කාලාන්තරයක් තිස්සේ රක්තහීනතාවයෙන් පෙලීම නිසා හෘද අකර්මන්‍ය වීම පවා සිදුවිය හැකියි

කාලාන්තරයක් තිස්සේ රක්තහීනතාවයෙන් පෙලීම නිසා හෘද අකර්මන්‍ය වීම පවා සිදුවිය හැකියි

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

Anaemia

ඇවිදින විට එසේ නොමැතිනම් යම්කිසි ශාරීරික ක්‍රියාවක යෙදී සිටින විට අපට දැනෙන මහන්සිය, හතිය ගැනත් “ශරීරයේ ලේ අඩුවීම හෙවත් රක්තහීනතාවය හේතුවෙන් අපිට ඇතිවිය හැකි මහන්සිය ගැනත් පසුගිය සතිවල අපි සාකච්ඡා කළා. ලේ අඩුවීම නිසා “මහන්සිය” ඇතිවන ආකාරය එහිදී විස්තර කළත්, “ලේ අඩුවන” හේතු ගැන අපි සාකච්ඡා කළේ නැහැ. ඇත්තටම “ලේ අඩුවන” හේතු ගැන කතා නොකර ඒ නිසා ඇතිවන “මහන්සිය” ගැන කතා කිරීම පමණක් ඔබට නොසෑහෙන නිසා අද අපි “ලේ අඩුකම” ගැන කතා කරමු.

මම පසුගිය සතියේදී කියලා දුන්නා රුධිරයේ ඇති “ඔක්සිජන් ප්‍රවාහනය කරනා හිමොග්ලොබින්” කියන ද්‍රව්‍යයක් ගැන. යකඩ හා ප්‍රෝටීන් වලින් සෑදී තිබෙන මේ හිමොග්ලොබින් පෙනහලු තුලදී ඔක්සිජන් සමඟ සම්බන්ධ වී මාංශපේෂි, ඉන්ද්‍රියයන් ආදී ඔක්සිජන් අවශ්‍ය ස්ථානවලට මුදාහරිනවා. මේ කියන “හිමොග්ලොබින්” අඩංගු වන්නේ රුධිරයේ ඇති “රතු සෛල” හෙවත් “රතු රුධිරානු” තුළයි. (Red Blood cells) මේ රතු රුධිරාණු නිපදවන්නේ අපේ ඇටකටු ඇතුලේ ඇති කුහරයක් වන “ඇට මිදුලු” (Bone marrow) කියන ස්ථානවලයි. තවත් විවිධ ස්ථානවල රුධිර සෛල නිපදවුවත් ප්‍රධාන ලෙස නිපදවෙන්නේ මේ ස්ථානවලයි.

කිසියම් පුද්ගලයකුට “ලේ මදිකම” හෙවත් රක්තහීනතාවය ඇතිවෙන්න නම් රතු රුධිර සෛල තුළ අඩංගු වන “හිමොග්ලොබින්” ප්‍රමාණය අඩුවීමක් හෝ සමස්ථයක් ලෙස රතු රුධිර සෛල සංඛ්‍යාවේ අඩුවීමක් සිදුවිය යුතුව තිබෙනවා. මේ අනුව සිදුවන්නේ සමස්ථ හිමොග්ලොබින් ප්‍රමාණයේ අඩුවීමක් සිදුවීමයි. රුධිර පරීක්ෂණයකදී රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය හෙවත් Hb, HGB  ලෙස වාර්තාවල දැක්වෙන්නේ මෙයයි. ස්ත්‍රී/පුරුෂ භාවය අනුව වෙනස් වෙමින් සාමාන්‍යයෙන් මෙය 12 -16 අතර ප්‍රමාණයක් විය යුතුව තිබෙනවා.

“හිමොග්ලොබින්” ප්‍රමාණය අඩුවිය හැකි ක්‍රම කිහිපයක් වෙනවා. මේවා රතු රුධිර සෛල නිපදවීම අඩාල වීම නිසාත්, රතු රුධිර සෛල අකාලයේ විනාශ වීම නිසාත්, රුධිරය ඉවතට ගලා යාම හෙවත් රුධිර වහනය නිසාත්, සමහර විට මේ කාරනා කිහිපයක් හේතුකොට “ලේ අඩුවීම” සිදු වෙනවා. මේ අතරින් බොහොමයක් රෝගීන්ට සිදුවන්නේ “ රුධිර වහනය” හෙවත් රුධිරය ශරීරය අභ්‍යන්තරයේදීම ඉවතට ගලා යාම (Blood Loss)  නිසයි. නිරෝගී ශරීරයක් මේ ආකාරයට ටික ටික රුධිරය ගලා යාමට සාමාන්‍යයෙන් ප්‍රතිචාර දක්වන්නේ වැඩි වැඩියෙන් රුධිරය නිපදවීම මඟිනුයි. මේ නිසා ටික ටික රුධිර වහනයක් සිදුවන රෝගීන්ට මුල් කාලයේදී රෝග ලක්ෂණයක් දැකිය හැකි වන්නේ නැහැ. නමුත් කාලයත් සමඟ රුධිරය නිපදවීමට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යය වන “යකඩ” අවශ්‍ය පරිදි අමතර රුධිරය නිපදවීමට නොලැබෙන නිසා “යකඩ ඌනතා රක්තහීනතාවය” ron deficiency anaemia

