගියෙකු ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. බොහෝදුරට ඉතා දරුණු මට්ටමින් රෝගය තිබෙනවා නම් ජීවිත හානිකර ගැනීමට වැනි අවධානම් තත්ත්ව අවම කර ගැනීමට වගේම බෙහෙත් ඖෂධ නිසිපරිදි ලබා නොගන්නේ නම් රෝහලක නේවාසිකව මෙම රෝගීන්ට ප්‍රතිකාර සිදු කිරී ඉතා වැදගත්.