ඇතිවෙනවා. මේ ආකාරයට රුධිරය වහනය වන හේතු අතරට බහුල රෝග තත්ත්ව කිහිපයක් සලකා බැලෙනවා. ආහාර මාර්ගය ඇතුළත “ගැස්ට්‍රයිටීස්” රෝගය නිසා තුවාල වීමෙන්, කොකු පණුවන් වැනි ලේ උරා බොන පණුවන් මඟින්, අර්ශස් අමාරුව වැනි ගුද මාර්ගයෙන් ලේ පිටවන රෝග තත්ත්වයන් ද කාන්තාවන්ගේ මාසික ඔසප් රුධිර වහනයෙන් ද, කාන්තාවන්ට Fibroid වැනි පිළිකා නොවන ගර්භාෂ ගෙඩි මඟින් සිදු කරන අධික ඔසප් රුධිර වහනය ද මේ අතරින් ප්‍රධාන වනවා.

මීට අමතරව මෙහිදී විස්තර කළ නොහැකි තරමක් සංකීර්ණ රෝග තත්ත්වයන් කිහිපයක් නිසාද රුධීර වහනය සිදුවීම මඟින් “රක්තහීනතාවය” ඇතිවෙනවා.

රුධිර සෛල නිපදවීමේදී ඇතිවන දෝෂ සහිත රෝග තත්ත්වයන් ගණනාවක් තිබුණත් පාඨක ඔබගේ දැනගැනීම පිණිස තැලසීමියා රෝග තත්ත්වයන් සඳහන් කළ හැකි වෙනවා. මෙහිදී අස්වාභාවිකව හිමොග්ලොබින් නිපදවීමත්, ඒවා වේගයෙන් විනාශ වීමත් සිදුවෙනවා. විටමින් ඕ12, ෆෝලික් අම්ලය, යකඩ වැනි පෝෂණ ද්‍රව්‍යයන්ගේ ඌනතාවය නිසා රුධිර සෛල නිපදවීම අඩාල වීමත්, වකුගඩු ආබාධ තත්ත්වයන්හිදී සමස්ථයක් ලෙස රුධිර සෛල නිපදවීම අඩුවීමත් පිළිකා තත්ත්වයන් මඟින් ඇට මිදුලු ක්‍රියාකාරීත්වයට බලපාන රුධිර සෛල නිපදවිම අඩු කිරීමත් මෙයට හේතු වෙනවා.

මීට අමතරව නොයෙකුත් රුධිර රෝග තත්ත්වයන්වලදි විකෘති හැඩයෙන් යුත් රතු රුධිර සෛල නිපදවිම නිසා ඒවා ඉක්මනින්න විනාශ වීමක් සිදුවෙනවා. මේ නිසා “ලේ අඩුකම” ඇතිවිය හැකියි Sickle cell Anaemia, Hereditary spherocytosis මේ සඳහා උදාහරණයක් ලෙස ගත හැකි රෝග තත්ත්වයන් වෙනවා.

කෙසේ වෙතත් අද ලිපියේ අරමුණ වූයේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවිය හැකි රෝග තත්ත්වයන් හා අඩුවිය හැකි ක්‍රම ගැන සකච්ඡා කිරීමයි. මෙවැනි ලේ අඩුවීමකදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ අතර ශාරීරික දුර්වලතාවය, ඈලි මෑලි දුබල ගතිය, උද්යෝගයක් නොමැති කායික ශරීරය, අවධානනය යොමු කිරීම අඩාල වීම, හතිය, මහන්සිය, පපුවේ ගැස්ම පිටතට දැනීම හා පපුවේ ගැස්ම වැඩිවිම, හෘදයට ලේ මදිවීම නිසා “හෘද වේදනාව“ Angina හා හෘදය අකර්මන්‍ය වීම Heart failure දැකිය හැකි වෙනවා. විවිධ අයට මේ රෝග ලක්ෂණ විවිධ ආකාරයට පැවතිය හැකි වෙනවා. නමුත් විශේෂ කරුණක් වන්නේ මුල් කාලයේදී කිසිම රෝග ලක්ෂණයක් පිටතට නොපෙන්වීමයි. කිසියම් කෙනෙකුගේ ඇසිපිය ඇතුළත, දිව හා තොල් සුදුමැලි වීම, නියපොතු රතු අඩුවීම හෝ සුදු පාට වීම, සමහර අවස්ථාවල ශරීරය සුදුමැලි වීම වැනි ලක්ෂණ පෙන්වන්නේ නම් “රක්තහීනතාවය” දැයි සැක කළ යුතු වෙනවා.